කඳු මුදුන
මසිත කොයිතරම් ඉස්සිලා බැලුවත් ඊට වඩා වැඩි දෙයක් පෙනුණෙ නැහැ. ඒත් යාම්තමට පෙනුණු ලඳු පඳුරු මුදුන්වල පාට පාට මල් පිපිල තිබුණා.
ජීවිතය කියන්නෙ මහා උස කන්දක් කියල මට දැනෙන්ඩ පටන්ගත්තෙ පුංචිකාලෙ ඉඳල. ඒ මම පුංචි කාලෙ ඉඳලම ජීවිතය දැකපු හින්ද. ජීවිතය මට දැනෙන්ඩ පටන් ගත් හින්දා. ඒ කාලෙ අපි හිටියෙ කන්ද පාමුල... හැබැයි අම්මයි තාත්තයි මාව උස්සලා මට පේනවට වඩා වැඩි දෙයක් පෙන්නුව.
ඒත් මං වගේම පුංචියට හිටපු හැමදෙනාම පුංචිකාලෙදි ජීවිතය දැක්කද කියන එක මට ප්‍රශ්නයක්. සමහර අම්මල තාත්තල විසින් තමන්ගෙ පුංචි දරුවන්ගෙ දෑස්, ජීවිතයේ ඇසි දිසි මානයෙන් ඈත් කරනවද කියල මට වෙලාවකට හිතෙනවා.
ම සිත මේ වගෙ සිතිවිලිවලින් පිරෙන්ඩ පටන්ගත්තෙ පසුගිය දවසක මම ගිය ත්‍රීවීල් ගමනක් හින්ද..
එක්තරා කඩවීදියක කඩයක් ඉදිරිපිට වූ අගුවෙ තරුණ විය ඉක්මවූ තරුණයෙක් ඉඳගෙන හිටියා. ඔහු ඇඳල හිටියෙ පිරිමි යට ඇඳුමක් තරමටම කෙටි වූ කලිසමක්. ඇඟිලි දෙක අතරෙ සිගරැට් එකක් නැතුවත් ඔහු හිටියෙ සිගරැට් එකක් උරන විදියක් පෙන්වමින්. ඒ අතරෙදි ඇඟිලි දෙක මොහොතකට ඉවතට ගෙන (හරියට සිගරැට් එකක් රඳවාගෙන ඉන්න විදියටම දෑඟිලි තියාගෙන) මොනවාදෝ කියමින් යම්තම් හිනාවුණා. හඬනඟා නෙමෙයි. තොල් අතරින් තමන්ට ම හිනාවෙනව වගේ.
මම ත්‍රීවීලර් එකට නඟින්න පෙර මිනිත්තුවක් විතර මේ පුද්ගලයා දිහා බලාගෙන හිටිය.
”මහත්තය දන්නවද?”
”මං අඳුනන්නෙ නෑ.. ඒත් මං කීප දවසක් දැකල තියෙනවා”
ත්‍රීවීලර් මල්ලි කතාව කියන්ඩ පටන්ගත්තෙ ඊට පස්සෙ.
”අම්මයි තාත්තයි හොඳ උගත් මිනිස්සු. දෙන්නම ලොකු රසසාවල් කෙරුවෙ. මේ වැඩිමල් දරුවා. නොදුන් සැපක් නැහැ. ඉගෙනගන්ඩත් පුළුවන්කම තිබුණා. ශිෂ්‍යත්ව විභාගෙත් පාස්වෙලා කොළඹ ඉස්කෝලෙට ගියා. මං කිව්වෙ මහත්තය අම්මල තාත්තල නොදුන් සැපක් නෑ කියල. ඒත් මහත්තය ඒ දෙන්නම ළමය ගැන හොයා බැලුවෙ නෑ.. කොළඹ ඉස්කෝලෙ යාළුවොත් එක්ක එකතුවෙලා කුඩු ගහන්ඩ පුරුදු වුණාලු. ඊට පස්සෙ එක එක දේවල් දොඩවන්ඩ පටන්ගත්තලු.
