2014/08/19

රජ ගොනා


"රජ ගොනා" ගැන රජ කතා

"අහුබුදු මහත්තයාගේ ළමා පොතකට චිත්‍ර අඳින්න තියෙනවා කිව්වහම මම කැමති වුණා. මේ පොතේ තියෙන්නේ පිටු විසි එකයි. පිටු විසි එකේම චිත්‍ර තිබෙනවා. මගේ ප්‍රශ්නය මේකයි. ළමා කෘතියකට සම්මාන දීමේදී එම කෘතියේ අඩංගු චිත්‍ර සම්මාන නිර්දේශයට බලපෑවේ නැද්ද? එහෙම බලපෑවා නම් චිත්‍ර ශිල්පියාට කරන අගය කිරීම කුමක්‌ද? මේක මම අහන්නේ, ළමා කෘතියට සම්මාන දුන්නු විනිශ්චයකරුවන්ගෙනුයි."

ඉහත උදුරා දක්‌වා ඇත්තේ, පසුගිය ඔක්‌තෝබර් අට වැනිදා (08 දා) "දිවයින" පුවත්පතේ සාහිත්‍ය අතිරේකයේ පළවූ සංවාද සටහනක ආරාධිතයාගේ එක්‌ පිළිතුරකි. ප්‍රවීණ චිත්‍ර ශිල්පී ශාන්ත කේ. හේරත් එසේ පිළිතුරු බඳින්නේ සංවාදකරු අසන පහත පැනයටයි.

"රජ ගොනා" කෘතියට ඔබගේ දායකත්වය කුමක්‌ද?

මෙම විමසුමට චිත්‍ර ශිල්පියාගෙන් ලැබුණු උක්‌ත පිළිතුර ද සමගම මෙතෙක්‌ මේ රටේ සංවාදයට බඳුන් නොවූ එහෙත් මීට බොහෝ කලකට ඉහත ක්‍රමානුකූල තත්ත්ව විග්‍රහයකට ලක්‌ව තිබිය යුතු වූ ශාස්‌ත්‍රීය මට්‌ටමේ න්‍යායික කරුණක්‌ පිළිබඳ මැහි දෙබරය අවිධිමත් ලෙස ඉහිරී යැමට කරුණු යෙදී ඇත.

එහෙත් මෙහිදී චිත්‍ර ශිල්පියා නගන පැනය, වියුක්‌ත සාධාරණත්වයක්‌ අපේක්‍ෂා කරන්නක්‌ මිස තමන්ම යෙදී සිටිනා චිත්‍ර ශිල්පය නම් වෘත්තියේ අයිතිවාසිකම් පිළිබඳ හෝ එම ශිල්පයේ න්‍යායික මෙන්ම සොබාව උරුමයෙන්ම හිමිකම් ලැබිය යුතු වූ පුළුල් කාරණය ගැන හඬගා විමසන්නක්‌ නොවන බව පැහැදිලිය. එබැවින් මෙහිදී මා යෝජනා කරන්නේ, මෙම නව එළැඹුම, "රජගොනා" ළමා කෘතියට තම දායකත්වය සැපයූ චිත්‍ර ශිල්පියාගේ බුද්ධිමය දේපළ අරබබයාම නැඟෙන සාධාරණය අසාධාරණය මත පදනම් වූ කරුණක්‌ යන තැනින් ඔබ්බට පියමං තබමින් වඩා පුළුල් වූ ශාස්‌ත්‍රීය න්‍යායික කතාබහක්‌ වෙත සේන්දු කර විය යුතු බවයි. එවිට, මේ මොහොතේ වියුක්‌ත ප්‍රශ්න කිරීමක්‌ ස්‌වරූපයෙන් පෞද්ගලීකරණය වී ඇති "චිත්‍ර ශිල්පියාගේ ප්‍රශ්නය" සාහිත්‍ය කලා සම්මාන ඇගැයුම් මූලික කරගත් මහා කතිකාවේ ඓන්ද්‍රීය කොටසක්‌ බවට පත් කරගත හැකි බවයි.

