2016/05/01

දෙකෝටියක් ගොන්කම් කටුවෙන් ඇණ කී විජේසෝම නම් ඔහු


ශාන්ත දුටු විජේසෝම
ආණ්ඩුවක් රට වෙනුවෙන් කෝටියක් හොඳ වැඩ කරනු ඇත. එමෙන්ම දෙකෝටියක් ගොන්කම්ද කරනු ඇත. ඊටම නොදෙවෙනි ලෙස ආණ්ඩු බබලවන දේශපාලනඥයෝද, අහසේ හෙළන දේශපාලනඥයෝද රටවල සිටිති. මේ ධර්මතාවය අදක ඊයෙක පමණක් දක්නට තිබෙන දෙයක් නොවේ. එදා මෙදා තුර දේශපාලනඥයන් රට තුළ ගොන්කම් කරන තරමටම සතුටුවන පිරිසක් රටේ සිටිති. ඒ පක්ෂ හෝ විපක්ෂ පිරිස නොවේ. රටේ සිටින කාටුන්කාරයන්ය. අද දවසේ රටේ දේශපාලකයන් අතින් සිදුවන බොහෝ වැරැදි හෙට දවසේ පුවත්පත්වල දැඩි ලෙස උපහාසයට ඔවුන් අතින් ලක්වේ.


මේ උපහාසාත්මක කාටුන් ශිල්පීන් අතරේ වූ ශ්‍රී ලාංකේය කාටුන් ශිල්පයේ නොමැකෙන සලකුණ වූයේ ඩබ්ලිව්. ආර්. විජේසෝමයන් ය. අදින් වසර හයකට පෙර ඔහු මිය ගියද ඔහු ශ්‍රී ලාංකේය පුවත්පත් කලාව තුල විෂය තුළ සුවිශේෂී අනන්‍යතාව අදටත් මෙරට කිසිවකුට අමතක විය නොහැකිය. විශේෂයෙන්ම පුවත්පත් කාටුන් වඩාත්ම ජනප්‍රිය සමයක එමෙන්ම බොහෝ කාටුන් උපහාසයට වඩා අපහාසයට යොමුවු අවධියක විජේසෝමයන්ගේ කාටුන් කලාව පිළිබඳ මතකයන් අප බොහෝ දෙනෙකුට සුවිශේෂී වනු ඇත.


නවසිය විස්ස දසකයේ උපත ලබන විජේසෝමයන් පළමු වරට චිත්‍ර කලාව පිළිබඳ හැදෑරීමකට යොමුවන්නේ මරදාන කාර්මික විද්‍යාලයෙනි. එහිදී ඔහු පින්තාරු කළ දෑ විශ්මිත විය. ඇතැම්විට ගුරුවරු පවා විස්මයට පත්විය. 40 දසකය මෙරට චිත්‍ර කලා ශිල්පීන්ගේ සුවිශේෂීම යුගයක් වී තිබිණි. මේ සියල්ල අතරේ විජේසෝමයන්ගේ ලෝකය නතර වී තිබුණේ එක්තරා වූ අග්‍රගන්‍ය ලෝක චිත්‍ර ශිල්පියකු ළඟය. ඒ පැබිලෝ පිකාසෝය. අනෙක් චිත්‍ර ශිල්පීන් සම්මතය මත රැඳෙමින් චිත්‍ර කලාවේ නියැලෙද්දී පිකාසෝගේ නිර්මාණවල අසම්මතය රජවී තිබිණි. විජේසෝමගේ කුතුහලය මේනිසාම තවත් උග්‍රවිය. මෙය ඔහුට ප්‍රශ්නයක්ද විය. අවසානයේ ගුරුවරයකුගෙන් මේ පිළිබඳ ඔහු විමසීය.

‘ඒ යකාට පිස්සු ඕයි.’
විජේසෝමට ලැබුණු පිළිතුර විය. ශිෂ්‍යයාට කුලපතිද ඔහුට අධ්‍යාපන ස්ථානයද එපාවී ගියේය. ඔහු කාර්මික විද්‍යාලය ගමනටද තිත තැබීය.

පසුව විජේසෝමයන් 1947 වසරේදී ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ ආයතනයට බැඳේ. ඒ සෝදුපත් කියවන්නකු ලෙසය. කෙටිකලකින් කාටුන් චිත්‍ර ඇඳීමට දස්කම්පාන ඔහු ටයිම්ස් පුවත්පත්හි කාටුන් අඳින්නට විය. ‘ටිකිරි ටොක්ක’, ‘සිත්තර පටි’ ඔහු මුල් කාලීනව ඇඳි කාටූනයන්ය.


