2013/09/02

එක මලක නොවෙයි, මල් යායක සිරස නැමෙයි.........






එක මලක නොවෙයි,
මල් යායක සිරස නැමෙයි...


කුමාරතුංගයන්aගේ අගය පිළිබඳව, රත්න ශ්‍රී පද ගෙත්තමක්‌ කළේ එසේය. එය උත්තම පුරුෂ ගණයට වැටෙන ඕනෑම ගුරුවරයකුට ඔබිනේය. දෙමව්පියන්ට වැඩිම වුවහොත් දරුවන් දෙතුන් දෙනෙකි. පෙර කාලේදී හය හතකි. නමුත් ගුරුවරයාට දරුවන් දහස්‌ ගණනකි. ඒ දරු මල් රටට පුබුදා දෙන්නේ ගුරුවරුය. ඒ ගුරු කාර්යය වෙනුවෙන් මල් යායකම සිරස යම් දිනෙක නැමෙනු ඇත.

මොරටුව වේල්ස්‌ කුමර විදුහල ඔහුගේ අසපුවය. විශ්‍රාම ගොසින් වසර විසිපහක්‌ පමණ ගතවී තිබුණත් පාසල් නිවාඩු කාලය ද එළැඹී තිබුණත් වේල්ස්‌ කුමර විද්‍යාලයේ චිත්‍ර පන්තියේ ඔහු හිඳගෙන සිටියි. අප ඔහු හමුවීමට යන්නේ කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරවය. එනමුත්, අපට වර පතක්‌ නැතිවද නොවේ. ඔහුගේ චිත්‍ර, මූර්ති ශිෂ්‍යයකු වන ශාන්ත කේ. හේරත් අප සමග මේ ගමනට එක්‌ වී තිබේ. තමා කුඩා කල පැමිණි පාසලට ශාන්ත කේ. හේරත් අපව කැඳවාගෙන යන්නේ ආඩම්බරයෙනි. චිත්‍ර පන්තියට යන මග මුලින්ම පෙනෙන්නේ, වේල්ස්‌ කුමර සහ වේල්ස්‌ කුමරි විදුහල්වල සමාරම්භක ශ්‍රීමත් චාර්ල්ස්‌ හෙන්රි ද සොයිසාගේ තරමක්‌ විශාල පිළිමයකි. "මේක හැදුවේ තිස්‌ස සර්...."

තව අඩි කිහිපයක්‌ ගිය තැන විදුහලේ බුදුමැදුරය. එය නෙළුම් මලක්‌ මතින් ගොස්‌ බුදුන් වඳිනු පිණිස මෙන් සාදා තිබේ. බුදු පිළිම වහන්සේගේ සිට ඒ සියල්ලේම නිර්මාණකරුවා තිස්‌ස සර් බව ශාන්ත කේ. හේරත් අපට කියන්නේ අභිමානයෙනි.

අප චිත්‍ර පන්තියට පිවිසියෙමු. ඒක චිත්‍ර පන්තියක්‌ පමණක්‌ නොවේ. මූර්ති, නාට්‍ය, කැටයම් ආදී බොහෝ දෑ එහි තිබේ. තිස්‌ස ගුණවර්ධනයන්... චිත්‍ර පන්තියේ ප්‍රතාපවත් --- හා පුටුව සමග සුහදශීලී සිනහවෙන් හිඳියි. මීට ටික කලකට පෙර නිව්යෝර්ක්‌ සිටි චිත්‍රපට උළෙලේදී ලෝකයේ හොඳම නළුවා ලෙස සම්මාන ලැබූ ජගත් චමිලට, නර්තන අත්පොත තබන්නේ තිස්‌ස ගුණවර්ධනයන්ය. වසර එකොළහක්‌ පිට පිටම රාජ්‍ය පාසල් නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය නිර්මාණය කරන්නේ තිස්‌ස ගුණවර්ධනයන්ය. හුදී ජනයා අතර ප්‍රකට නැතුවා වුවත්, යෞවනයන්ගේ ලෝකයේ ඔහු පරසිඳුය. අපගේ පාසල් ගුරු නොවූවද ඒ ගුරු පියාණන්ට අපද දන නමැද වැන්දෙමු.

මල් යායකම සිරස නැමෙයි... යන්න ඔහු විෂයෙහි වටින්නේ ඒ හෙයිනි.

