බත්තර මුල්ලේ සිට කොස්වත්ත හරහා ... යන දිනයක කොස්වත්ත මංසංධිය පසු කර මිටර් 50ක් පමණ ඉදිරයට යද්දී ඒ මොහොතේ පැවති වාහන තද-බදය හේතුවෙන් සුළු මොහොතක් නතර වීමට සිදුවිය. ඒ ඇසිල්ලේ නිකමට මෙන් අවට නෙත් යොමු කරද්දී මා දෙනෙත් එක පැහැර එක් ස්ථානයක නතර විය. ඒ, ‘‘ශාන්ත කේ හේරත්ගේ චිත්‍ර පංතිය’’ නමැති දැන්වීම් පුවරුව යි.
වාහන තද-බදය කෙතරම් අප්‍රිය ජනක වුවද මේ මොහොතේ මට සිතට
නැගුණේ තව සුළු මොහොතක් එසේම පවතින්නේ නම් හොඳයි යන්නය. නමුත් එසැණින් ම මා
ඉදිරියෙන් තිබු වාහන සෙමෙන් සෙමන් ඉදිරියට ඇදෙන්නට විය. අනෙක් සැම මොහොතක ම වාහන
තද-බදයට සාප කරන මා ඒ මොහොතේ එම තද-බදය තව මොහොතක් නොපැවතිම පිළිබඳ කනස්සල්ලෙන් ම
මගේ යතුරුපැදිය ඉදිරියට පැදෙව්වේ ය. එහෙත් මගේ සිතුවිලි තවමත් නතරව තිබෙන්නේ ‘‘ශාන්ත
කේ හේරත්ගේ චිත්‍ර පංතිය’’ නමැති දැන්වීම් පුවරුවේ ය.
‘‘කමක් නෑ. දැන් මේ ගමන ගිහිං ආයෙ එන ගමන් බලනවා.
හවස්වෙනකං ඉඳීවිනෙ’’ මා මටම පවසා ගත්තෙමි. ඒ සිතුවිල්ල ක්‍රියාවට නංවමින් ආපසු එන
මොහොතේ අදාළ ස්ථානයෙන් පිටත් වීමට ප්‍රථම ශාන්ත අයියාට දරකතන ඇමතුමක් ලබාගත්තෙමි.
‘‘අයියෙ... මම දැක්ක කොස්වත්ත හංදියට පොඩ්ඩක් මෙහා ‘‘ශාන්ත
කේ හේරත්ගේ චිත්‍ර පංතිය’’ කියල බෝර්ඩ් එකක්. ඒ ඔයා කරන පංතියක්ද?’’
‘‘ඔව්... ඔව්... ඒක පටන් අරගෙන දැං ගොඩක් කල්. ඇයි ඔයා
එහෙම ඇහුවෙ?’’ ඒ ශාන්ත අයියාගෙ පිළිතුරයි.
‘‘නෑ.. අයියෙ... මට හිතුණ යන ගමන් ඔය පැත්තෙන් ඇවිත්
යන්න. මට එන්න අවසරද?’’
‘‘ආපෝ එන්න... එන්න... ඔයා මෙතනට ඇවිත් යනවනම් මට ඒක
හරියට වටිනවා.’’
ඉබ්බා දියේ දැමූ විට ඇන්නෑවෙයි කියන්නාසේ මම ද කඩිනමින්
අදාළ ස්ථානය කරා යතුරු පැදිය ධාවනය කළේ ය. ‘‘ශාන්ත කේ හේරත්ගේ චිත්‍ර පංතිය’’
පිහිටා තිබුණේ Leads art academy ගොඩනැගිල්ලේ
තෙවන මහලේ ය.
මා එහි ඇතුළු වන විට ම දක්නට ලැබුණේ අවුරුදු පහක් පමණ වන දරුවාගේ සිට අවුරුදු
පහළොවක් පමණ වන දරුවා දක්වා වූ දරු දැරියන් පහළොස් දෙනකු පමණ විවිධ ඉරියව්වලින්
සිටිමින් චිත්‍ර අදින ආකාරය යි. එක් දරුවකු බිම වාඩි වී ද, තවත් දරුවකු බිම දිග
ඇදී ද, තවත් දැරියක් සම්මත ආකාරයට ම සිතුවම් අඳින කඩදාසිය රඳවනයක රඳවාගෙන ද
සිතුවම් අඳියි. ඒ මොහෝතේ ශාන්ත අයියා සමග කිසිම අදහසක් හුවමාරු කරගැනීමට මා සිත ඉඩ
නොදුන්නෙමි. මා නෙත සිත බැඳී තිබුණේ මේ දරු දැරියන්ගේ දක්ෂතා කෙරෙහි ය. අඩහෝරාවක් පමණ එහි ගත කළ මා ශාන්ත අයියාගෙන්
සමුගත්තේ එදින සවස ඔහුගේ නිවහනේ දී හමුවන පොරොන්දුව මත ය.