පසුව ලේක්හවුසියටද ඉන්පසුව උපාලි පුවත්පත් ආයතනයට සම්බන්ධ වන විජයසෝම මහතාගේ කාටුන කලාවේ ස්වර්ණමය යුගය එළැඹෙන්නේ 1981 වසරෙන් පසු යුගයේදීය.

විජේසෝමයන්ගේ කාටුන් බොහෝවිට දේශපාලන කාටුන් විය. සිදුවීම ක්‍රිකට් තරගයක් විය හැකිය. නැතිනම් සර්කස් සංදර්ශනයක් විය හැකිය. එහෙත් එය විජේසෝමයන් අතින් පෝෂණය වන්නේ වඩාත් සාරගර්භ දේශපාලන කාටුනයකි. සංකේත භාවිතය, අවශ්‍ය පරිදි වචන භාවිතය, තුළ ඔහුගේ කාටුනයේ අර්ථයන් මනා ලෙස ජනතාවට සංනිවේදනය විය. මෙය ඔහුටම ආවේණික කලාවක් විය. ස්වාධීන ඔහුගේම කාටුන් කලාව විය. දේශීය හුරුවක් මෙන්ම ඔහු තුළ සිටි ගැඹුරු දාර්ශනිකයා ද මතුවී පෙනෙන්නට විය.

විජේසෝමගේ නිර්මාණ දිවියට වසර පනහක් පිරුණු දා...
ඔහුගේ ‘පුංචි සිංඤෝ’ වඩාත් ජනප්‍රියතම කාටුනය විය. වචන ගණනාවකින් කිව යුතු දෙයක් ඉතා කෙටියෙන් කීමට ඔහු යොදාගත් සුවිශේෂී සංකේතය පුංචි සිංඤීය.

ඒ හැරුණු කොට තවත් නිදර්ශන බොහෝය. ප්‍රජා අයිතිය අහිමි වූ බණ්ඩාරනායක මැතිනිය ඔහු අතින් නිර්මාණය වන්නේ විශාල යකඩ බෝලයක් කකුලේ බැඳ දමා තබමිනි. රජීවි ගාන්ධි අගමැතිවරයා කාලයකදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දෙබිඩි ප්‍රතිපත්තියක සිට කටයුතු කළේය. එවක රජීව් ගාන්ධිව විජේසෝම අතින් නිරූපණය වූයේ නහය දික් ලෙසට යොදා ගනිමිනි. ඒ පිනෝකියෝ නැමැති චරිතය සංකේතයට යොදා ගනිමිනි.

විජේසෝමයන්ගේ කාටුන්වලට ලක්වීමට පවා ඇතැම් දේශපාලනඥයෝ කැමැතිවූහ. වරෙක එන්. එම්. පෙරේරා මහතා ඔහුගේ ඇඳි කාටුන් පවා ඉල්ලා සිටියේය. එකල තම කාටුනයක් පුවත්පතේ පළවී තිබෙන දුටුවිට පීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා වහාම විජේසෝමයන්ට කතා කරයි. පසුව දෙදෙනාම එකතු වී කාටුනය පිළිබඳ කතා බස්කර දුරකතනයෙන් සිනාසෙයි.
මෙලෙස විජේසෝමයන්ගේ කාටුන් දේශපාලනඥයන් අතර ජනප්‍රිය විය. කෙසේ වුවත් විජේසෝම කිසිවිටකත් දේශපාලනඥයන් පසුපස ගියේ නැත. මේ පිළිබඳ ඔහුට ප්‍රශංසා මුඛයෙන් කතා කරන්නේ හිටපු බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයෙකි. “විජේසෝම ලෝකයේ මා දුටු කාටුන් ශිල්පීන්ගේ ප්‍රසන්න හැඟීම් ඇති කාටවත් නොබැඳුන පුද්ගලයා යැයි” ඔහු කියයි.

එමෙන්ම පුද්ගලික වාසි කතා ඔහු කිසිවිටකත් නිර්මාණ නොකළ අයෙකි. ඉංග්‍රීසි සිංහල භාෂා දැනුම මෙන්ම ක්ෂේත්‍රය පිළිබඳ හදාරන ලද දැනුමද ඔහුගේ කාටුනවල පෝෂණය පසුපස වූ සාධකය.