තිස්‌ස ගුණවර්ධනයන් ක්‍ෂේත්‍ර ගණනාවක හැකියාවක්‌ සහිත කලාකරුවකු, ගුරුවරයකු ලෙස වත්මන් සිංහල කලා ක්‍ෂේත්‍රයට 'චරිත' ගණනාවක්‌ ද බිහිකර දෙන ලද්දේය.

පැසුණු හිසින් බුහුමන් ලබන තිස්‌ස ගුණවර්ධනයන්ගේ දුක සැප බලන්නට තොරතුරු විමසන්ට ඕනෑතරම් ගෝලයෝ සිටිති. සහෘදයෝ සිටිති. ඔහු සමග අපගේ අද කතා බහා ගැලපෙන්නේ එවැනි පාර්ශ්වයකින් නොවේ. ඔහුට තනිකඩයා යන නම ගැලපෙනවාද? නැද්ද ප්‍රශ්නයකි. නමුත් පවුල් කාරයකු නොවූ නිසා කියනා, තනිකඩයා යන වචනාර්ථය අනුව ඔහු තනිකඩයෙකි. තමන්ගේ ජීවිතයේ ඔහු වැඩිම කාලයක්‌ ගෙවූ තැන, වේල්ස්‌ කුමර විදුහලේ චිත්‍ර පන්තිය තිස්‌ස ගුණවර්ධනයන්ගේ තනිකඩ අසපුව ලෙස ගනිමින් ඔහු සමග අපේ කතාබහ ඇරඹුවෙමු.



ඔබ කලාකරුවෙක්‌, නිර්මාණකරුවෙක්‌ පමණක්‌ නොවෙයි, පරපුරක්‌ තනපු කෙනෙක්‌. නමුත් පුද්ගලික ජීවිතයේදී ඔබ, විවාහය කියන කඩඉමට ළඟා වුණේ නැහැ. තනිකඩයකු ලෙසයි ජීවිතය ගෙවන්නේ.....

මට ඇත්තටම තනිකඩකමක්‌ දැනෙන්නේ නැහැ. මගේ අයියගේ පුතාගේ දරුවෝ දෙන්නා තමයි, මගේ තනිකඩකම ගෙදරදී මකන්නේ. ඒ දෙන්නත් එක්‌ක මම බොහෝම ප්‍රබෝධයෙන් ගෙදර ජීවිතය ගත කරනවා. කොහොමටත් මම නිර්මාණයක යෙදෙනවා නම් මට කිසි දෙයක්‌ මතක නැහැ. ඒක මට ඉබේම සිද්ධ වෙන දෙයක්‌. කොහොමටත් හැම වෙලේම මම ඒ වගේ නිර්මාණයක්‌ ගැන හිත යොදවනවාමයි. නාට්‍යයක්‌ ලියනකොට, මූර්තියක්‌ හදනකොට... ගෙදර යනවද... නැද්ද... ගෙදරක්‌ තියෙනවද... කියලවත් මට හිතෙන්නේ නැහැ. ඒ සතුට තමයි මම විඳින්නේ. ඒ නිසා හැම වෙලේම මම සතුටින් ඉන්නවා. කවුරු හරි ඔහොම ඇවිල්ලා ඇහැව්වොත්... ඒ වගේ වෙලාවට මට තනිකඩ කම ගැන මතක්‌ වෙනවා.

තනිකඩයෙක්‌ ලෙස ජීවත්වෙනවා... කියන එක ඔබ ගත්ත තීන්දුවක්‌ද? නැතිනම් එය ජීවිතයේ ගලායන හැටි කියලද හිතෙන්නේ...

තරුණ කාලේ මම එහෙම තීන්දුවක හිටියේ නැහැ. බඳිනවාද තනිකඩව ඉන්නවාද කියන දේවල් එතරම්ම ලොකු මාතෘකා බවට පත් වුණේ නැහැ. ඒ අවස්‌ථාවල් පසු කරගෙන එනවිට ඒක ඉබේම එහෙම වෙලා තියෙනවා. ඒකේ දුකක්‌, වේදනාවක්‌ නැහැ...

ගුරුවරයකු ලෙස පාසල් ප්‍රේමය සම්බන්ධයෙන් ඔහු දැරූ මතය කුමක්‌දැයි අපි නොදනිමු. පුද්ගලයකු ලෙස ඔහුගේ ප්‍රේමය ගැන කතාව ඇරඹිය යුත්තේ එතැනිනි. ඔහුගේ මේසය ඉදිරියේ ඔහු විසින් වැඩ නිමකරමින් තිබෙන විශාල සිතුවමකි. එම සිතුවමේ දැක්‌වෙන්නේ, එකිනෙකා ප්‍රේමයෙන් වැළඳගෙන සිටින නව යෞවන යුවළකි. ඒ යෞවන අත්දැකීම, ඔහු සතු නොවූවක්‌ද...?

එහෙම ලොකු සම්බන්ධකම් කියලා දේවල් පාසල් කාලයේ ඇති වුණේම නැති තරම්.. ඇති වෙච්ච දේවල් ගැනත් ඒ තරම්ම තැකීමක්‌ තිබුණේ නැහැ කියන්න පුළුවන්. එහෙම කෙනෙක්‌ ළං කරගෙන ජීවිතය ගෙන යන්න මට බයක්‌ තිබුණා. එහෙම කරන එක මහා ප්‍රශ්නයක්‌ කියලා මට හිතුනා. මම නිදහස ගැන ටිකක්‌ කල්පනා කළා. ඒකෙන් මගේ නිදහසට කරදරයක්‌ වෙයි කායලා, මට හිතුනා. මම ජීවිතය ගෙනියන විදිහ ගැන සතුටිනුයි හිටියේ. ඒ නිසා ඒ සතුටට බාධාවෙන, නිදහස නැති වෙන දෙයක්‌ වෙයි කියන බයත්, මට එතැනදී ඇති වුණා. වයස අවුරුදු පහළොව දහසය වෙන කොටම මට මේ අදහස්‌ ඇති වුණා.

තිස්‌ස ගුණවර්ධනයන්ගේ තනිකඩකමේ තර්කය ගෙනෙන්නේ එලෙසිනි. පුටු ඇඳි මතට බර වෙමින්, සැහැල්ලු සිනහවක්‌ සහිතව ඔහු කතාව කියාගෙන යයි. ප්‍රශ්නාවලියක්‌ ඉදිරිපත් කරන තරමට තනිකඩකම ගැන අපට කතාවක්‌ තිබුණද, ඔහුට තනිකඩකම යනු ගලායන ජීවිතයමය.

ඔබට තනිකඩකම එසේ විය හැකි වුවත් දෙමව්පිය, ඥති සමාජය එය එලෙසම නොදකිනවා විය හැකියි. ඒ නිසා විවාහය සම්බන්ධයෙන් පවුලෙන් බලපෑම් එල්ල වෙනවා....

ප්‍රශ්නයක්‌ ලෙස එය අසන විටම ඔහු සිනහ වෙමින්.. අත වනමින්...

"නැහැ... නැහැ... එහෙම ඒවා මට ආවේම නැහැ. ඒ අය මට ඒ වගේ ඒවා කිව්වේම නැහැ. පවුලෙන් තියා පිට අයගෙන්වත් මට එහෙම බලකිරීම්, ආවේ නැහැ.

ඒ කියන්නේ... ඔබගේ විදිහ දන්න අය හිතුවද ඔබ තනිකඩව ඉන්න එක හොඳයි කියලා....

එහෙම හිතුවද දන්නේ නැහැ... ඒත් ඒ අය විවාහය වගේ විෂයක්‌ කතා කරනකොට මාව අතඇරලයි කතා කළේ.

නිර්මාණකරුවාගේ විෂය ප්‍රේමය... ඔහුගේ නිර්මාණවල උල්පත විරහව... ආදී ලෙසයි... සාමාන්‍යයෙන් කතා කරන්නේ ඔබගේ නිර්මාණ ලෝකයේදී ස්‌වීය අත්දැකීමක්‌ වුණු ප්‍රේමයක්‌ නැති තරම්ද....

මම ඒක හිතෙන් මවාගෙන විඳිනවා.. එහෙම අත්දැකීමක්‌ ඇත්තෙත් නැහැ... නිර්මාණවලදි මම ප්‍රයෝජනයට ගන්නේ එහෙම මවා ගත්ත දේවල්.