අම්මල තාත්තල කෙරුවෙ මොළේ නරක්වෙලා කියල අංගොඩ ගිහින් දාපු එකලු. එහෙදි ගහපු ඉන්ජෙක්ෂන්වල සැර ඉහට ගහල කියල තමයි මිනිස්සු කියන්නෙ...”
”කන්නෙ බොන්නෙ?”
”හරියටම දන්නෙ නෑ.. ඒත් සිගරැට් එකක්.. අරගෙන දෙන්නෙ නම් ඔය හරියෙ ඉන්න මිනිස්සු. රෑට මං හිතන්නෙ ගෙදර යනව.”
හුඟක් මාපියො කතාවට කියන්නෙ අඩුවක් පාඩුවක් නොකර උස්මහත් කෙරුවයි කියල. එහෙම නැත්නම් කියාවි අපි කරන්ඩ ඕනැ ඔක්කොම දේවල් කළා කියල. මොකක්ද මේ අඩුවක් පාඩුවක් නැතුව කෙරුවයි කියන එකේ අදහස? මසිත මගෙන් අහනවා.
ජීවිතය හරියාකාරව පෙන්නුවෙ නැත්නම් වෙන මොනව කළත් හරියන්නෙ නෑ කියල තමයි මසිත මට කියන්නෙ.
ශාන්ත කේ.හේරත් මගේ සහෝදරයකු වූ මිත්‍රයෙක්. ඔහු විසින් නිර්මාණය කරන ලද ළමා පොත් දෙකක් එළිදැක්වීමේ උත්සවයට සහභාගි වෙලා ශාලාවෙන් පිටතට එනකොට මසිත මොකක්දෝ ප්‍රමෝදයකින් පිරිලා තිබුණා.
ශාන්ත කොහොමටත් ඉතා ම නිර්මාණශීලී කාටූන් ශිල්පියෙක් කියල මම දැනගත්තෙ දිවයිනට සම්බන්ධ වුණු මුල් කාලෙදිමයි. ඔහු බොහොම ‘නීට් එකට’ වැඩ කරන කෙනෙක් බවත් මං දන්නවා.
”මං ශාන්ත එක්ක ගහගත්තෙ නැති ටික විතරයි”
මේ පොත්වල ප්‍රකාශකයා ඔහුගේ ස්තුති කතාවෙදි කිව්වා. ඒ අත්දැකීම මටත් තියෙනවා. ශාන්ත ඔහුගේ වැඩේට ‘සීරියස්’. ඒකට හේතුව ඒකයි.
ඒ උත්සවයෙදි ශාන්ත අපූරු අදහසක් ප්‍රකාශ කළා.
”මේ පොත් ටිකක් මිල අධිකයි කියල හිතෙන්ඩ පුළුවන්. ඒත් අපි පොඩිත්තන්ට දෙන්න ඕනෑ ගුණාත්මක දෙයක් මිසක ලාබ දෙයක් නෙමෙයි.”
ඒක ඇත්ත. ශාන්තගෙ පොත් දෙකම හරි ඉහළයි. ඒත් අපේ පුංචි කාලෙදි මෙහෙම කතන්දර පොත් තිබුණෙ නැහැ. ඒ වුණාට ආච්චිල, අම්මල අපට කතාන්දර කියල දුන්න. කතන්දර අහපු යුගයේ සිට කතන්දර කියවන යුගයක් දක්වා ඇවිල්ල. අහන එකද කියන එකද හොඳ කියල අහන එක මේ කාලෙ හැටියට අසාධාරණයි. මන්ද පුංචි ළමයින්ට කතන්දර කියන අම්මල, ආච්චිඅම්මල නැති හින්ද.
