2012/11/15

ළමයින් රැවටීමට චිත්‍ර ඇඳීම ජාතික අපරාධයක්‌

ශාන්ත කේ. හේරත් ගේ චිත්‍රවලින් සහ නෙවිල් පෙරේරාගේ රචනයෙන් 'ගෙඡ්ජි මාලය' ළමා සාහිත්‍ය කෘතිය දොරට වැඩුමේ උත්සවය මෙම 15 වැනි (බ්‍රහස්‌පතින්දා) සවස 3.30 ට කොළඹ 7 ජාතික පුස්‌තකාල සේවා මණ්‌ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.මෙම සාකච්ඡාව ඒ නිමිත්තෙනි.


ළමා සාහිත්‍ය පිළිබඳව ඔබට අදහසක්‌ ඇති. අපි එතනින් මේ සංවාදයට ප්‍රවේශයක්‌ ගමු.

වර්තමාන ලෝකයේ බොහෝ රටවල් ළමා සාහිත්‍ය ළමා කෘතීන් ගැන විශේෂ අවධානයක්‌ අද වන විට යොමු කරනවා. නමුත් අපේ රටේ තත්ත්වය වෙනස්‌. ළමා සාහිත්‍ය පිළිබඳව බාල වෙළෙඳපොළක්‌ කෙරෙහි තමයි අද අපේ රට යොමු වෙලා තිබෙන්නේ.

ළමයින්ට කතන්දර කීම එක්‌තරා ආකාරයකට මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියක්‌. ඒ ගැන ඔබේ අදහස?.

මම එකඟයි. අපි අපේ රටේ දිගු ඉතිහාසය ගැන සොයා බැලුවත්, අපේ අත්දැකීම් ගැන මතක්‌ කළත් ඔය කාරණය තමයි සිදුවෙලා තිබෙන්නේ. අපේ වැඩිහිටියන් විශේෂයෙන් අත්තම්මලා, ලොකු අක්‌තලා අපිට කියා දීපු කතන්දර අපේ ජීවිතවලට කොයිතරම් බලපාල තිබෙනවද?. හොඳ නරක වීරත්වය කියන්නේ මොකක්‌ද? නරක වැඩ කරපුවම ඒකෙ ආදීනව සිදුවෙන්නේ කොහොමද? මේ ප්‍රශ්නවලට උත්තර අපිටම කුඩා කාලයේදී තේරුම් ගන්න අවස්‌ථාවක්‌ කතන්දර හරහා අපිට ලබාදුන්නා. අපිට නීති රීති දාල තරවටු කරනවට වඩා කතාන්දර හරහා අපේ ජීවිතවලට බලපෑමක්‌ කර තිබෙනවා. මේක මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියක කොටසක්‌.

ළමයා ඇඟපතින් වැඩෙනවා වගේම මනසින්ද වැඩෙනවා. ඇඟපත වැඩෙන්න අවශ්‍ය පෝෂණ ගුණයෙන් පිරුණු ආහාරපාන උපරිමයෙන් ලබාදෙන්න අම්මා තාත්තා උනන්දුවෙනවා. ඒත් ඒ අයට නොදැනීම ළමයාගේ මනස වර්ධනය සඳහා කළ යුතු බොහෝ කාර්යයන් සිදුවෙන්නේ වැරදියට. ළමයා ඉදිරියේම වැඩිහිටියෝ සමහර තරග දිනා ගැනීමට වැරදි මාර්ග උපක්‍රම පාවිච්චි කරනවා. ඒකට ළමයින්ද සහභාගි කර ගන්නවා. ළමයාගේ පෞරුෂ වර්ධනය සඳහා මෙයින් බලපෑම් ඇතිවෙනවා.