ඔහුගේ ප්‍රේමය, පරිකල්පනයකි. තවත් නිර්මාණයකි. එතැනින් එහාට ඔහු ප්‍රේමය විඳ ඇත්තේ නැති තරම්ද? තිස්‌ස ගුණවර්ධනයන්ගේ පිළිතුරු අසමින් සිටින විටම සිතට ඒ අදහස්‌ නැගඑයි....

මොනරවිල නාට්‍යයේදී මම ඒ වගේ කල්පනා කරලා... ආදරය ගැන නිර්මාණ කළා. මගේ එක ගෝලයෙක්‌ බඳින්නේ නැතිවම හිටියා. මම එයා දිහා හොඳට බලාගෙනයි හිටියෙත්. ටික දවසක්‌ ගිහිල්ලා... එයා මට ඇවිල්ලා කිව්වා... "සර්, මම බැන්දා" කියලා. මට පුදුම හිතුනා. එයාට ඒ වගේ වගකීමක්‌ කරගෙන යන්න පුළුවන්ද කියලා... නිදහස නැතිවීම දරාගන්න පුළුවන්ද කියලා... ඒ වුණාට අද එයා හොඳින්ම ඒ කටයුතු කරගෙන යනවා.... එතකොටත් මට හරි සන්තෝෂයි. මං ගාවට එන ගෝලයෝ... තමන්ගේ බිරිය, ළමයි එහෙම එක්‌කගෙන සතුටින් ඉන්නවා පේනකොට මට හුඟක්‌ සතුටුයි.

ඔහු වැන්නෙකුගේ ගෝලයෙකු වීමට තිබුණා නම් හොඳයි කියා සිතෙන්නේ... ඔහුගේ කලාගාරය දකින විටය. එය මා හැඟි දර්ශනයකි. කටවුට්‌, නිර්මාණය වෙමින් පවතින චිත්‍ර, මූර්ති ඇතුළු ඒ කාමරය, පාසලක චිත්‍ර ශාලාවකට වඩා සරසවියක අධ්‍යයනාංශයක්‌ වැනිය. එවන් පරිසරයක තිස්‌ස ගුණවර්ධනයන්ගෙන් යමක්‌ ඉගෙන ගත්තා නම් යෑයි සිතුනත්... එසේ වූවා නම් විවාහය වැනි පෞද්ගලික මාතෘකාවක්‌ ගැන මෙසේ ඇසීමේ වරම අහිමිවීමට එයම හේතුවන්නට පුළුවන. ඒ අවසරයෙන් අප අසා දැනගත් දෙයක්‌ ගැනද ඔහුගෙන් විමසුවෙමු.

ඔබටත් හොඳ දැනෙන ප්‍රේම සම්බන්ධයක්‌ තිබුණා යෑයි කතාවක්‌ අප අසා තිබෙනවා. එය බිඳ වැටීමෙන් පසු ඔබ ප්‍රේමය, විවාහය ගැන සිතුවේම නැති බවත් කියවුණා. ඒ කතාවේ ඇත්තක්‌ තියනවාද....

එහෙම එකක්‌ තිබුණා. ඒක ඇත්ත... මහ හයියෙන් හිනා වෙමින් ඔහු පිළිතුරු දීම ඇරඹුවේය.

මුල් දවස්‌වල ඒක හරිම සුන්දරයි. ඒත් මං වැඩ කරන විදිහ බලාගෙන එයාට ඉන්න බැරිවුණා. පස්‌සේ වෙනකොට එයාට මාව කරදරයක්‌ වගේ පේන්න ඇති. ඒ එක්‌කම මම ඒක අතහැරලා දැම්මා....

පිකාසෝටත් ඔය වගේ වැඩක්‌ වුණා. මිනිහා බැන්දේ වයසට ගිහිල්ලා... තරුණ ගැහැනු ළමයෙක්‌... ඉතිං.... මුල් දවස්‌වල ඒ ළමයා පිකාසෝට ආදරේ කළා... පස්‌සෙ.. පස්‌සේ... පිකාසෝව ඒ ළමයට ඇල්ලුවේ නැහැ. පිකාසෝගේ උනන්දුව තියෙන්නේ කලාවට මිසක්‌ පවුලට නෙවෙයි කියන එක ඒ ළමයට තේරුණා. ඊට පස්‌සේ ඉතිං... රණ්‌ඩු තමයිලු....