හැබැයි පොතක් පතක් ගන්ඩ කාසිපනම් නැති මිනිස්සු තමන්ගෙ දරුවන්ට ලාබ දෙයක් අරගෙන දෙන්නෙ ආදරේ අඩුකම හින්ද නම් නෙමෙයි කියල මසිත දිගින් දිගටම කියන්ඩ පටන්ගත්තා.
හැබැයි අරක්කු බෝතලේට රුපියල් දාහක් වියදම් කරල එක් දරුවකුගෙ පොතක් වෙනුවෙන් රුපියල් තුන්සීයක් වියදම් කරන්ඩ මැළිවෙන මිනිස්සු ගැන නම් ශාන්තගෙ කතාව හරියටම හරි.
ශාන්ත අර වගේ දෙයක් කියන්ඩ ඇත්තෙ ඒ වගේ මිනිස්සු ගැන හිතල වෙන්ඩ ඇති.
ම සිත මට කිව්වා.
මොනව වුණත් කතන්දර බලනව කියන්නෙ දරුවෙක් කන්ද පාමුල ඉඳල කන්ද මුදුනට අරගෙන යන දෙයක්. හැබැයි නඟින්ඩ වෙන්නෙ තනියම. කතන්දර අහනවා කියන්නෙ අම්මගෙ හරි ආච්චිඅම්මගේ අතේ එල්ලිලා කන්ද නඟිනව වගේ දෙයක්.
කසුරි
This comment has been removed by the author.
ReplyDeleteමේ ගැන කියන්න කතාවක් මටත් තියෙනවා.මේ දෙයාකාරයේම අත්දැකීම් මට තියෙනවා කියලා මට හිතෙනවා.
ReplyDeleteමගේ දෙමව්පියෝ රැකියාවල් කරන නිසා මම පුංචි කාලෙදි මට කතන්දර කියා දෙන්න ලොකු වෙලාවක් එයාලට ඉතිරි වුණේ නැහැ. නමුත් පුංචිම කාලෙදි මහ ගෙදර හිටපු නිසා සීයා පුංචි කතාන්දර, කවි පංති කියාදුන්න හැටි තාමත් මතකයි.
මට අවුරුදු 4ක් වෙද්දි තාත්තාට ලැබුණ නිළ නිවාසෙක තමයි අපි හිටියෙ. වැඩ ඇරිලා ඇවිත්, අම්මා ගෙදර වැඩ කරනකල් හාන්සි පුටුවේ වාඩිවෙන තාත්තා මාව ඔඩොක්කුවෙන් තියාගෙන කතා කියනවා. මට අකුරු එකතු කරලා කතාව කියවා ගන්න බැරි කාලෙදිත් තාත්තා ලස්සන රූප තියෙන පුංචි කතන්දර පොත් ගොඩාක් ගේනවා. ඒ රූප පෙන්න පෙන්න ඒ කතන්දර මට කියා දෙනවා.සමහර කතාන්දර කී වතාවක් කිව්වත් මට ඇතිවෙන්නේ නැහැ. ඒවා කොයි තරම් නම් අහලාම පාඩම් හිටියද කියනවානම් ඒ කාලෙදි මටත් පුළුවන් පිටුවෙන් පිටුව පෙරළා පෙරළා කතාව කියාගෙන යන්න අකුරු නොදන්නවා වුණත්.
