2016/04/29

හේවුඩ් ආයතනයට යාම‍ ( ඉතිහාසය සොයායාම 2 )

හෙවුඩ් නමින් ප්‍රසිද්ද සවුන්දර්ය විශ්ව විද්‍යාලය, පියසේන කොස්තා, කැමිලස් පෙරේරා )


චිත්‍ර ගැන වැඩිදුර ඉගෙනිමට “හේවුඩ්” ආයතනයට ඇතුල් වීම ද මගේ තවත් සිහිනයක්. ඒ ගැන උනන්දු කළ යහලු යෙහෙළියන් රැසක් මට හිටියා . “හේවුඩ්” ඒකේ නවකයන් බදවා ගන්නා දින වකවානු මට කලිනම දන්වා එවන යෙහෙළියන් කීප දෙනෙකුම සිටියා. මා ඔවුන් දැන සිටියේ ලිපිවලින් පමණයි.

සපිල සඟරාවේ හිස් ඉඩ ඇති තැන් පිරවීමට මම ඇදි කුඩා කාටුනයක් මටත් නොදන්වා එක් යෙහෙළියත් සිත්තර පත්රයේ කාටුන් පිටුවට තැපැල් කර තිබුණා. ප්‍රතිඵලය වුයේ ඊ ලඟ සතියේ එය සිත්තරේ පලවීමයි. එතැන්සිට මා කාටුන් අදිමින් සිත්තර පත්තරයට යැවුවා. ඒවා නිතර එම පත්තරයේ පලවුණා. තනි පිටුවේ චිත්‍ර කතාවක් ඇද තැපෑලට දැම්මේ ද මේ කාලයේය. හුරු පුරුදු අකරු වලින් ඊලඟ සතියේ මට පෝස්කාඩ් එකක් ලැබුණා.

“ ඔබ ඇදි චිත්‍ර තකාව පැන්සලයෙන් ඇද ගෙන “මල්ටිෆැක්ස්” ආයතනයට පැමිණ මා හමුවෙන්න.” 

ඒහි අත්සක යොදා තිබුනේ කැමිලස් කියා යි. ගජමැන් අදින කැමිලස් පෙරේරා හමුවෙන්නට “මල්ටි ෆැක්ස් ආයතනයට” ගියත්, ඔහු මට හමුවුනේ පිටකොටුවේ කච්චේරියේදී යි. එය මගේ ජීවිත ගමනේ එක් සංධිස්තානයක්. පැන්සලින් අදින ලද චිත්‍ර කතාව ඉන්දියන් තීන්තෙන් පාටකර දී යන්ට පුලුවන්දැයි කැමිලස් මහතා කළ අභියෝගය ද මා පිලිගත්තා. එහෙත් ඒ සදහා අවශ්‍ය උපකරණ ඒ මොහොතේ මා සතුව තිබුනේ නැහැ. මට ඒ උපකරණ සපයා දී චිත්‍ර කතා අදින විට කෙරෙන සමහර උපක්‍රම ගැන කියා දුන්නේ... “මල්ටිෆැක්ස්” ආයතනයේ සිටි සරත් කවිරත්න යි. ඔහු එවකට ජනප්‍රිය චිත්‍රකතා ශිල්පියෙක්.

නුවර සිට තැපෑලෙන් චිත්‍ර කතා ඇද කැමිලස් පෙරේරා මහාතාට යැවීම දැන් පුරුද්දක්. රත්මලානේ විසූ පුංචි අම්මා බැලීමට යන විට සුගතදාස ක්‍රීඩාංගනය ලගින් බැස “මල්ටිෆැක්ස්” ආයතනයටත්, කොලඹ කච්චේරියටත් ගොස් කැමිලස් මහතා හමුවීම නිතරම සිදුවුණා. එක් චිත්‍ර කතා පිටුවක් සදහා කැමිලස් පෙරේරා මහතා මට රුපියල් තිස් පහක්, මුද්දරයක් පිට අත්සන් කරවාගෙන දුන් අයුරු සිහිකරන්නේ ගෞරවයෙන්.
හේවුඩ් සිහිනය
නිතර කොළඹ ඒමත්, පත්තරවලට චිත්‍ර කතා ඇදීමත් ගැන මගේ වැඩිහිටියෝ ප්‍රිය මනාප බවක් දැක්වූයේ නැහැ. “කෙඩෙට්” නිලධාරියෙකු ලෙස දියතලාවට යාමට ලැයිස්තුවේ නම තිබුනත්, අදිසි දෙශපාලන හස්තයක් විසින් එය කපා දමා තිබූ බව ප‍සුකලකදී දැනගත හැකිවුණා. “හේවුඩ්” ආයතනයට යාම‍ට අවශ්‍ය සුදුසුකම ආ.පො.ස. සා. පෙ. අදාල විෂය සමග විෂය හයකින් හෝ හතකින් සමත්වීමයි. නමුත් හේවුඩ් ආයතනය කැලණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ ආයතවයක් වීම නිසා උසස්පෙළ විෂය තුනකින් සමත්විය යුතු අතර අදාල විෂය එයට ඇතුළත් විය යුතුයැයි නීතියක් පැමිණියා. උසස් පෙළ පංතියේ සිටි මට දැන් විෂය තුන සමත් වීමේ අවශ්‍යතාවය පහළ වුණා. ඒත් උසස් පෙළ චිත්‍ර විෂය අපේ පාසැලේ ඉගැන්වුයේ නැහැ. ඒ ගැන විමසීමේ දී විදුහල් පතිතුමා කිව්වේ උසස් පෙළට එහෙම විෂයක් නැති බවයි. පසුව “සිලබස්” එක ගෙනවිත් පෙන්නු විට ඔහු කිව්වේ “තනි ළමයෙකුට ගුරුවරයෙක් හිලව් කිරීමට නොහැකි” බවයි. එය නීති රීති හා පරිපාලනය සම්බන්ද ගැටළුවක්. මා එම වර්ෂයේ විභාගයට ලිවීම අතහැර දැම්මා.

කැලණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ ආයතනයේ ඇතුළත්වීමේ විභාගයට මා දැමු ඉල්ලුම් පත්‍රයට අනුව එහි ප්‍රායෝගික පරීක්ෂණය සදහා කැදවා තිබුණා. ඒ අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවන සහතික පත්‍ර පාඨමාලාවක් සදහායි. “හේවුඩ්” ආයතනයේදී මා ප්‍රායෝගික පරික්ෂණය සදහා පෙනී සිටියා. සිසුන් සියයක් පමණ එදින පැමිණ සිටියා. මා අදින ලද චිත්‍රය නිසා එහි සිටි ගුරුවරුන් රැසකගේ අවධානය මා වෙත යොමුවුණු වග මතකයි. එවකට එහි විදුහල්පති වරයාව සිටි පියසේන කොස්තා මහතා මා එතුමාගේ කාර්යලයටද කදවා විස්තර විමසුවා. එහිදී මම ඇසූ ප්‍රශ්නයකට ඔහු උරණ වුණා.
මම ඇසුවේ. “සර් දැන් හේවුඩ් එකට මෙච්චරකල් ළමයි ගත්තේ ආ .පො. ස. සාමාන්‍ය පෙල සමත් අය. දැන් ආදාල විෂය සහිතව විෂය තුනකින් උසස් පෙළ සමත් අය ගන්නවා කියල තියෙනවා. නමුත් ඒ සුදුසුකම තියෙන චිත්‍ර උසස්පෙලට කරපු ළමයි ලංකාවේම නෑලු . ඒ නිසා කියනවා ඕනෑම විෂය ෂේත්‍රයකින් විෂය තුනක් සමත්, අදාල කලා ව පිලිබද හැකියා ඔප්පුකල හැකි අය උපාධි පාඨමාලාවට බදවා ගන්වා කියලා.”

“ඔව් ඉතිං.” ඔහු මා දෙස ප්‍රශ්නාර්ථයකින් බැලුවා.

“සර්...මෙච්ර කල් මේ ආයතනයට බදවා ගත් සිසුන්ට තියෙන සුදුසුකම මටත් තියෙනවා. ඒ අයටත් මේ නව වෙනස් වීම නිසා උපාධියට පෙනීසිටීමට ඉඩ දෙනවා.”

“ඔව් ඉතිං.”. පියසේන මහතා නොරිස්සුම් හඩින් ඇහුවා.
“සර් අයතනයේ තත්ත්වය උසස් කලාම ඉන්න අයට අසාධාරණයක් නොවී සාධාරණය කරණ්නයි එහෙම කරලා තියෙන්නේ.”..

“ඔව් ඉතිං දැන් තමුසේ මොකද්ද දැන් මට කියන්නේ.?”. මහතාගේ ඉවසීම සීමාව ඉක්මවා යන්න ආසන්න බව දැනුණා.
“සර්..මේ අවුරුද්දේ උසස් පෙළට චිත්‍ර කරපු එක ළමයෙක්වත් ලංකාවේ නෑලු. ඒ නිසා වෙනත් විශ්ව විද්‍යාලවලට යන්න හදපු , එහෙම බැරිවුණ අය චිත්‍ර අදින්න පුලුවන් කියලා උපාධි ගන්න එනවා. එහෙමනම් මෙතැනදි දැනට ආයතනයේ ඉන්න සිසුන්හා සමාන මුලික සුදුකම් මටත් තියෙන නිසා මටත් උපාධිය හදාරන්න දෙන්න බැරිද?”

“ඇයි සුදුසුකම් ඕන නැති සහතික පත්‍ර පාඨමාලාවකට මාව දාන්නේ..? ” 

පිසේන කොස්තා මහතා පුටුවෙන් නැගි සිටියේ කෝපයෙන්.

“ඇතුල් වෙන්නත් කලින් මේකා විප්ලවේ කරන්න හදනවානේ..”

ඔහු කිව්වේ සිනා සෙමිනි. ඒ තුළ කෝපයද මුසුවී තිබුණි.

උපාධිය කෙසේ වෙතත් ශිල්පීය පුහුණු පාඨමාලාවටවත් මට කැදවීමක් ලැබුනේ නැත. මේ පිලිබදව කරන ලද අභියාචනාවලට එම ආයතනයේ ප්‍රධානියා වූ තිස්ස කාරියවසම් මහතා ප්‍රතිචාර දැක්වුයේ නැත. නමුත් ආයතනයක් පරිවර්තනීය අවස්ථාවකදි ගන්නා තීන්දු තීරණවලදී දක්ෂතා ඇති සිසු සිසුවියන්ට සාධාරණය ඉටුවිය යුතුයැයි මට සිතෙනවා. මේ වකවානුව තුළ මේ වෙනස් කම් වලටම මුහුණ දුන් කටුබැද්ද විශ්ව විද්‍යාලය දක්ෂතා දැක්වු සිසුන්ට අසාධාරනයක් නොවන සේ කටයුතු කළ බව මා පසුව සොයා ගත්තා.

මෙහි අනෙක් හාස්‍ය ජනක කරුණ වන්නේ එදා මා විසින් නැගූ ප්‍රශ්නය පසුකාලයේදී යතාර්තයක් බවට පත්වීමයි. ශිල්පීය පුහුණු පාඨමාලාව ඉදිරියට පවත්වා ගෙන යාමට නොහැකි වුණා. ආයතනය උසස්කිරීමට පෙර සිටි සිසුන්ගේ අද්‍යාපන මට්ටමේ ම සිටි මට උසස් අධාපනය අහිමි වුනා. 

මා ලබා තිබූ අධ්‍යාපන සුදුසුකම් මතම උපාධි ලබන පිරිසක් සිටියදී මා චිත්‍ර කලාව පිලබදව උසස් අධ්‍යාපනයක් ලැබීට නුසුදුස්සෙක් වුයේ ඇයි? ආයතනයේ පරිපාලන ගැටලු නිසාද?. එය පොතේ සටහන් නීතියට සාදාරණය විය හැකියි. ඒ නීතිය මට කලාව ඉගෙනීමට බාධා කළත් මා නැවතී නැහැ. මා තවමත් ඉගෙන ගනිමින් සිටිනවා. කලාව තුළ වෘතිකයෙකු සේ සක්‍රීයව සිටිනවා. මෙය හාස්කමක් නොවේයැයි යැයි කිව හැක්කේ කාටද?. නීතියට මම කලා කරුවෙකු ලෙස සමාජ ගතවීම වලක්වා ලීමට නොහැකි වුණා. සිදුව තිබු ප්‍රතිසංස්කරණ හේතුවෙන් මට අසාධාරණයක් නොකර එදා මට එම අධ්‍යාපනය ලබාදීමට නීතිමය ප්‍රතිපාදනයද තිබුණ බව දන්නෝ දන්නවා. මෙය ලංකාවේ උසස් අධයාපන ප්‍රතිපත්ති සාදන්නන්ගේ ද අවධානයට ලක්වන්නේ නම් වටිනවා.

වර්ෂ 1981 දී චිත්‍ර විෂය සමග උසස්පෙළ විෂයන් තුනක් ජයගැනිම සදහා මෙහෙයුම මා විසින් දියත් කළා. නුවර අධ්‍යාපන කාර්යාලයෙන් මා විෂය නිර්දේශය සොයා ගත්තා. කේ.ඩී.ඊ. ආයතනයේ ටියුෂන් පන්තියට ආ මහාමායාවේ සොයුරියක් මට තම චිත්‍ර පාඩම් සටහන් පිටපත් කර ගෙවවිත් දුන්නා. පාසැලේ චිත්‍ර විෂය ඉගෙන ගැනීමට අවස්ථාව නොලැබුනත් චිත්‍ර ගුරුවරයා හරහා විභාගය සදහා ඉදිරිපත් වීමට පසුබිම සකසා දෙන්නට විදුහල් පතිවරයා එකඟ කරගත්තා.

තිස්ස කාරියවසම්, මල පිබිදෙයි...විශ්වය හා ජවය, නුගවෙල මද්‍යමහා විද්‍යාලය ) ඉතිහාසය සොයායාම තුන්වන කොටසට

No comments:

Post a Comment