විවාහයේ නීරස අත්දැකීමක්‌ කලාව ඇසුරෙන් ඔහු අපට පහදා දෙයි. ඒ ගුරුවරයකුගේ ශෛලියෙනි. ඒ අතරතුර කතා බොහෝ දුර ගමන් කළේය. ළමා නාට්‍ය අත්දැකීම් අලුතෙන් ඔහු විසින් සිතුවමට නඟන සූනියම් දේවියන්ගේ චිත්‍ර වැනි දේ ඔහුගේ නවතම නාට්‍ය සිතුවිල්ල වී ඇති රාවණා කතාව වැනි දේ ඒ තුළ අන්තර් ගත විය. අප ඔහු සමග ගත කළ හෝරා ගණනින් වැඩිහරියක්‌ ගෙවී ගියේ තනිකඩකම ගැන කතාවටය.

ශාන්ත කේ. හේරත් සහෘදයාද කතාවේම කොටස්‌කරුවෙක්‌ වී සිටියි. ගුරු ගෝල සම්බන්ධය දෙදෙනා විසින් මානව නඩත්තු කර තිබෙන බව පෙනෙන්නේ, අවබෝධයකින් යුතුව හරි හරියට කියන කතා අනුවය.

අපි උදේට පන්තියට එනකොට සර් චිත්‍ර පන්තියේ ඉන්නවා. ඉස්‌කෝලේ ඇරුණාම ඊළඟට ළමයි එනවා නාට්‍ය පුරුදු වෙන්න. ඒ අතර අපි ඉඳගෙන චිත්‍ර, මූර්ති වැඩ, හැන්දැවේ හයට විතර අපි යනකොටත් සර් පන්ති කාමරේ... සර්ට එන යන වෙලාවක්‌ විවේකයක්‌ තිබුණේම නෑ....

ශාන්ත කේ. හේරත්ගේ මතකය අනුව බලනවිට උත්තම ගුරුවරයකු ලෙස ඔහු කළ සේවයද ඔහුට තනිකඩ ජීවිතයක්‌ ඉතිරි කර තිබේ. තනිකඩ ජීවිතය යනු විවාහ නොවන්නට පර්යාය පදයක්‌ නම්, එය තිස්‌ස ගුණවර්ධනයන් විෂයෙහි භාවිතය අවුලක්‌ නැත. නමුත් ඔහු තනිකඩ නැතිවා මෙන්ම පාළුවක්‌ කාන්සියක්‌ද නැති යෞවනයකු තවම ජීවිතය ගත කරයි.

වෙනදා අප ගිය තනිකඩ අසපුව වෙනුවට ඔහු චිත්‍ර, මූර්ති පිරිවරාගත් කලාගාරයක වැඩ කරමින් සිටියි. එහි කිසිම තනිකඩකමක්‌ නැත."මට වේලාවක්‌ තිබුණේම නෑ කියන්නත් පුළුවන්. තියෙන හැම වෙලාවකම මොකක්‌ හරි වැඩක්‌ කළා. රෑට ගෙදර ගියාමත් එහෙමයි. ඇඳට ගියහමත් එහෙමයි. ඇඳේ ඉඳනුත් කල්පනා කළේ නාට්‍ය ගැන... මූර්ති ඒ කාලේ මම සිගරට්‌ බොනවා. ඇඳේ ඉඳන් සිගරට්‌ එකක්‌ බොන ගමන්.. කල්පනා කරලම නින්ද ගියා... සිගරට්‌ එකෙන් මෙට්‌ටෙත් ගිනි ගත්තා... දුමට යන්තම් ඇහැරුණා.. තව ඩිංගෙන් මාත් පිච්චෙනවා.

සිරියහන ගැන ඔහුගේ අත්දැකීම් තිබෙන්නේ එබඳු තැනකය. අපි ඔහුගෙන් විරාමයක්‌ පැතුවේ, යළි හමුවෙන්න අවස්‌ථාවක්‌ ඉල්ලමිනි. ඒ සඳහා අවසරද ඔහුගෙන් අපට ලැබිණි.

පැමිණෙන විට ඔහු අපට ප්‍රශ්නයක්‌ ඉතිරි කර තිබිණි....

තිස්‌ස ගුණවර්ධනයන් තනිකඩද....?

ඔසිත අත්තනායක
ඡායාරූප - සමන් අබේසිරිවර්ධන 


උපුටා ගැනීම දිවයින පුවත්පත

No comments:

Post a Comment