ඒ වගේම තමයි හොඳ සාහිත්‍ය කෘති පරිශීලනය තුළින් ළමයින්ට විනෝදය වින්දනය වගේම අප රටේත්, ලෝකයේත් සංස්‌කෘතිය ගැන විවිධ වෙනස්‌කම් ගැන අවබෝධය ලැබෙනවා. ඒ වගේම තමන් අවට සමාජය තුළ සිදු වෙන හොඳ නරක දේවල් පිළිබඳවත් නිරීක්‍ෂණය කරන්න පසුබිම සැකසෙනවා. මේ ගැටුම් නිරාකරණය කර ගැනීම සඳහා හැසිරෙන්න ඕනෑ කොහොමද කියල වැඩිහිටියන් සාහිත්‍ය කතාවල එන චරිත ඇසුරින් පෙන්වා දෙනවා. මේ කතාවලින් ගැටලුවලට මූණ දීලා ඒ ප්‍රශ්න ජයගෙන තිබෙන්නේ කොහොමද කියලා අවබෝධය ලබා දෙනවා. මේ පසුබිම මනෝ චිකිත්සක ක්‍රියාවලියකට සමානයි.

ළමා කතාන්දර පොතක කතාව වගේම චිත්‍රවලටත් වැඩි අවධානයක්‌ යොමුවෙන බව පෙනෙනවා.

ඔව්. ළමයි මුලින්ම අකුරු හඳුනාගන්නෙත් රූප විදියටම තමයි. රූපය ළමා මනසට ඉතාම සංවේදීයි. රූපය ඇසුරින් ළමා කතා ඉදිරිපත් කිරීම වඩාත් ආකර්ෂණීයයි. ළමයින් තුළ රූප මවා ගැනීමේ හැකියාව වැඩියි. රූප ඇසුරින් අදහස්‌ ප්‍රකාශ කිරීමේ ශක්‌තියක්‌ වැඩිහිටියාට වඩා වැඩියෙන් ළමයා තුළ තිබෙනවා. ඒවා ඉතාමත් නිරවුල් වගේම ප්‍රකාශණ ශක්‌තියෙන්ද බලවත් වෙනවා. එහෙම වෙන්න හේතුව ළමයා වැඩිහිටියා වගේ සමාජය තුළින් දැනුම එකතු කරගෙන ඒ දැනුම තුළින් කුරුවල් වෙලා නැති නිසා. ළමයි තාමත් අත් දකින චමත්කාරය භය සතුට වේදනාව තමන්ට හැකි ආකාරයෙන් නිර්ව්‍යාජව ඉදිරිපත් කරනවා. වැඩිහිටියා අදහස්‌ ඉදිරිපත් කිරීම තුළින් තමන්ට සිදුවෙන වාසි පාඩු මොනවද කියලා හිතල මතල තමයි අදහස්‌ එළියට දාන්නේ.

සමහර විට වැඩිහිටි අයකුට විසඳගන්න අසීරු ප්‍රශ්න ළමයකු විසින් කිසිවකු නොසිතූ ආකාරයට විසඳගන්න පුළුවන්. මේ ළමා මනස තුළ ඇති විශේෂිත තත්ත්වය වැඩිහිටියන් තේරුම් ගෙන එයට හානි නොකරන්න වගබලා ගන්න ඕනෑ.

''ගේඡ්ජි මාලය'' අපි මුලින් කතා කළ ළමා සාහිත්‍ය කෘතියක ඇති අරමුණු හා කොයිතරම් දුරට සමපාත වෙනවද?

ඔව්. දැන් බලන්න අපි පුංචි කාලේ අහපු කතා පුවතක්‌ අදට ගැලපෙන විදියට කොයිතරම් නිර්මාණාත්මකව නෙවිල් පෙරේරා මහතා කියනවද කියලා. මේ කතාව ළමා කතාවක්‌ වුණාට ඒ ගැන හිතනකොට මට හිතෙනවා වැඩිහිටියන්ට පවා යමක්‌ ගැන ඉඟි කරන දේශපාලන දර්ශනයක්‌ ඇති කතා පුවත් මෙහි ගැබ්වෙලා තිබෙන බව.

ලේඛකයා වැඩිහිටියෙක්‌ වුණාට ඔහු ළමා මනස ඉතා හොඳින් තේරුම් ගෙන කතාන්දරය ළමයා වෙත ඉදිරිපත් කර තිබෙන ආකාරයට මට චිත්‍ර නිර්මාණය කරන්න විශාල නිදහසක. අවකාශයක්‌ ලබාදී තිබෙනවා. පුංචි ''කිටී'' ළමා චරිතයක්‌ බවට පත්වී ළමයකු හිතන පතන විදියට හිතලා විශාල ගැටලුවක්‌ විසඳනවා. කිටීට පුළුවන් නම්, අපිට අපේ ප්‍රශ්න විසඳගන්න බැරි ඇයි කියන කාරණාවත් ළමයි තුළ ගොඩනගන්න කතුවරයාට පුළුවන් වෙලා තියෙනවා.

''ගේඡ්ජි මාලය'' සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකින් පළකිරීමට හේතුවක්‌ තිබෙනවද?

ඔව්. අපිට ඕනෑ වුණා. මේ පොත සිංහල, ඉංග්‍රීසි, දෙමළ යන භාෂා තුනෙන්ම ඉදිරිපත් කරන්න. ඒත් තාක්‌ෂණික හේතූන් නිසා දෙමළ භාෂාවෙන් පොත ප්‍රකාශ කිරීම ටිකක්‌ ප්‍රමාද කරන්න සිදු වුණා.

ළමා කතාන්දර පොත්වල චිත්‍ර නිර්මාණය කර ඇගයීමට ලක්‌වූ ශිල්පියෙක්‌ ලෙස ළමයින් සඳහා චිත්‍ර නිර්මාණය කළ යුතු ආකාරය ගැන ඔබට හිතෙන්නෙ මොනවද?

ළමයි අඳින චිත්‍ර ළමා චිත්‍ර. ළමයින් සඳහා වැඩිහිටියන් අඳින චිත්‍ර ළමා චිත්‍ර කිව්වට ඒවා ළමයි අඳින චිත්‍රවලට වඩා වගකීමෙන් අඳින දෙයක්‌ වෙන්න ඕනෑ. මේක ටිකක්‌ නෙවෙයි බොහොම ගැඹුරු කාරණාවක්‌. අද වන විට වැඩිහිටියෝ අඳින චිත්‍රවලින් වැඩි හරියක්‌ නරඹන්නාගේ ඇස්‌ රැවටීම සඳහා තමයි අඳින්නේ. ඒ වැඩිහිටි අවශ්‍යතාවය විය හැකියි.

නමුත් ළමයින් රැවටීම සඳහා චිත්‍ර අඳිනවා, නිර්මාණ කරනවා නම්, එයින් සිදුවෙන්නේ ජාතික අපරාධයක්‌. රටක්‌ ජාතියක්‌ සංස්‌කෘතියක්‌ විනාශ කිරීමක්‌.

උසස්‌ රසයක්‌ වින්දන හැකියාවක්‌ නොමැති ජනතාවක්‌ බිහිවුණොත් ඒ තමයි මිනිස්‌ පරපුර විනාශය කරා යැම ඉක්‌මන් කිරීමක්‌ වන්නේ. මේ නිසා ළමුන් සඳහා සාහිත්‍ය නිර්මාණය චිත්‍ර නිර්මාණය කිරීම ප්‍රවේසමෙන් කළයුතු වෙනවා. උදාහරණයකට ළමා පොත්වලට වෙනත් අයගේ චිත්‍ර කොපිකර අඳිනවා නම් එය ළමයින්ට නරක ආදර්ශයක්‌. වර්ණ ගැළපීම් ගැන හැඟීමක්‌ නොකොට චිත්‍ර කලාවේ මූලික ව්‍යාකරණය නොසලකා වාණිජ අරමුණු මුදුන්පමුණුවා බාල ප්‍රයෝග යොදාගත්තොත් ඒ ඔස්‌සේ ඇතිවන පරපුර හරහා සිදුවන්නේ විනාශයක්‌. නිර්මල රසිකත්වයක්‌ ඇති ළමා මනසට එවැනි බාල හරසුන් කෘතිවලින් විනාශ කිරීම ළමයා තුළ සිටිනා උසස්‌ මිනිස්‌ ගති මරා දැමීමක්‌ වෙනවා. එය මිනිසකු මරා දැමීමටත් වඩා වැඩි බරපතළ අප රාධයක්‌.

අලුත්ම ප්‍රකාශන ආයතනයකින් කලඑලි දකින ගෙඡ්ජි මාලය කතාන්දර පොත ඉහල ප්‍රමිතියකින් යුතුව නිමවී තිබෙනවා. ඒ ගැන කතා කළොත්.

මම මුලින්මත් කිව්වා. මේ සමාජයේ කඩා බිඳී යන බරපතළ කාරණාවක්‌ නිවැරැදි කිරීම සඳහා අපේ ශක්‌ති ප්‍රමාණයෙන් උත්සාහයක්‌ මේ ගන්නේ කියලා. අපිට සමහරවිට මේ දැවැන්ත බිඳ වැටීමේ ප්‍රවාහය නතර කරන්නට බැරිවේවි. නමුත් මනුස්‌සයෝ විදියට අපි උත්සාහයක්‌ ගන්නවා. ඒක අපි කරන්නේ අවබෝධයෙන් කැපවීමෙන්.

පොතක්‌ නිෂ්පාදනය කරන්න තනිව බෑ. මේකට හවුල්කරුවෝ ඉන්නවා. ලේඛකයා, චිත්‍ර ශිල්පියා, සැලසුම්කරුවා, මුද්‍රණකරුවා, ප්‍රකාශකයා ප්‍රධාන වෙනවා. මේ සියලු දෙනා එකමතයකට ඇවිත් වැඩ කරන්න පටන් ගන්නවා. කියන එක ලේසි පහසු කටයුත්තක්‌ නොවෙයි. ඒත් මේ මොහොතෙදි අපි එක්‌ අරමුණක්‌ වෙනුවෙන් එකඟවෙලා ඉන්නවා. එහි ප්‍රතිඵලය දකින්නට පුළුවන් වෙලා තිබෙනවා.

මේ රටේ ළමයින්ට උසස්‌ සාහිත්‍ය කෘතියක්‌ රසවිඳීමට අවස්‌ථාව සලසාදීම විතරක්‌ නෙවෙයි, අපි එහි නිමාව ගැනත් සැලකිලිමත්. මේ පොත කියවන්නත් කලින් පොඩිවෙලා ඉරිලා විනාශවෙලා යනවා නම් අපි අර කියන මූලික ගුණ මොනවා තිබුණත් වැඩක්‌ නෑ. පොත කියවලා ප්‍රවේසමෙන් නංගිලා මල්ලිලාටත් දෙන්න, නැත්නම් ඒ අයගේ දරුවන්ටත් දෙන්න මේවා ප්‍රවේසම් කරන්නත්, කියලා දෙන්න ඕනෑ. නැතිනම් වෙන්නේ කටුගේ වීදුරු කූඩු ඇතුළේ තිබෙන පැරණි භාණ්‌ඩ ටික හරි අරගෙන විකුණලා කුඩු ගහන සමාජයක්‌ බිහිවෙන එකයි.

මෙබඳු නිමාවක්‌ ඇතිව පළකරන පොතක මිල ගැනත් අපිට කතා නොකර බැහැ.

ඇත්තටම ඒකත් විශාල ප්‍රශ්නයක්‌ තමයි. අද පොත් නිෂ්පාදන ක්‍ෂේත්‍රය තුළ පවතින මිල සූත්‍රයට අනුව වැඩිම වාසිය ලබන්නෙ පොත් වෙළෙන්දා, නැතිනම් අතරමැදියා. ඊළඟට ප්‍රකාශකයා. ඊළඟට සොච්චමක්‌ කර්තෘට. ඊළඟට චිත්‍ර ශිල්පියාට සොච්චම් මිලක්‌. මේ විදියට නිර්මාණ කාර්යයට උරදෙන මිනිහාට කිසිම ගෞරවයක්‌ හෝ වටිනාකමක්‌ ලැබෙන්නෙ නෑ.

මේ නිසාම ප්‍රකාශන කාර්යයේදී අපි අර මුලින් පුන පුනා කියූ ගුණාත්මකභාවය අහෝසි වෙලා යන්න ඇති. දැන් අපි පොතේ මිල වැඩි කරමු. එවිට සිදුවන්නේ අතරමැදියාට යන මුදල් ප්‍රමාණය වැඩිවීම මිස වෙන යමක්‌ නෙවෙයි. මේ වැරැද්ද නිවැරැදි කර ගැනීමට ක්‍රම වේදයක්‌ සොයනවා. වෙනුවට ප්‍රකාශකයන් කරන්නේ. නිර්මාණාත්මකව මේ කාර්යයට හවුල් වෙන ශිල්පීන් අවතක්‌සේරුවට පත් කිරීමයි.

