ශාන්ත කේ. හේරත්
ශාන්ත කේ. හේරත් ප‍්‍රවීණ චිත‍්‍ර හා මූර්ති ශිල්පියෙකි; කාටුන් ශිල්පියෙකි; පොත් කංචුක නිර්මාණ ශිල්පියෙකි; පුවත්පත් පිරිසැලසුම් (LAYOUT) චිත‍්‍ර ශිල්පියෙකි. මේ සියලු ශුද්ධ හා ව්‍යවහාර කලාවන් හි ඔහු සුවිශද ප‍්‍රතිභාවක් විදහා පායි. මේ මෑත දී ශාන්ත දකුණු ආසියාවේ හොඳ ම කාටුන් ශිල්පීන් අතරට ප‍්‍රවිෂ්ට වූයේ ය. ඒ පසුගිය දා පැවැති අන්තර්ජාතික කාටුන් චිත‍්‍ර තරගයකිනි. මේ ඒ නිමිති කොට ගනිමින් කරන ලද සංලාපයකි.
ඔබ චිත‍්‍ර හා මූර්ති ශිල්පියෙක්. කංචුක චිත‍්‍ර නිර්මාණ ශිල්පියෙක්. එසේ ම පුවත් පත් ක්ෂේත‍්‍රයේ දී ඔබ කාටුන් ශිල්පියෙක්; පිරිසැලසුම් ශිල්පියෙක්. මේ සියල්ල අතරින් ඔබ ඔබ ව හඳුන්වා ගන්න වඩාත් කැමැති කවර ශිල්පියකු වශයෙන් ද?
මට ඕනෑ කරන්නේ මනා සම්ප‍්‍රදායයේ කලාකාරයෙක් වෙන්න. දැනුත් මම කරන්නේ ඒ සඳහා නිරන්තර අධ්‍යයනය කිරීම හා අභ්‍යාස කිරීම යි. ඒක මේ ආත්මයේ ම කරගන්න පුළුවන් දෙයක් නොවන්න පුළුවන්. එසේ වුවත් මේ ආත්මයේ දී ත් ඒ සඳහා මා පෙරුම් පුරනවා.
පුවත්පත් නිර්මාණ කලා (NEWS PAPER ART) යනුවෙන් වෙනම ම කලාංගයක් දැන් වර්ධනය වෙලා තිබෙනවා. අප කාගෙත් පිළිගැනීමට අනුව ඔබ ඒ ක්ෂේත‍්‍රයේ විශාල නිර්මාණාත්මක වෙනසක් සිදු කළ ශිල්පියෙක්.
‘නිවුස් පේපර් ආට්’ කියන කොට කාටුන් චිත‍්‍ර ඇඳීම, පිරිසැලසුම් කිරීම, සන්නිදර්ශන (ILLUSTRATION) මේ සියල්ල අයිතියි. ඇත්තට ම ඒවායේ කිසියම් වෙනසක් කරන්න මට පුළුවන් වුණා. එහි කිසියම් උපරීමයකට යන්න පුළුවන් වුණා.
මම කියන්නෙ නැහැ ඒක අවසානය කියලා. නමුත් මහා සම්ප‍්‍රදායයේ කලාව තිබෙන තැනට මේක ගෙනියන්න මම උත්සාහ දරනවා. මෙතැන දි ගැටුම් ඇතිවුණු අවස්ථා, ප‍්‍රතික්ෂේප වුණු අවස්ථා තිබුණා. මා නම්‍යශීලි නැහැ කියල, හංවඩු ගැහුණු අවස්ථාත් තිබුණා. ඒත් රසික ජනතාව මා පිළිගත්තා.
අපි උදාහරණයකට සන්නිදර්ශන ගනිමු.
මම කවියකට හෝ කෙටිකතාවකට චිත‍්‍රයක් අඳිද්දි ඊට අනන්‍ය වූ ශෙලියක් පවත්වගෙන ගියා. ඒක කාටුන්වල දි මා අනුගමනය කරන ශෙලියට වඩා වෙනස්.
විශේෂාංග ලිපියකට චිත‍්‍රයක් අඳිද්දි ඒක අර දෙකට ම වඩා වෙනස් විදියටයි ඇන්දේ. කවියකට හෝ කෙටි කතාවකට චිත‍්‍ර අඳිද්දි මම ඇහැට පේන දේ නොව මනසට පේන දේ ඇන්දා. එහිදී පාඨකයන්ට අලුතින් හිතන්න යමක් සැලැස්සුවා.
පුවත්පත් පිරි සැලැසුම්කරණයේදී අපට හොඳ සම්ප‍්‍රදායයක් තිබෙනවා. ජී.ඩබ්ලිව්. සුරේන්ද්‍ර, රැලෙක්ස් රණසිංහ, වටරැක පේ‍්‍රමදාස මෙහි පුරෝගාමීන්. අද තාක්ෂණය දියුණු වෙලත් පත්තරවල පිරි සැලසුම් නිර්මාණාත්මක බවින් හීනයි.
ඉහත පුරෝගාමීන් ගෙන් රැලෙක්ස් රණසිංහ සුවිශේෂයි. ඔහු තමා නිරත වූ සියලු කලාවන් හී විශාල වෙනසක් ඇති කළා. අපි අද නිර්මාණ කරන්නේ ඉන්ද්‍රජාලික බලවේගයකින් නෙමෙයි.
රැලෙක්ස් වැනි පූර්වගාමීන් ගේ ආභාසය අපිට තිබෙනවා. එදාට වඩා තාක්ෂණය අද දියුණුයි. නමුත් එදා තිබුණු නිර්මාණශීලි බව අද නැහැ. ඒක පැහැදිලිව ම දකින්න තිබෙන දෙයක්.
ඔබ පොදුජන රසිකයන් අතර වඩාත් ප‍්‍රකට කාටුන් ශිල්පියකු වශයෙන්.
පුවත්පතක කාටුන් චිත‍්‍ර ශිල්පියා වඩාත් කැපී පෙනෙනවා. මගේ කාටුන් පොදුජන රසික අවධානයට යොමුවුණා. එසේ ම මම දැනට කාටුන් චිත‍්‍ර ප‍්‍රදර්ශන දෙකක් ම පවත්වා තිබෙනවා. ඒ වෙනුවෙන් පොත් දෙකකුත් පළකර තිබෙනවා. එබඳු පසුබිමක මා කාටුන් ශිල්පියකු ලෙස ප‍්‍රසිද්ධව සිටීම පුදුමයක් නෙමෙයි.
ඔබ හිතන විදියට එදා මෙදා තුර අපේ රටේ බිහිවුණු විශිