2016/05/10

ශාන්ත ගැන මහාචාර්ය ජගත් වීරසිංහ කියන කතාව

ශාන්ත සහ ඔහුගේ කාටුන්

ශාන්ත

ශාන්ත කේ. හේරත් දශක දෙකකට අධික ස්වකීය කලා ශිල්පි ජීවිතය කැටිකොට අප වෙත ප‍්‍රදානය කරන ‘සතැස්’ ග‍්‍රන්ථය ඵළිදැක්වීම නිමිතිකොට මා ගොඩනගන මේ ලිපිය ඇරඹීමට හොඳම ක‍්‍රමය  වන්නේ ඔහු පිළිබඳ මගේ පෞද්ගලික මතකයන් අවදි කිරීම යැයි මට සිතේ. එහෙයින් ඔහු ‘චරිතයක්’ ලෙස මා දකින ආකාරය මුලින්ම සඳහන් කිරීමට මට අවසර දෙන්න. මා ගොඩනගන මේ කෙටි සටහන ශාන්ත ගේ ‘වැඩ’ ගැන කෙරෙන ඇගයීමකි.

ඒ වගේම එය අපගේ මිත‍්‍රත්වය ද අගය කිරීමකි.

ශාන්ත මගේ පැරණි මිත‍්‍රයෙකි. මට ඔහු මුලින්ම මුණගැසුණේ මා සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ තෙවන වසරේ  ශිෂ්‍යකුව සිටි අවදියේදීය. ඒ දවස්වල අපි කලාව පිළිබඳ විවිධාකාර උත්කෘෂ්ඨ අපේක්ෂාවන් සහ
මතිමතාන්තරවලින් උදම් වී ‘හඬනගන’ සහ ‘ගැටුම්කාරී’ තත්ත්ව ගොඩනගන චරිත වීමු. ශාන්තට කලාකරුවකු ලෙස ස්වකීය චරිතයේ ප‍්‍රතිපත්තිමය සීමාවන් පිළිබඳව ඉතා පැහැදිලි අදහස් ඒ වනවිටත් පැවතියේයැයි මට සිතේ. ඔහු  තමන් පිළිබඳව ඉතා ගෞරවනීය හැඟීමකින් යුතු පුද්ගලයෙකි. මේ නිසාම ශාන්ත ව ඇසුරුකිරීම සමහරුන්ට ඉතා පහසු වූ අතර, තවත් සමහරුන්ට ඔහු නොරුස්නා චරිතයක් විය. ස්වකීය කලා ශිල්පී චරිතයේ අනන්‍යතාව සහ පැවැත්ම අරුත් වන සේ තමා විසින්ම සංකල්ප ගත කරගත් අදහස් සහ සීමාවන් සමග කේවල් කිරීමට ශාන්ත ඒ දවස්වල සිටම දැඩි අකමැත්තක් පෙන්වූ බව මට මතකය. ශාන්ත ගේ ඒ චරිත ලක්ෂණය මගේ සිත් ගත් අතර ඒ නිසාම මට ඔහු ඇසුරු කිරිම පි‍්‍රයජනක විය. 
අනෙකෙකුට ශාන්ත ඇසුරු කිරීමට දුෂ්කර චරිතයක් ලෙස පෙනුණේද, මා අගය කළ  ඉහතින් සඳහන් කළ ගුණාංගය නිසාමය.

ශාන්ත ගේ මේ චරිත ලක්ෂණය ගැන මා මෙහිදී අවධාරණය කරන්නේ මට හිතෙන හැටියට ඔහුගේ කලා ශිල්පි මෙන්ම දේශපාලන කාටුන් ශිල්පි ජීවිතයේත් මූලිකම ලක්ෂණයක්  ලෙස (අවශ්‍ය කෙනෙකුට ආත්මීය
ලක්ෂණයක් ලෙසද කිව හැක*  මෙම ගුණය ශාන්ත ගේ චරිතාංගය තුළ ඇතැයි මට හිතෙන හෙයිනි. එය ඔහුගේ පැවැත්ම තුළ ගැඹුරින්ම පවතින සාධකයකැයි මට සිතේ.