මෙතැන් සිට දිගහැරෙන්නේ වත්මනේ ලාංකීය චිත්‍ර කලාවේ නවමු මානයක් හඳුන්වා
දෙමින්, විවිධ නිර්මාණ තුළින් තම දක්ෂතා මෙන්ම අභිමානය ප්‍රදර්ශනය කරන ප්‍රවීණ
චිත්‍ර සහ මුර්ති ශිල්පි ශාන්ත කේ. හේරත් (ශාන්ත අයියා) සමග කළ සාකච්ඡාවේ
සංක්ෂිප්ත සටහනකි.
‘‘ළමා චිත්‍රකරණය’’ යනුවෙන් නාමකරණයක් පවතිනවා. අපේ සාකච්ඡාව එතැනින් ම
අරඹමුද?
ලංකාවේ මෙය පවතින්නේ ඉතාමත් සංකීර්ණ සහ විහිළුසහගත තත්ත්වයක. මෙතනදි
වැඩිහිටියො ළමුන් වෙනුවෙන් අඳින චිත්‍රවලටත් ‘ළමා චිත්‍ර’ කියනවා. ළමයි අඳින චිත්‍රවලටත්
‘ළමා චිත්‍ර’ කියනවා. ඊළඟට ළමයි වෙනුවෙන් චිත්‍ර අඳින වැඩිහිටියො හිතනවා ‘අපි ළමයි
වගේ අඳින්න ඕන’ කියල. ඔවුන් ‘ළමා චිත්‍ර’ කියන්නෙ ඒවට. නමුත් ඒ විදියට අඳින්නෙ
කිසිම හැදෑරීමකින් තොරව යි. මේ සියල්ල අතරෙ මම ‘ළමා චිත්‍ර’ දකින්නෙ ඉතාමත් ගැඹුරු
විෂයයක් විදියට. ළමයි අඳින චිත්‍ර වැඩිහිටියන්ගේ බලපෑමකින් තොරව ළමයි කැමති විදියට
නිදහසේ අඳිනවා නම් එතන හොඳ ‘ළමා චිත්‍රයක්’ නිර්මාණය වෙනවා. ඒ චිත්‍ර ළමයකුගෙන් තවත් ළමයකුට වෙනස් වෙන්න
පුළුවන්, වැඩිහිටියන්ගේ චිත්‍රවලට වඩා වෙනස් වෙන්න පුළුවන් සහ වැඩිහිටියො දකින දේ
ම ළමයා වෙනස් විදියකට දැකලා එය චිත්‍රයට නගන්නත් පුළුවන්. ඒක ‘ළමා චිත්‍රයේ’
ස්වභාවය. මෙය වෙන් කරගැනීම හරිම පහසුයි. එහි අභ්‍යන්තරයේ යම් යම් වැරැදි තිබෙනවා
නම් එය ද වෙන් කරගන්න පුළුවන්. මෙහි වඩාත්
සංකීර්ණ වන්නේ වැඩිහිටියෝ ළමයි සඳහා අඳින චිත්‍ර. මෙය හරිම අර්බුද සහගතයි; විසුළු
සහගතයි; අප්‍රසන්නයි. එය නොකළ යුතු සහ තහනම් කළ යුතු මට්ටමේ පවතින දෙයක්. තහනම් කළ
යුතුයි යනුවෙන් මම සඳහන් කළේ මේ ඉහත කී චිත්‍රවලින් පිරිසිදු ළමා මනසට බරපතළ හානි
සිදුවෙනවා. ඒකට ප්‍රධාන හේතුව වෙන්නෙ අපේ රට තුළ මේ දේවල් වෙන් කර හඳුනාගෙන,
තෝරාගෙන භාවිතා කිරිම වෙනුවෙන් ප්‍රබුද්ධ සංවාදයක් නැති වීම. මේ නිසා වුවමනාව
තිබෙන පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් වුනත් කරන්නෙ ‘තියෙන්නෙ මේක විතරයිනෙ’ යන
සංකල්පයෙන් මේ වැරැදි දේ බදාගන්නවා. මෙය ඇතැම්විට මහා විෂ ගොඩක් වෙන්න පුළුවන්.
ළමා කෘතියක් වෙනුවෙන් චිත්‍ර නිර්මාණය කරන විට එම චිත්‍ර ළමා මනසට ගෝචර වන
ආකාරයෙන් සකසා ගන්නේ කෙසේද?
කලින් සඳහන් කළ ආකාරයට ම අපි පළමුවෙන් ම කළ යුත්තේ ළමා කෘතියකට අඳින චිත්‍ර
ලෙස භාවිතා කරන්නේ ළමයකු විසින් අඳින ලද චිත්‍ර ද එසේත් නැත්නම් ළමයි වෙනුවෙන්
වැඩිහිටියකු විසින් අඳින ලද චිත්‍ර ද යන්න තෝරා බේරා ගැනීම යි. මේ විදියට වෙන් කර
ගත්තට පස්සෙ අපි වටහා ගතයුතු කරුණු කිහිපයක් තිබෙනවා. එනම්, ළමයෙක් ඇන්දාම එහි
ස්වභාවය හරිම වෙනස්. එය වෙනම තලයක්. නමුත් එබඳු පසුබිමක් ගොඩනැගෙන්නේ බොහොම
කලාතුරකින්. ඇත්තට ම එහෙම දෙයක් සිද්ධ වෙන්න ඕනෙත් කලාතුරකින් කියලයි මම විශ්වාස
කරන්නෙ. අනෙක් පසින් ලංකාව ඇතුළෙ ළමයි වෙනුවෙන් වැඩිහිටියො අඳින චිත්‍ර පිළිබඳව
නම් පවතින්නේ ඉතාමත් ම කනගාටුදායක තත්ත්වයක්. එතනදි අපි සාකච්ඡා කළ යුත්තේ අදාළ
චිත්‍ර ශිල්පියා තෝරාගන්නේ මොන පදනමකින් ද යන්නයි. මේ වගේ අවස්ථාවකදි ලංකාවෙ නම්
අදාළ චිත්‍ර ශිල්පියා තෝරා ගන්නේ: ඉතා අඩු මුදලකට, ඒ වගේ ම ප්‍රසිද්ධ නොවන නමුත්
ප්‍රසිද්ධියට කැමති, මොනවම හරි පොතකට චිත්‍ර ඇඳීමට කැමති සහ ළමා පොතකට චිත්‍ර ඇඳීම
‘මාර චාන්ස් එකක්’ කියල හිතන අය. නමුත් සිද්ධ වෙන්න ඕන කොහොමද? ඒ විෂයය ගැන
දැනුමක් තිබෙන, ඒ ගැන ගැඹුරින් හදාරපු, ඒ විෂයයේ බැරෑරුම්කම හඳුනාගත්තු සහ අවම වශයෙන් ඒ පිළිබඳව අභ්‍යාස කරන
පුද්ගලයෙක් හෝ විය යුතුයි. නමුත් ඒ ආකාරයට ළමා පොතකට චිත්‍ර අඳින අවස්ථා ඉතාමත්
විරල යි. ලංකාවෙ නම් සිබිල් වෙත්තසිංහ මැතිනිය ඒ විදියට සුදුසුකම් සපුරපු කෙනෙක්
විදියට බය නැතුව හඳුන්වන්න පුළුවන්. ඉතාමත් අවබෝධයෙන් ළමා චිත්‍ර ඇඳපු ශිල්පියෙක්
විදියට සුමන දිසානායක මහත්මයවත් හඳුන්වන්න පුළුවන්. මේ දෙපළ අදාළ විෂයයට අතගැහුවෙ
සහ භාවිතා කළේ ඒ පිළිබඳ හොඳ සහ ගැඹුරු අවබෝධයකින්. මේ දෙදෙනො අතර සිටි තවත් හොඳ
ළමා චිත්‍ර ඇඳපු කෙනෙක් විදියට සෝමසිරි හේරත් මහත්මයාව හඳුන්වන්න පුළුවන්. ළමයින්
වෙනුවෙන් ඔහු ඇඳි චිත්‍රවල යම් ප්‍රබුද්ධ බවක් සහ කිසියම් හැදෑරීමක් සහිතව වගේ ම
ඉතා ගැඹුරින් ළමා මනස අවබෝධ කරගෙන තිබෙන බව පැහැදිලියි. එතනින් මෙහා පිරිසක්
හිටියත් ඔවුන’තින් යමක් වෙලා තියෙනවද? වේවිද යන සැකයක් පවතිනවා. මොකද ඒ සමහර
නිර්මාණ පට්ට කොපි. එහෙමත් නැත්නම් මම අර කලින් කියපු විදියට ළමයි වෙන්න උත්සාහ
කරන වැඩිහිටියන්ගේ චිත්‍ර කියල කියන්න පුළුවන්. වැඩිහිටියන්ට ළමයි වෙන්න
පුළුවන්නම් හොඳයි. නමුත් මෙතනදි වෙලා තියෙන්නෙ කිසිඳු අවබෝධයකින් තොරව කෘතීමව
ළමයෙක් වීමයි. ඒ කිසිවක් ම නොවේ නම් මුද්‍රණ තාක්ෂණය පිළිබඳ අනවබෝධයෙන් ඇඳපු චිත්‍ර.
ඔබත් කලකට පෙර ළමා කෘති සදහා චිත්‍ර අදින්නෙ නැහැ කියල තීරනය කළ බවට
දැනගන්න ලැබුණා. ඒ ඇයි...?
ඔවු... මමත් කාලයක් තිස්සෙ ම ළමා පොත්වලට චිත්‍ර අඳින එක නතර කරල තිබුණා.
පසු කලකදි යළිත් ඇඳීම ආරම්භ කළේ ලොකු බලාපොරොත්තුවක් ඇතුව. එනම්: කලාවට, දරුවන්ට
වගේ ම රටට ලොකු සේවයක් කරන්න පුළුවන් කියල හිතාගෙන. නමුත් වැඩේට ප්‍රවිෂ්ට වුණාම
තේරෙනවා ලංකාවෙ ඒ වැඩේ කරන්න අමාරු බව. අමාරුයි කියනවටත් වඩා සුදුසුයි ‘බැහැ’ කියන
වචනය. ඒකට හේතුව ලෙස මම දකින්නෙ ළමා පොතක් ප්‍රකාශයට පත් කරන්නට යන සංවිධානාත්මක
පිරිස පළමුවෙන් ම තීන්දු කරනවා අපි මේ පොත මිල කරන්න වුවමනා මේ වගේ ගණනකට කියල.
අන්න ඒ මිල ප්‍රමාණය අනුව නිෂ්පාදන වියදම (Production cost) ගණන්
බලනවා. එතනදි Production cost බෙදෙන්නෙ මේ විදියට. කර්තෘට 10% යි. වෙළෙන්දට 40% යි. කඩදාසි, මුද්‍රණ
වියදම්, පරිගනක අකුරු ඇමිණුම්, චිත්‍ර ශිල්පියා, පිටු සැලසුම් ශිල්පියා සහ අනෙකුත්
වියදම් සියල්ල ම පියවා ගන්න සිද්ධ වෙන්නෙ ඉතිරි 50% ඇතුළෙ. ඒ නිසා ඒ 50% පුළුවන් තරම් අවම වියදමක්
කරගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයේ දි අවම මුදලකට කරන ප්‍රධාන ම දේ පොතේ චිත්‍රවලට
දරන වියදම. මොකද හැම පිටුවකට ම චිත්‍ර අදින ශිල්පියාට කර්තෘට ගෙවන 10% වඩා
ගෙවන්නත් බැහැනෙ. පුළුවන්කම තිබුනත් ගෙවන්නෙත් නැහැ. මේ හේතුව නිසා අතේ තිබෙන සහ
වියදම් කළ හැකි මුදලට සරිලන විදියට: ලේඛකයාගේ යාළුවෙක්, එහෙම නැත්නම් අදාළ ප්‍රකාශකයගෙ
නිෂ්පාදනවලට දිගටම චිත්‍ර අඳින ශිල්පියකුගේ නිර්මාණ ළමා පොතටත් යොදාගන්නවා. මට මේ
වැඩේ අප්‍රසන්න වුනා. නමුත් මම ඇතුළු අපි කණ්ඩායමක් මේ වෙනුවෙන් යම් සටනක් කළා. ඒ
සටන පාවා දීපු අයගෙන් මම ඉවත් වුණා. නමුත් මම ළමා පොත් ගණනාවකට චිත්‍ර ඇන්දා. ඒ
අතරින් දෙකකට (ගෙජ්ජි මාලය, රජ ගොනා)රාජ්‍ය සම්මාන ලැබුණා. ඊට අමතරව මම ඇඳපු පොත්
කවරයකටත් රාජ්‍යය සම්මාන ලැබුණා. එතනදි විශේෂයෙන් ම සදහන් කළ යුතු දෙයක් තිබෙනවා.