එවන් ප්‍රවේශයකින් අනතුරුව දැන් අපට අදාළ කාරණය වඩා විධිමත් අයුරින්, ගෞරවනීය ලෙස සාකච්ඡාවට යොදාගත හැකිය. පිවිසුමේදීම අවබෝධ කරගත යුතු මූලික කරුණු කීපයක්‌ මෙසේ සංක්‍ෂිප්ත ලෙස දැක්‌විය හැකිය.

ෂ ළමා සාහිත්‍යයට අදාළ සාහිත්‍ය කෘතීන් පිළිබඳ න්‍යායික වර්ග කර දැක්‌වීමක වගුව කෙසේ විය හැකිද? කෙසේ විය යුතුද? එවැන්නකින් යොවුන් සාහිත්‍යය ඡේදනය වන සීමාව කවරක්‌ද? එසේම යොවුන් සාහිත්‍ය ඇසුර හා යොවුන් වැඩිහිටි සාහිත්‍යය භාෂණය නිර්ණය වන සීමා කවරේද? (ලංකාවේ සාහිත්‍ය සම්මාන ප්‍රදානයේදී ඉහත තත්ත්ව කිසිවක්‌ න්‍යායික අයුරින් සලකා බැලෙන්නේ නැත.)

ෂෂ ඉහතින් දක්‌වා ඇති අවම බෙදා දැක්‌වීම්වලට අදාළව සලකා බලද්දී යොවුන් සහ යොවුන් වැඩිහිටි සාහිත්‍ය කෘතීන්හි අඩංගු විය යුතු යෑයි ජාත්‍යන්තරව සම්මත වී ඇති අදාළ කෘතිය ලියෑවෙන භාෂාවේ වදන් භාවිතය අඩංගු සිද්ධිය පිළිබඳ පූර්ව සහ පශ්චාත් සමාජ දේශපාලනික තත්ත්වය සහ වෙසෙසින්ම ළමා සාහිත්‍ය කෘතියක්‌ නම්, එහි ඇතුළත් මඟපෙන්වීමේ චිත්‍ර සහ එවායේ මනෝවිද්‍යාත්මක වටපිටාව අතිශයින්ම වැදගත්ය.

යොවුන් සහ යොවුන් වැඩිහිටි සාහිත්‍ය කෘතීන්හි භාෂාව, වදන්, සිද්ධි සහ සිද්ධිවාචික පෙර-පසු තත්ත්ව ගැන බරපතළ උනන්දුවක්‌ අප රටේ සාහිත්‍ය සම්මාන ප්‍රදානයේදී සිදු නොවේ. ඊට ප්‍රධාන හේතුව, මේවා විනිශ්චය සඳහා යෙදෙන්නන්ගේ අත ඇති ඊට අවශ්‍ය දැනුමේ පසුබිම අතිශයින් දුප්පත්වීමයි. එසේම පසුව කියෑවෙන ළමා සාහිත්‍ය කෘතිවල ඇඳෙන "මඟපෙන්වන චිත්‍ර" ගැන දක්‌වන සැලකිල්ල මෙහි අවමය හෝ ඇත්තේම නැත. එහෙත්, ළමා කෘතිවල මඟපෙන්වන චිත්‍ර හෙවත්, ඉතා සරල බසින් ලියෑවී ඇති වදන් කීපයෙන් කියෑවෙන බාහිර පරිසරය දරුවාට සුපුරුදු එදිනෙදා භෞතික වටපිටාව සමග උදක්‌ම ඈඳන "මඟපෙන්වන චිත්‍ර" එම කෘතීන්හි අඩංගු අකුරින් ලියෑවුණු වචනවලට වඩා තීව්‍ර කාර්යභාරයක්‌ ඉටු කරන බවද මේ විනිශ්චය මණ්‌ඩල නොදනී. එය අභාග්‍යයකි.

(ෂෂෂ) ළමා සාහිත්‍ය
Children's Literature - මෙයට අදාළ වන වයස්‌ සීමාව වන්නේ, වයස අවුරුදු තුනේ (03) සිට වයස අවුරුදු දොළහ (12) දක්‌වා දරුවන්ය. (උක්‌ත "රජගොනා" කෘතිය අයත් වන්නේ මේ කාණ්‌ඩයටයි) මෙම කාණ්‌ඩය සඳහා කෘතීන් සැකසීමේදී එවායේ මුල් අවදිය සඳහා විශේෂයෙන්ම යොදාගත යුතු වන්නේ, "මඟ පෙන්වන චිත්‍ර" සහිත වදන් අවම කෘතීන්ය. එවා හැඳින්වෙන්නේ, Illustrations නමිනි. ("රජ ගොනා" යනු ඉලස්‌ටේ්‍රෂන් කෘතියකි.) එවිට එහිදී එම කෘතියෙහි අඩංගු චිත්‍ර යනු බරපතළ වගකීමක්‌ සහ බරක්‌ දරන කොටසකි. එසේ වූ කල යම් අගැයීමකදී අනිවාර්යයෙන්ම මෙම "මඟපෙන්වන චිත්‍ර" නිර්මාණය කරන ශිල්පීන් එකී අගැයුමේදී අගය කිරීමට භාජන විය යුතුමය.

එහෙත් මේ ගැන සංවාද පුවරුවක්‌ නිර්මාණය වූ අවස්‌ථාවේ (නොවැ. 01 ඉරිදා ලක්‌බිම) අරිසෙන් අහුබුදු මහතා කියා තිබුණේ මෙකී කතාබහට නිමිත්ත සැපයූ "රජගොනා" කෘතිය සාහිත්‍ය කෘතියක්‌ බැවින් එහිදී එම කෘතියෙහි භාවිත බස හෝ කතා සාරය ගැන මිස චිත්‍ර ගැන විශේෂ අවධානයක්‌ සම්මාන දීමේදී නොයෙදීම කමෙක්‌ නැති බවයි. නමුත් අහුබුදු මහතාගේ කෘතියේ "ඉලස්‌ටේ්‍රෂන්" ගණයට ජාත්‍යන්තර නිර්ණයේදී අයත් වන බැවින් එහි අඩංගු චිත්‍ර, බස සහ කතාන්දරය සේම සමපෙළ අසුන් ගන්නා බැව් අවධාරණය කළ යුතුව ඇත.

මේ පිළිබඳ අදහස්‌ දක්‌වා තිබූ සිබිල් වෙත්තසිංහ මහත්මිය දක්‌වා තිබූ අදහස්‌ ඉතාමත් සාධනීය සහ දියුණු මට්‌ටමේ තිබිණි. ඒ ගැන සැකක්‌ නැත. ඇය තමන්ගේ නිර්මාණ කටයුතු පාදක කැරගෙනම ඇත්තේද මෙම නිර්මාණ කාණ්‌ඩයට අදාළව බැවින් ඈ තුළ මේ ගැන හොඳ වැටහීමක්‌ ඇති බව පැහැදිලිය. ඇය කියා තිබුණේ දියුණු රටවල නම් රචකයා මෙන්ම චිත්‍ර ශිල්පියාද අගය කිරීමකට ලක්‌වන බවයි. අදහස නිවැරදිය. අපද කළ යුතුව ඇත්තේ, පෞද්ගලික පාරම්බෑම් නවතා දියුණු රටක්‌ බවට පත්වන්නට අවශ්‍ය අයුරු කටයුතු සම්පාදනය කර ගැනීමයි.

එහෙත්, මේ ගැන තම අදහස්‌ දක්‌වා තිබූ සාහිත්‍ය අනුමණ්‌ඩලයේ සභාපති මහතා කියා තිබුණේ ළමා කතාන්දරවල චිත්‍ර ශිල්පියාට සම්මාන නිර්දේශ කිරීමේ සම්ප්‍රදායක්‌ අපට නැති බවයි. එසේම ඔහු දක්‌වා ඇති තවත් ඉතා බරපතළ අදහසක්‌ වනුයේ, ළමා පොත්වලට චිත්‍ර අවශ්‍යම නැතිය යන්නයි. මෙය කලකින් අසන්නට ලැබෙන තරමේ අමන ප්‍රකාශයකි. යම් කරුණක්‌ පිළිබඳ ජනමාධ්‍ය වෙත අදහස්‌ ප්‍රකාශ කරද්දී එහි ඇති ශාස්‌ත්‍රීය පදනම ගැන අංශු මාත්‍රයක්‌ හෝ දැන සිටීම එවැනි තනතුරක්‌ දරන්නකුගේ වගකීමක්‌ වෙයි.