ශාන්ත ගේ කලා ශිල්පි පෞරුෂය වැඞීමේ ඉතිහාසය පිළිබඳව මා දන්නා කරුණු කෙටියෙන් හෝ සඳහන් කිරීම මේ අවස්ථාවේදි උචිතයැයි සිතමි. කලාකරුවකු ලෙස ස්වකීය පෞරුෂය, ශාන්ත සංකල්ප කරගත් ආකාරය තුළ වූ එක් මූලික ම ලක්ෂණයක් වූයේ ‘නොගැලපීමට ගැලපීමේ’ ලක්ෂණයයිග වෙනත් අයුරකින් කියන්නේ නම් ජීවිතය පහසු කරවන ස්ථාපිත වටිනාකම්, ක‍්‍රම වේද සහ ප‍්‍රයෝග සමග ගැලපීමම ශාන්ත ගේ  ක‍්‍රමය නොවීය.

මේ නිසා ශාන්ත හිතුවක්කාර ‘පර්යේෂණගාමී’ සොයන්නකු ගේ චරිත ලක්ෂණ බොහෝවිට ප‍්‍රදර්ශනය කළේය. ශාන්ත ගේ මෙම චරිත ලක්ෂණය පෝෂණය කිරීමේ සහ එය කලාකරුවකු ගේ ජීවිතයේ මූලික ලක්ෂණයකැයි යන විශ්වාසය  ගොඩනැඟිමේ ලා ප‍්‍රධාන වූ සාධක තුනක් මට දැකිය හැකිය.

ශාන්ත සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ (වර්තමාන සෞන්දර්ය විශ්වවිද්‍යාලයය* ඉගෙනුම ලැබූවෙක් නොවේ. එහෙත් ඔහු කිසියම් ආකාරයකට කලාව පිළිබඳව විධිමත් අධ්‍යාපනයක් ලැබූවෙකි.  ඔහු කලාව පිළිබඳව උසස් අධ්‍යාපනය ලැබුවේ විසි වැනි සියවසේදී  ශී‍්‍ර ලංකාව තුළ එය ලැබිය හැකි ඉහළම ‘ආයතන’ දෙකෙනි. ඒ ස්ටැන්ලි අභයසිංහ සහ එච්. ඒ. කරුණාරත්න යන මහා කලා ගුරුවරුන් දෙදෙනාගෙනි. ස්ටැන්ලි අභයසිංහ සහ එච්. ඒ. කරුණාරත්න යනු හුදු සිත්තරුන් දෙදෙනෙක් නොවේ. ඒ දෙදෙනා යනු සෞන්දර්ය අධ්‍යාපන ආයතන සම්ප‍්‍රදායේ ප‍්‍රධානම ප‍්‍රකාශන දෙක මෙන්ම එය ගොඩනැගූ බල මධ්‍යස්ථාන දෙකද වන්නේය. වැඩිමනත් වශයෙන් පසුගාමී චරිතවලින් ගහන සෞන්දර්ය අධ්‍යයන ආයතනය ‘ආයතනයක්’
බවට පත් කළ චරිත දෙක වූයේ ඒ දෙදෙනායි. ශාන්ත කලාව පිළිබඳව ඉහළ දැනුම ලබා ගත්තේ ඒ මහා චරිත දෙක ඇසුරෙනි. එම චරිත දෙක තුළද පැවැති සුවිශේෂම ගුණාංගය වූයේ ඔවුන් දෙදෙනාද, කිසිවිටෙක ‘සෙවීම’ අත්නොහළ සහ  ස්ථාපිතයට අනුගත චරිත නොවීමයිග මීට අමතරව ශාන්ත ගේ මෙම ‘සෙවීම’ සහ             
‘පඨිසෝථගාමී’ චරිත ලක්ෂණ පිටුපස ඔහු 80 ව දශකයේ දී ඇසුරු කළ චිත‍්‍ර ශිල්පී  කණ්ඩායම් ද ඇතැයි මට සිතේ.  ඔහු ඒ දවස්වල ළ`ගින්ම ඇසුරු කළ සිත්තරුන් වූයේ කිංග්ස්ලි ගුණතිලකල චන්ද්‍රගුප්ත තේනුවර සහ මා ඇතුළු කණඩායමයි.