ඒ කවරය පොතකට යොදාගත් බව දන්නෙත් පොතට සම්මාන ලැබුණට පසුව යි. අද වන තුරු ඒ පොතේ
කර්තෘ හෝ ප්‍රකාශකයා මට ඒ පොතෙන් පිටපතක්වත් ලබා දි නැහැ. පොතේ මිල ඉතාමත් අධික
නිසා මම එය මිලට ගත්තෙත් නැහැ.
ළමා පොතකට චිත්‍ර අඳිනවා කියන්නෙ ගීතයකට තනුවක් යොදල ගීතයට ගැළපෙන ගායකයකු
හෝ ගායිකාවක ලවා ගායනා කරවනවා වගේ සුසංයෝගයක්. නමුත් බොහෝ ලේඛක ලේඛිකාවො වගේ ම ප්‍රකාශකයො
මේ සුසංයෝගයට කැමති නැහැ. ඒ, ඇතැම් විට අදහස් නොගැළපීම වෙන්න පුළුවන්. එහෙමත්
නැත්නම් මුදල් යෙදවීමට තිබෙන ලෝබකම වෙන්න පුළුවන්. ඇතැම් අය චිත්‍ර ශිල්පියාට
තිබෙන උනන්දුව තමන්ගෙ වාසියට හරවා ගන්න උත්සාහ කරනවා. මමත් ඒ වගේ දේවලට අහු වෙලා
තියෙනවා. වෘත්තිය චිතු ශිල්පියෙක් සහ නිර්මාණ ශිල්පියෙක් විදියට මට මේ ක්‍රමය ඉතාම
වෙහෙසකරයි.
මේ ක්‍රමවේදයට පිළිතුරක් නැද්ද?
මොකද නැත්තෙ...? තිබෙනවා. ඔයා දන්නවානේ සමහර අය ඉන්නවා පිං කරන්න කැමති,
අපි ගැන වැඩිපුර හිතන, ළමයි පිළිබඳ උනන්දුවක් තිබෙන, සමාජයේ වගකීම පිළිබඳ අවබෝධයක්
සහ උනන්දුවක් තිබෙන පුද්ගලයො සහ කණ්ඩායම් ඉන්නවා; ආයතන තිබෙනවා. මම ඇතුළු තවත්
කණ්ඩායමක් මේ පිළිබඳ සොයමින් ඉන්නවා. ඒ පුද්ගලයන්ට, ආයතනවලට සහ කණ්ඩායම්වලට අපි
ආරාධනා කරනවා ළමයින්ට සුදුසු, වටිනා ළමා පොතක් ඔවුන්ට ලබා දෙන්න පුළුවන් විදියේ
වැඩපිළිවෙළක් අපි සකසා තිබෙනවා. ඔයාල ඇවිත් ළමයින් වෙනුවෙන් අපේ මේ වැඩපිළිවෙළට
සහයෝගය දක්වන්න. අපි සුදානම් ළමයින්ට සුදුසු චිත්‍ර නිර්මාණ ඇතුළත් කතන්දර පොත්
සමාජ ගතකරන්න.
ළමා චිත්‍ර එහෙමත් නැත්නම් ළමයින්ට චිත්‍ර ඇඳීමට ප්‍රවේශ වීමේ දී භාවිතා කළ
යුතු න්‍යායක් (Theory) තිබෙනවද?
පැහැදිලිව ම ළමා මනෝවිද්‍යාව නමැති විෂයය තුළ මේ පිළිබඳව ඉගැන්වෙනවා. අන්න
එතනදි අපිට නැවතත් පැහැදිලි කරගත යුතු වන ප්‍රධාන ම කාරණය වෙන්නෙ අපි කතා කරන්නෙ
ළමයින්ගේ චිත්‍ර ගැනද එහෙමත් නැත්නම් ළමයින් වෙනුවෙන් වැඩිහිටියන් අඳින චිත්‍ර
ගැනද යන්න යි. මෙතනදි අපි ළමයින් වෙනුවෙන් වැඩිහිටියන් අඳින චිත්‍ර නමැති මාතෘකාව
පසෙකට දාමු. අපි බලමු ‘ළමා චිත්‍ර’ කියන්නෙ මොනවද කියල. පැහැදිලිව ම ළමා චිත්‍ර කියන්නේ
විවිධ වෙනත් බලවේගවලින් කිලිටි නොවුණු සුන්දර මනසක ඇතිවෙන හැඟීම් ඔහුගේ හෝ ඇයගේ
ශරීර ශක්තියට අනුකූලව ප්‍රතිනිර්මාණය වීම යි. ඒ ළමයා කිසි විටෙක ඒ චිත්‍රය තුළින්
බලාපොරොත්තු වෙන කිසිවක් ම නැහැ. ඒ දරුවා තමන් ඇඳි චිත්‍රය තුළින් අනුන් සතුටු
කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. තරගයකින් දිනල ඉස්මතු වෙන්න බලාපොරොත්තු වෙන්නෙ
නැහැ. දරුවො කරන්නෙ තමන්ට දැනුණ සහ හැඟුණ දේ තමන්ගේ පරිකල්පන ශක්තිය මත ඉදිරිපත්
කිරීම යි. මේ තත්ත්වය යි ළමයින් වෙනුවෙන් වැඩිහිටියන් අඳින චිත්‍රවල තත්ත්වයයි
අතරෙ බරපතළ වෙනසක් පවතිනවා. මේ දෙක කිසිසේත් ම සමාන කරන්න බැහැ. ඒ නිසා දරුවන්ගේ
චිත්‍ර අගය කිරිම, රස විඳීම සහ වැඩි දියුණු කිරීම බොහොම සියුම් ආකාරයෙන් වගේ ම
කල්පනාවෙන් කළ යුතු වැඩක්. ඒ පිළිබඳ කතා කිරීම පවා කළ යුත්තේ ඉතාමත් සියුම්
ආකාරයෙන්.
එසේ නම් ළමා චිත්‍රය අධ්‍යනය කළ යුත්තේ කෙසේ ද?
මෙය අධ්‍යනය කළ යුත්තේ කෙසේ ද යන්න තව කොටස්වලට බෙදෙනවා. එහි පළමු කොටසෙදි ළමා මනෝ විද්‍යාව පිළිබඳ යම්
දැනුවත් වීමක් අනිවාර්ය යි. ඒ වගේ ම ළමා අධ්‍යාපනය පිළිබඳවත් යම් අවබෝධයක් තිබිය
යුතුයි. ඊළඟට චිත්‍ර කලාව පිළිබඳ දැනුමක් තිබිය යුතුයි. මේ සියල්ලට ම වඩා තිබිය
යුත්තේ මනුසත්භාවය (මනුසත්කම) යි. එසේ නොවී වෙනත් වුවමනාවන් වෙනුවෙන් ළමයින්ගේ
දක්ෂතා මෙහෙයවන්න ගිය විට එය වැරැදි පාරක ගියොත් යම් යම් විනාශකාරි තත්ත්ව ඇති
වෙන්න ඉඩ-කඩ තිබෙනවා.
ළමා චිත්‍ර එසේත් නැත්නම් ළමයින් වෙනුවෙන් අදින චිත්‍ර තාත්වික විය යුතුද?
නැහැ... ළමයින් වෙනුවෙන් අඳින චිත්‍ර හෝ ළමයි අදින චිත්‍ර යන දෙක ම කිසි
සේත් ම තාත්වික විය යුතු නැහැ. මෙතනදි අපි පළමුවෙන් ම තාත්වික චිත්‍ර යනුවෙන්
හඳුන්වන්නේ මොනවද කියල විග්‍රහ කර ගත යුතුයි.