මුලින්ම සීයාගේ, ඊළඟට තාත්තගේ අතේ එල්ලිලා කන්ද නැඟපු මම ඒ මග පෙන්වීම නිසාම බොහොම ඉක්මනටම තනියම කන්ද නඟින්න ඉගෙන ගත්තා. කොයි තරම් නම් ඉගෙන ගත්තද කියනවානම් කියවන එක පුරුද්දක් නෙමෙයි ජීවිතේම වුණා. පොත් දැක්කාම මට පිස්සු හැදෙනවා. මම පොත් වලට ආස නිසා අම්මා වැඩපළේ යාලුවන්ගෙන් පවා හොඳයි කියලා හිතෙන පොත් ඉල්ලාගෙන එනවා. පුංචි කාලෙදි කියවන්න ලැබුණෙ හොඳයි කියලා සම්මත පොත් විතරයි. මෙලොව සසරක් නොදැන අම්මාගේ වුවමනාවට ගෙනාව "පංචතන්ත්‍රය" කියවන කොට මට අවුරුදු 8යි.(හැබැයි ඒකෙ තිබුණ දේවල් හරියට තේරුණේ පස්සෙ කාලෙක නැවත කියවද්දි) අවුරුදු 9 වෙද්දි බන්දුසීල මහත්තයා පරිවර්තනය කරපු විද්‍යා ප්‍රබන්ධ ගොඩාක් මම කියවලා තිබුණා.'ගුරු ගීතය' කියෙව්වේ 5 වසරෙදි.ඉස්කෝලෙ වැඩ නැති ගොඩාක් වෙලාවට අනෙක් යාලුවො කතා කර කර ඉන්න වෙලාවේ පුස්තකාලෙට ගිහින් පොත් කියවන කොට එයාල මට හිනා වුණා. ඉස්කෝලේ ගිහින් ඉවර වෙද්දි මම පරිවර්තන මහා ගොඩකුයි, ඉංග්‍රීසි පොත් ටිකකුයි, සිංහල පොත් විශාල ප්‍රමාණයකුයි, බොළඳයි කියන නවකතා ගොන්නකුයි කියවලා ඉවර කරලා තිබුණා.
මම ජීවිතේ ගොඩාක් දේ ඉගෙන ගත්තෙ පොත් වලින්. පොත කියවාගෙන යද්දි මම ඒ පොත ඇතුළෙ ජීවත් වෙනවා. එයාලත් එක්ක ඒ හැම තැනකම ඇවිදිනවා. ඒ චරිත මගේ යාලුවෝ ගාණයි. මමත් එයාලගෙම කොටසක් වගෙයි මට දැනෙන්නෙ.සමාජයත් එක්ක ගැටෙන්න නොදී මලක් වගේ අම්මලා හදා ගත්ත එයාලගේ චූටි දූ ජීවිතේ ඉගෙන ගත්තෙ, අත්දැකීම් ලබා ගත්තේ පොත් වලින්. පොළොවෙ පය ගහලා ඉන්න ඉගෙන ගන්න වගේම පේන තරමට ලෝකය සුන්දර නෑ කියලත් ඉගෙන ගත්තෙ පත්තරම කියවලා.
කොහොමින් කොහොම හරි තාමත් කන්ද නැග ගෙන යනවා... හැබැයි දැන්නම් තනියමම තමයි. දැන් ඉතින් ළමයා ටිකක් ලොකුයිනෙ. ඒත් ආ මග කෙටියි... යා යුතු මග දුරයි... නුවණින් අවදියෙන් ඒ මග යා යුතුයි.... :)
කතාවනම් ඇත්ත...අරක්කු බෝතලේකට, බයිට් එකට ලෝබ නැතුව වියදම් කරන අය, පොතකට පතකට වියදම් කරන්න බොහොම අකමැති....කියවීමේ තියෙන වටිනාකම ගැන බොහෝ අය අද දන්නේ නැහැ...
ReplyDeleteඇත්ත පුංචි කාලේ අතේ එල්ලී ගෙන කන්ද නැග්ගට අපේ පොඩ්ඩන්ට තනියම කඳු නගින්න හුරු කරන්න ඕනේ. ශිෂ්‍යත්වේ සමත් වුනත් තාමත් ඉස්කෝලයක් නැතිව ගෙදර ඉන්න ලොකු පුතා මේ දවස් ටිකට පොත් 35ක් කියෙව්වා, වීඩියෝ ගේම් ගහන, කාටුන් වීරයෝ හිතේ මවාගෙන ඉන්න දරු පරපුර අතරේ මගේ කොල්ලා මට මැණිකක්
ReplyDelete