කෙසේ වෙතත් මා මෙහිදී අවධාරණය කළයුතු කරුණ වන්නේ ශාන්ත ගේ නිර්මාණශීලී සෙවීමේ චරිතයේ මූලයන් මා ඉහත සඳහන් කළ සාධක තුනට ආන්තික ලෙස සීමා නොකළයුතු බවයි. ශාන්ත කිසිවිටෙකත් හුදෙක් ‘තොරතුරු’ ලැබීමේ කෙළවරක සිටින චරිතයක් වූයේ නැත.  ඔහු විශාල තොරතුරු ගොන්නක් සම්පාදනය වුණු සහ හුවමාරු වුණු විශාල ගතිකත්වයකින් සැදුම් ලත් කුඩා එහෙත් බලවත් පද්ධතියක සකී‍්‍රය කොටස්කරුවෙක් විය.

ශාන්තගේ කාටුන්

දේශපාලන කාටුන් ශිල්පියෙක් ඔවුන් ජීවත්වන අවදියේ දේශපාලන ජිවිතය පිළිබඳ තියුණු සහ තීක්ෂණ නිරීක්ෂණයන් වඩා පුළුල් ජනකායකට ළංවිය හැකි සංෂිප්ත දෘශ්‍ය භාෂාවෙන් සටහන් කර තබන්නෙක් වේ. මොවුහු එක් අතකින් බලන කල වෘත්තීයමය ‘රණ්ඩු කාරයින්යග’ අනෙක් අතින් ඔවුහු ඉතා සංවේදී මාධ්‍යකරුවෝ වෙතිග වරලත් බලවත් සහ ස්ථාපිතයට නතුවුණු චරිත හා යුධ වදින දේශපාලන කාටුන් ශිල්පීන් කිසියම් සමාජයකල සමාජ මානසිකත්වයේ පවතින දේශපාලනික තෘප්තියල අතෘප්තිය හෝ කළකිරීම පිළිබඳ දර්ශකයන් වෙතැයි මට සිතේ. මා මේ කියන්නේ දේශපාලන කාටුන් ශිල්පි චරිත පිළිබඳ ප‍්‍රශස්ත තත්ත්වයක් විය හැකිය. එහෙත් ශාන්ත මාධ්‍යවේදී කාටුන් ශිල්පියෙකු ලෙස ප‍්‍රශස්ත තත්ත්වයට සමීප තැනක ස්ථානගත කිරීමට මම මැලි නොවෙමි.