ඔබ තාත්වික යනුවෙන් හඳුන්වන්නේ ඇසට පෙනෙන දේ නම් එය විමසිය යුතුයි. ඇස්
පෙනීම තිබෙන හැමෝට ම පෙනෙනවා. මම බරපතළ අභ්‍යාසයක නිරත වී සිටින නිසා, මම උපතින්
ගෙනා යම් කුශලතාවක් තව දුරටත් හැදෑරීම හේතුවෙන් එය පෝෂණය වී තිබෙන නිසා මගේ ඇසට
පෙනෙන දේ ඒ විදියට ම අඳින්න මට පුළුවන්. තවත් කෙනෙකුට වුනත් ඒ විදියට අඳින්න
පුළුවන් ඇති. ඒ එක් එක් පුද්ගයාගේ හැකියාව. ඔබ සතුව පවතින්නේ පුහුණු නොකළ හැකියාව.
මා සතුව තිබෙන්නේ පුහුණු කළ හැකියාව. මෙය කලා නිර්මාණයක් විදියට තව ඉදිරියට
ගෙනියමු. කැමරාව එන්නට පෙර විශිෂ්ට චිත්‍ර ශිල්පියො ලෙස නම් දැරුවෙ ඇසට පෙනෙන දේ ඒ
ආකාරයෙන් ම සිතුවමට නගපු අය. ඒ වෙනුවෙන් ඔවුන් විශාල වශයෙන් මහන්සි වුණා. බටහිර
රටවල ඒ පිළිබඳව ම ගොඩනැගුණු ස්වභාවික චිත්‍රකරණය පිළිබඳ න්‍යායන් තිබෙනවා. ඇතැම්
බටහිර රටවල චිත්‍ර ශිල්පියො මේ හැකියාව වර්ධනය කරගැනීම සදහා කණ්ඩායම් විදියට උදෑසන
ම එක තැනකට ගිහින් තමන් දකින දේ ඇන්දා. ඒ ස්ථානයට ම යළි දවල් දොළහට යනවා. ගිහින් ඒ
මොහොතෙ දකින දේ ඇන්දා. ආයෙත් හවස හතරටත් ගිහින් ඇන්දා. එතනදි ඒ චිත්‍ර ශිල්පියො
දකින දේ ඇතැම් ආකාරයකට හැඩයෙන්, වර්ණයෙන් වෙනස්කම් ඇති වී තිබෙනවා. ඒ සියල්ල ම මේ
අය අධ්‍යනය කළා. කාර්මික විප්ලවයෙන් අනතුරුව කැමරාව නිර්මාණය වුණා. කැමරාව ආවට
පසුව වෙනද දවසේ එක එක කාලයේ දී වෙහෙස මහන්සි වී අඳින දර්ශනය වැඩි වෙහෙසක් නැතුව ම
තත්පර ගණනකින් කැමරාවට හසු කරගෙන තත්පර ගණනකින් මුද්‍රණ පිටපතක් ගත්තා. ඉන්
අනතුරුව චිත්‍ර ශිල්පියො සිතන්න පටන්ගත්තා ‘දැන් අපි මොකට ද ස්වභාවික දර්ශන
අඳින්නෙ? අපි දැන් කළ යුත්තේ කැමරාවට කළ නොහැකි දේ’ කියල. එතැන් සිට තාත්විකත්වය
කියන සංකල්පය අහෝසි වුණා.
දැන් අපි ඔබේ චිත්‍ර පංතිය දෙසට හැරෙමු. මම දෑසින් දුටු ඔබේ පංතියේ ‘චිත්‍ර
උගන්වනවා’කියල දෙයක් මම දැක්කෙ නැහැ කියල යෝජනා කළොත්...?