"ළමා කතා පොතකට චිත්‍ර අවශ්‍යමයි කියලා කියන්න බැහැ. ළමා කතාවක චිත්‍ර නැති වුණත් ළමයකුට රස විඳින්න පුළුවන්. කතාව හොඳ නම් ළමයා අවශ්‍ය සිතුවිලි තම සිත තුළ නිර්මාණය කර ගන්නවා." (සාහිත්‍ය අනු මණ්‌ඩල සභාපති - ඉරිදා ලක්‌බිම - නොවැ. 01)

ඉහතින් උදුරා දක්‌වා ඇති මනස්‌ගාත අදහස්‌වලට අවශ්‍ය ප්‍රතිචාරාත්මක දැනුම මෙම රචනාවේ මීට ඉහතින් සඳහන්ව ඇත. ළමා පොතකට චිත්‍ර අවශ්‍යමයි කියලා කියන්න බැහැ කියා කීමම ප්‍රකාශකයාගේ මේ පිළිබඳ ඇති දැනුම හෙළිදරව් කරවන බැවින් එ ගැන දුර ලිවීමක්‌ අනවශ්‍ය ය. මෙම රචනාව කිරීමට පෙර මා ඇසුරු කළ මෙම විෂය පිළිබඳ, එනම්, ළමා සාහිත්‍යය පිළිබඳ පර්යේෂණාත්මක අයුරින් ලියෑවී ඇති පීටර් හන්ට්‌ නමැති ශාස්‌ත්‍රවන්තයාගේ (
Peter Hunt - 1945 - බ්‍රිතාන්‍ය ජාතික මහාචාර්යවරයා) An Introduction to Children's Literature - 1994 කෘතිය සමග තවත් න්‍යායික තලයේ ජාත්‍යන්තර නිදසුන් සමග මෙම කතාබහ ඉදිරියට ගෙන යැමට සූදානමක්‌ ඇති බව ඉන් කෙරෙන ඇඟැවුමයි.

"රජ ගොනා" ළමා කෘතිය සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමිවීමත් එම කෘතියේ චිත්‍ර නිර්මාණ කළ චිත්‍ර ශිල්පියා සම්මාන අගැයුමේදී නොසලකා හැරීමත්, එකී නොසැලකීම පසුබිමෙහි ඇති ශාස්‌ත්‍රීය හා න්‍යායික නොදැනුවත්කම සහ ඊට නොදෙවෙනි, එ පිළිබඳ අදහස්‌ දැක්‌වීමේදී පළ කරන නොදියුණු හිතුවක්‌කාර සොබාව අපට කියා පාන්නේ, තවත් දීර්ඝ කාලයකට ශ්‍රී ලංකාව මේ ළඟ සිටිනා තැනින් දශමයක්‌ හෝ ඉදිරියට ගමන් නොකරනා බවයි. එබැවින්, එම තත්ත්වය පහදා මතු කරලන්නට ඉවහල් වූ "චිත්‍ර ශිල්පියාගේ ප්‍රශ්නය" තවදුරටත් බුද්ධිමය සංවාදයේ රැළි පෙරැළි නඟමින් මතුවිය යුතු යෑයි හඟිමි.

සේපාල් අමරසිංහ

1 comment:

  1. ඔය ලොක්කො කියන්නෙම ඔහොම අමන කතානෙ. එහෙනං චිත්‍ර අහවල් එකකටද? ඉස්කෝලෙත් 3-4 පන්ති වලට වෙනකල් පෙළ පොත් වල චිත්‍ර තිබුණෙ මොකකටද? චිත්‍ර කියල දෙයක් තියෙන්නෙ මොකටද? අනේ මන්ද මේ මිනිස්සු කොහොම ඔය තැන් වලට ආවද කියල.

    ReplyDelete