ශාන්ත ගේ කාටුන් ශෛලිය ශී‍්‍ර ලාංකේය කාටුන් කලාවේ වැදගත් ස්ථාවරයක් දරතැයි මට සිතේ. ඔහුගේ කාටුන් ඇඳීමේ ශෛලිය ඉතා තීව්ර ද්‍රෘශ්‍ය ලක්ෂණවලින් ගොඩනැඟුණකි. නිශ්චිත රේඛාවලින් සමන්විත ශාන්ත ගේ කාටුන් ඒවායේ හොඳම අවස්ථාවේදි හාස්‍යෝත්පාදක මෙන්ම නිසැක ගැඹුරක්ද සහිත ගොඩනැඟීම් වේග ශාන්ත ගේ කාටුන් ගැන ලියා ඇති බොහෝමයක් ලේඛකයින් පෙන්වා දී ඇති පරිදිම එම ගොඩනැඟීම්වල ද්වේෂයල වෛරය හෝ ආන්තික අපහාසය පිළිබඳ සලකුණු අපට දැකිය නොහැකිය. මේ නිසාම ශාන්ත ගේ කාටුන් ඉහළ ගණයේ කාටුන්වලින් අපේක්ෂිත මූලික කාර්යයල එනම් ඒවා කිසියම් චරිතයක හෝ චරිත කිහිපයක කිසියම්ල සිදුවීමක හෝ සමාජමය වශයෙන් වැදගත් කරුණක ඇති යටි අර්ථයන් හෝ ඒ චරිත සහ සිදුවීම් වටා ඇති අර්බූදයන්ල ගැටුම් හෝ ගැටලූ  හෝ ඒ චරිත සහ සිදුවීම් දෙස බැලිය යුතු හෝ බැලිය හැකි තවත් මානයන් වෙත පාඨකයන් යොමු කිරීම ඉටුකරයි. ඉහළ ගණයේ දේශපාලන කාටුන් ශිල්පීන් දේශපාලන ප‍්‍රශ්නවලට විසඳුම් දෙන්නේ නැතැයි මට සිතේ.  ඔවුහු එවන් ප‍්‍රශ්න සංයුක්තව ඇති බල ගැටුම් අරභයා අප දේශපාලනික වශයෙන් සංවේදී කරතිග ඔවුහු හුදෙක් මුකරි ‘විරුද්ධ පාක්ෂික’ මානසිකත්වයකින් රෝගාතූරවූ චරිත නොවෙති.

එවන් දේශපාලනික කාටුන් ශිල්පීන් සමකාලීන දේශපාලනය සහ ඉතිහාසය පිළිබඳව සංවේදී ශිෂ්‍යයෝ වෙති.  ඔවුහු කලාකරුවන් මෙන්ම සමාජ දේශපාලන මත ප‍්‍රකාශ කරන්නෝ වෙති. ඔවුනට සංකීර්ණ සහ වියුක්ත නිරීක්ෂණයන්ල සූක්ෂම බුද්ධියකින් පෝෂණය වුණුු පැහැදිලි දෘශ්‍ය රූපවලට පෙරළිය හැකිය.

මගේ මිතුරු ශාන්ත සතුව මේ ගුණාංග බොහෝමයක් ඇති බැව් ඔහුගේ ‘සතැස්’ ග‍්‍රන්ථය බැලීමෙන් ඔබට පසක් වනු ඇත.

මහාචාර්ය  ජගත් වීරසිංහ
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය

10 comments:

  1. වදන් සිය දහස් ගණනකින් කියා නිම කල නොහැකි දේ ඔබගේ එක් සිතුවමකින් කියන්නේ කෙසේදැයි කියා හැමදාමත් විශ්මයට පත්වීමි.

    ReplyDelete
  2. හිතුවක්කාරී නෙවුන හිතුවක්කාරී ශාන්ත සිත්තරෙකි., කේ.හේරත් නම් වූ කාටූන් ශිල්පී සොඳුරු කලාකරුවාණෝ.

    ReplyDelete
    Replies
    1. හිතුවක්කාර නොවන කිසිවෙකුට නිර්මාණ කරුවෙක් වෙන්න බෑ... හැබැයි ඕනම කෙනෙකුට කලා කරුවෙක් වෙන්න පුලුවන්.....

      Delete
    2. හිතුවක්කාර නොවන කිසිවෙකුට නිර්මාණ කරුවෙක් වෙන්න බෑ... හැබැයි ඕනම කෙනෙකුට කලා කරුවෙක් වෙන්න පුලුවන්.....

      Delete
    3. හිතුවක්කාර නොවන කිසිවෙකුට නිර්මාණ කරුවෙක් වෙන්න බෑ... හැබැයි ඕනම කෙනෙකුට කලා කරුවෙක් වෙන්න පුලුවන්.....

      Delete
  3. සොඳුරැ නිරහංකාර කාළාකරැවානණි ඔබට ජයෙන් ජයම වේවා!!

    ReplyDelete
  4. obata mage unusum suba patum aiya.budu sarani...........

    ReplyDelete