2015/04/27

මානව හිතවාදය මගේ චිත්‍රවල තේමාවයි


කොල්වින් සෙට්ටිනායක

ප්‍රතිභාසම්පන්න චිත්‍ර ශිල්පි කොල්වින් සෙට්ටිනායක ගේ 8 වැනි චිත්‍ර ප්‍රදර්ශනය පෙබරවාරි 3 වැනිදා කොළඹ ජාතික කලාභවනේදි ඇරඹෙයි.

ඔබේ පළමුවැනි චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වුණේ 1974 දී. මේ අවුරුදු තිස් අටටම ඔබ පවත්වා ඇත්තේ චිත්‍ර ප්‍රදර්ශන අටයි.

”මම විකුණන්න බලාගෙන, ජීවනෝපායක් විදියට හිතාගෙන චිත්‍ර අඳින ශිල්පියෙක් නෙමෙයි. අනික කිසියම් නිර්මාණයක් කරන්න අත්දැකීම්වලින් හිත පිරෙන්න ඕනැ. එතකම් මම ඉවසනවා. මේ චිත්‍ර ප්‍රදර්ශන අට ගැන මම තෘප්තිමත්. දවසක් අපේ ගෙදරට ප්‍රවීණ කලාකරුවකු වන තිලකරත්න කුරුවිට බණ්ඩාර ආවා.

ඔහු සාමාන්‍යයෙන් අපේ ගෙදර එන්නේ තුනපහ ටික පවා අරගෙන. ඔහු බය වුණා මං ඉන්න විදිය දැකලා. ඒ, මං අතරමං වෙයි කියලා හිතාගෙන. කොල්වින් ඔහොම ඉඳලා බැහැ; විකුණන්න බලාගෙනත් චිත්‍ර අඳින්න කියලා ඔහු මට කිව්වා. ඔහු එහෙම කිව්වේ මට තියෙන ආදරේට. ඒත් මං එතැනට ගියේ නැහැ. අදටත් මට චිත්‍ර අඳින්න කාමරයක් නැහැ. නිදන කාමරයේ ඉඳගෙන මම චිත්‍ර අඳින්නේ. වඩා වටින්නේ කාමරයක් නෙමෙයි, අඳින චිත්‍රෙයි.


මෙවර ඔබේ චිත්‍ර ප්‍රදර්ශනය විවෘත කරන්නෙත් තිලකරත්න කුරුවිට බණ්ඩාර. ඒ වගේම ඔබේ හැම චිත්‍ර ප්‍රදර්ශනයක් ම විවෘත කරලා තියෙන්නේ සම්භාවනීය මට්ටමේ කලාකරුවන්. නැතුව දේශපාලනඥයන්වත්, තානාපතිවරුන්වත් නෙමෙයි.


එකක්, මම ඒ කලාකරුවන්ට දක්වන අසීමිත ගෞරවය. අනික කිසිම ආණ්ඩුවකින් මට ලැබිච්ච දෙයක් නැහැ. අපි ආණ්ඩුවකින් යමක් ඉල්ලන එකත් එක අතකට වැරදියි. කලාකරුවන් වුණාම හිස කෙළින් තියාගෙන, කොන්ද කෙළින් තියාගෙන ඉන්න අපි දැන ගන්න ඕනැ.


ඔබ ශාස්ත්‍රාලීය (ACADAMIC) චිත්‍ර ශිල්පියෙක් නෙමෙයි. ඒ නිසා දෝ ඔබේ තියෙන්නෙ බොහෝම නිදහස් ආරක්.


මගේ ගුරුවරුන් වුණේ මම පය ගසාගෙන සිටින මේ සමාජයමයි. කාලයක් මම ‘ඇත්ත’ පත්තරේ වැඩ කළා. ඒක මට විශ්වවිද්‍යාලයක්. බී.ඒ. සිරිවර්ධන, සිරිලාල් කොඩිකාර.

ඒ අය තමයි මගෙ ගුරුවරු. මම ඉස්සර සයිමන් නවගත්තේගම එක්ක චිත්‍ර ප්‍රදර්ශන බලන්න යනවා. ඔය ස්ටැන්ලි අබේසිංහගේ චිත්‍ර ප්‍රදර්ශන වගේ. ඒ අයත් මගේ ගුරුවරු. සයිමන්ගේ ‘සුද්දිලාගේ කතාව‘ නවකතාව පිටවෙන්න කලින් මම ඒ කතාවෙන් චිත්‍ර කතාවක් ඇන්දා ‘ඇත්ත’ පත්තරේට.


මෙවර ප්‍රදර්ශනය ගැන විශේෂයෙන් යමක් කියන්න තියෙනවද?

මෙවර ප්‍රදර්ශනයට ඇතුළත් චිත්‍රවලට මම වෙනදට වඩා වැඩිපුර වර්ණ පාවිච්චි කරලා තියෙනවා. ඒක විශේෂත්වයක්.


විචාරකයන් ඔබව හඳුන්වන්න අපූරු යෙදුමක් භාවිතා කරනවා. ඒ ‘විරෝධකාල්පනිකයා’ යන්න.

”ඕක ප්‍රවීණ කලා විචාරකයකු වූ සිරිල් බී. පෙරේරා ගේ හැඳින්වීමක්. මගේ චිත්‍රවල කිසියම් සටන්කාමි බවක් තිබෙනව කියලා ඔහු කිව්වා. ඒත් මගේ තේමාව මානව හිතවාදය. විශේෂයෙන් පීඩාවට පත්වුණු මිනිසුන්, ගැහැනුන් මගේ නිර්මාණවල නිතරම දක්නට ලැබෙනවා.

තිලකරත්න කුරුවිට බණ්ඩාර කියලා තියෙනවා ඔබ ‘කවි සිතක් ඇති සිත්තරෙක්’ කියලා.

හැම ශිල්පියෙක් තුළම කවි සිතක් තියෙන්න ඕනැ. දැන් බලන්න මහගමසේකර. ඔහු කවියෙක්; චිත්‍ර ශිල්පියෙක්. ඔහුගේ සිත්තම්වල කාව්‍යත්මක බවක් තිබෙනවා; මමත් ඉඳහිට කවි ලියනවනේ.


ඔබ කැමැති චිත්‍ර ශිල්පීන් කවුද?

මම හුඟක් කැමැතියි ස්ටැන්ලි අබේසිංහගේ චිත්‍රවලට. මම කාලයක් එස්.එච්. සරත් ගේ චිත්‍රවලට කැමැතිව හිටියා. ඒත් දැන් මම ආසා නැහැ. ශාන්ත කේ. හේරත් පවා නාස්තිවෙන්න ගිහිං දැන් අයෙත් හරි මඟට වැටිලා තියෙනවා. මම ‘ඇත්ත’ පත්තරේ ඉද්දි කවුරුත් මට කිව්වෙ නැහැ, මේ විදියට චිත්‍ර අඳින්න කියලා. ඔවුන් කිව්වෙ නැහැ මට ‘කාටුන්’ අඳීන්න කියලා. මගේ නිදහසට ඔවුන් බාධා කළේ නැහැ.

උපුටා ගැනීම සිළුමිණ
http://www.silumina.lk/2012/01/29/_art.asp?fn=av12012917&p=1

No comments:

Post a Comment