මේ නිසාම ළමා පොත් නිර්මාණ කාර්යයේදී උසස්‌ නිර්මාණ බිහිකිරීම අවම වෙලා තිබෙනවා. උසස්‌ ශිල්පීන් මේ කාර්යයට දායක වන්නේ නෑ. පර්යේෂණ කිරීම, අත්හදා බැලීම අලුත් උපක්‍රම සෙවීම ඔවුන්ට හැකියාවක්‌ නෑ. එවැනි උත්සාහයක්‌ දරන විසේකාර ශිල්පියෙක්‌ දැක්‌කොත් ඔවුන් පිස්‌සන් වශයෙන් නැතිනම් කරදරකාරයෙක්‌ වශයෙන් හංවඩු ගැසීමයි සිදුවන්නේ. මේක ප්‍රශ්නයක්‌. ජාතික ප්‍රශ්නයක්‌. රටේ ළමා පරපුරේ මූලික අවශ්‍යතාවක්‌ පිළිබඳ ප්‍රශ්නයක්‌.

මේ ප්‍රශ්නයේදී වැඩිහිටියන්ටත් කාර්යභාරයක්‌ තිබෙනවා. තමන්ගෙ දුවට පුතාට හොඳම දේ අරන් දෙන දෙමාපියන් සාහිත්‍ය කලාවේදී අරන් දෙන්නේ බාලම දේ. අඩුම මුදලට ගත හැකිදේ. මේකත් කනගාටුවට හේතුවක්‌.

මේ නිසා විනාශ වෙන්නේ ළමයින්ගේ මානසික පෞරුෂ වර්ධනයයි. එසේ දුර්වල සමාජයක්‌ තුළින් තමා මම අර මුලින් කිව්වා වගේ පුරාවස්‌තු කොල්ලකන, මිනීමරන, ස්‌ත්‍රී දූෂණ කරන, කුඩු ගහන උන් වීරයෝ කරන සමාජයක්‌ උපදින්නේ. ඒක කොහෙත්ම ආශ්චර්යවත් සමාජයක්‌ වන්නේ නෑ.

කිසිදු කලාවක්‌ විඳීමේ සාරවත් සංස්‌කෘතියක්‌ නැති අධ්‍යතන සමාජයට මෙබඳු පිරිවැයක්‌ දරා කරන උසස්‌ නිර්මාණයකට සාධාරණයක්‌ ඉටුවෙයි කියලා හිතනවද?

තවමත් අපි මේ සමාජය ගැන මිනිසුන් ගැන අඩු තක්‌සේරුවකට පැමිණ නෑ. අපි හිතනවා තවමත් මේ තත්ත්වයන් නිවැරදි කරගන්න ප්‍රමාද නෑ කියලා. ප්‍රශ්නය මේ සඳහා ඉදිරිපත් වෙන්න ශක්‌තිය ඇති අය ඒ ශක්‌තිය තමන් සතු බව නොදැන සිටීමයි. අපි මේ කරන්නේ ඔවුන් අවදිකරවීමයි. අපි දෙමාපියන්ට කියන්නේ ඔබේ දරුවාට හොඳදේ මිස නරක දේ ලබාදීමෙන් වලකින්න කියන එකයි. හරි දේ වෙනුවෙන් පෙනී සිටින්න කියන එකයි. වැඩිහිටි ඔබ ඔබේ දරුවන් වෙනුවෙන් එසේ නොකොළොත් එහි ප්‍රතිඵලය වන්නේ ඔබේ දරුවාට මුණුබුරාට පැහැදිලි අනාගතයක්‌ නොමැති වීම නේද කියලා හිතන්න පෙළඹවීමයි.

චිත්‍ර ශිල්පී ශාන්ත කේ. හේරත්

සංවාදය-නිරෝෂන් හැඳලගේ

4 comments:

  1. ලමයි වෙනුවෙන් ඉන්න ශාන්ත මාමලා වගෙ අය ඉන්න එක රටට වාසනාවක්

    ReplyDelete
  2. ශාන්ත...මම මේ ලිපිය සම්පුනයෙන්ම කිවෙව්වා....ඔබගේ අදහස් හුගක් වටිනවා....ඔබට ජය !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දසුන්.

      Delete
    2. ඇයි ඔබට ඇතිවූ හැගීම් සටහන් නොකරන්නේ. එය වැඩි පිරිසකට ප්‍රෙයෝජනවත් වේවී.

      Delete