විජේසෝමලා වැනි කාටුන් ශිල්පීන් රටකට සම්පත්ය. ඔවුන්ගේ අවශ්‍යතාවක්ද රටකට තිබේ. අවාසනාවකට විජේසෝමයන් අසලටවත් පැමිණිය හැකි කාටුන් ශිල්පියකු අද අපට පෙනෙන්නට නැත. මෙයට හේතුවී ඇත්තේ විජේසෝමයන් ිකටුවෙන් ඇණ කී තේරුම් ගැනීමට සමත් දේශපාලනඥයන් රටේ නැති නිසා වන්නට ඇත. එපමණටම දේශපාලනඥයන්ගේ සමද ගොරෝසු වී තිබේ.

මලික් චමින්ද ධර්මවර්ධන

5 comments:

  1. මම විජේසෝම මහත්තය ගැන දැනගන්නෙ අවුරුදු 13කට විතර කලින් සඟරාවක ගිය විශේෂාංග ලිපියකින්. ඒ දවස්වල ජාතික පත්තර කියවන පුරුද්දක් තිබුණෙ නැති නිසා උන්නැහැගෙ නිර්මාණ ආශ්‍රය කරල නැති වුණාට බොහොම විශිෂ්ඨ නිර්මාණ ශිල්පියෙක් විධියට අඳුනගත්තා. මේ ලිපිය දැමීම වෙනුවෙන් බොහොම ස්තූතියි!

    මේ word verification අයින් කරන්න පුළුවන්නම් හොඳයි!

    ReplyDelete
  2. ස්තුතියි ඔබටත්...

    ReplyDelete
  3. මම විජේසොම මහත්තයා දැනගෙන අවුරැදු 30 විතර වෙනවා. උන්නැහේ කාටුන්ශිල්පියෙක් විතරක් නෙවෙයි හොද මනුස්සයෙක්. අපි රස්සාව කරල පොඩි විවේකයක් ඔනෑවුනාම විජේසෝම මහත්තයත් එක්ක යාල කැලේට යනවා. දවස් දෙක තුනක් අපි කැලේ ගතකරනවා. පොටෝ ගන්නවා-අදිනවා- සිරිනරඹනවා-වාදවිවාද නරණවා.
    දවසක් අපි කැලේ ඇවිදිනකොට තරැණයො පිරිසක් වාහනයෙන් එලියට බැහැල විනෝද වෙනවා. විජේසෝම මහත්තයා අපෙ වාහනය නතර කරන්න කිව්වා. අර තරැණයෝ ලගට ගියා.එතන තිබුන වනජීවියෙන් ගහපු උපදෙස් පුවරැව පෙන්නුවා. නමුත් ඒ අය කියනදේට ඇහුන්කම් නොදුන් වග අභිනයන් වලින් අපිට තේරැණා. වජේසොම මහත්තයා කලකිරීමෙන් වගේ ආපහු වාහනයට ආවා. කිසිදෙයක් නොකියා වාහනේ ඉදගෙන ඈත හිටපු කුරැල්ලන්ගෙ පිංතූර ගන්ට පටන්ගත්තා.
    විනාඩි 15කට විතර පස්සෙ අර තරැණයෝ කාපු බීපුවගෙ ඉතුරැ- වතුරබෝතල්-ෂොපින් බෑග් ලටපට ඔක්කෝ තැන තැන දාල යන්ට ගියා.
    විජේසෝම මහත්තයා වාහනේ තිබුන ලොකු ෂොපින් බෑග් එකකුත් අරගෙන අර දාලගිය කසල ඔක්කෝම එකතුකරල බෑග්එකට දාගත්තා. ඒකත් අරනෙ වාහනේට නැගල යමු කිව්වා. අපි කිසිම කතාවක් නැතිව ඉදිරියට යනවා. අතරමගදි කුනුදාන බක්කියක් ලග වාහනේ නතර නරන්ට කියල අර කුනු ඔක්කොම බොහොම පුවේසමෙන් කුනු බක්කියට දැම්මා. ඔන්න වජ්සෝම මහත්තයාගෙ හැටි.

    ReplyDelete
  4. ජනතාව එන්න එන්නම ආර්ථික අපහසුතාවයන්ට පත්වෙන්න පත්වෙන්න විජේසෝමයන් පුංචිසිංඥෝගේ ඇඳුම පවා ක්‍රමක්‍රමයෙන් වෙනස් කලා. ඉතා දක්ෂයෙක්.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔහු චිත්‍රමය භාෂාව නිවැරදිව පාවිච්චි කලා. අද අය මේවා සියල්ල වචනයෙන් කියන්න යනවා.එක්කෝ ලියලා.. නැතිනම් රෑපවාහිනියේ දී කියලා. මෙය රූප කලාවට හානියක්.

      Delete