ඔබේ දැක්මත් නිවැරැදියි. නමුත් චිත්‍ර උගන්වන්න පුළුවන්. ඕනම කෙනෙකුට චිත්‍ර
උගන්වන්න පුළුවන්. එහෙම නම් ඊළඟ ප්‍රශ්නය ඇයි අපි චිත්‍ර උගන්වන්නෙ? එයාට රැකියාවකට යන්න ද? දොස්තර විභාගෙට ලියන්නෙ
දොස්තර කෙනෙක් වෙන්න. ඉංජිනේරු විභාගයට ලියන්නෙ ඉංජිනේරුවෙක් වෙන්න. චිත්‍ර
ඉගෙනගන්නෙ චිත්‍ර ශිල්පියෙක් වෙන්න. එසේත් නොවේ නම් චිත්‍ර ශිල්පය හරහා වෙනත්
රැකියාවකට යන්න. ගැටලුව මතුවෙන්නෙ
එතනදියි. දොස්තර විභාගයට ලියල, දොස්තර කෙනෙක් වෙලා රෝගින් සනීප කරනවා. ඉංජිනේරුවත්
තමන් ඉගෙනගත් ශිල්පය පාවිච්චි කරමින් තමන්ගේ ක්ෂේත්‍රයට අදාළ කාර්යයේ නියැළෙනවා. ඒ
වගේ ම චිත්‍ර පිළිබඳ ඉගෙන ගන්නත් ආයතන තිබෙනවා. ඒ ආයතනවලින් චිත්‍ර පිළිබඳ
උපාධියකුත් ගන්නවා. ඊට පස්සෙ ඔවුන් මොනවද කරන්නෙ? ඔවුන් අර කලින් සඳහන් කළ ද්‍යෛවරයා
හෝ ඉංජිනේරුවා වගේ සේවයක් රටට ජනතාවට ලබා දෙනවද? යම් පුද්ගලයකුට අහන්න පුළුවන්
‘ඔවුන් මොනවද කළ යුත්තේ?’ කියල. ඔවුන්ට කළ හැකි දේ තිබෙනවා. ඔවුන්ට පුවවන් මිනිසුන්ගේ
මනස වර්ධනය වන ආකාරයේ ඉහළ මට්ටමේ චිත්‍ර අඳින්න. ඒ පිළිබඳ පර්යේෂණ කරමින් රටේ සහ
ජනතාවගේ උන්නතිය උදෙසා වැඩ කරන්න. නමුත් එහෙම ක්‍රියාදාමයක් මේ වනතුරු සිද්ධ වෙලා
නැහැ. දැන් මම ඔයාගේ පැනයට නියම පිළිතුර සපයන්නම්. මම මගේ චිත්‍ර පංතිය ආරම්භ කරල
තියෙන්නෙ දොස්තරල, ඉංජිනේරුවො බිහිකරල ඔවුන් ඒ ඒ රැකියාවලට යොමු කරනව වගේ
රැකියාවලට යොමු කරන්න නොවෙයි. මම මගේ චිත්‍ර පංතිය ආරම්භ කරල තියෙන්නෙ වෙනම දෙයක්
සඳහා. එනම්, තමන්ගේ දරුව වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් හෝ වෙනත් ඕනෑම කෙනෙක් කරන්න
බලාපොරොත්තුවෙන් ඉන්න මවුපියන්ට පුළුවන් එයාගෙ දරුව මගේ පංතියට එවල, ඒ ළමයගේ යම්
කලා කුසලතාවක් තිබෙනවා නම්, ඒ කලා කුසලතාව පුස්කන්න නොදී, මලකඩ කන්න නොදී ඔහු හෝ
ඇය කලාව කෙරෙහි දක්වන දක්ෂතාවත් වෘත්තිමය විෂය හා සමානව ම සක්‍රිය කොටසක් බවට
පත්කරන්න. එය අදාළ දරුවා වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් හෝ වෙනත් ඕනෑම වෘත්තියක් සඳහා
යන ගමන සමබර කරනවා. ඒ විදියට ඒ ඒ දරුවාගේ ගමනට මේ කලාව ඇතුල් කළාම අනාගතයේ දී
පූර්ණ මිනිසෙක් ගොඩනැගෙනවා. එසේ නොවුණ හොත් බිහිවෙන්නේ කිසිඳු රසඥතාවක් නැති යන්ත්‍ර
වගේ මිනිස්සු. ඒ විදියට රසඥතාවක් නොමැතිව හැදුණ වැඩුණ පරපුරෙන් මේ වන විට රටට,
සමාජයට බරපතළ හානි සිදුවමින් පවතිනවා සහ තව දුරටත් හානි සිදු වෙනවා. මගේ උත්සාහය
එය සම්පූර්ණයෙන් ම නතර කරන්න බැරි වුණත් හැකි තරම් අවම කරන්න. ඒ නිසා මේ තත්ත්වය
වටහා ගන්න පුළුවන් දෙමාපියන්ට පුළුවන් මාත් සමග එකතු වෙලා තමන්ගෙ දරුවගේ අනාගතය
යහපත් කරන්න.
සාකච්ඡාව
ජයසිරි අලවත්ත m.j.alawatta@gmail.com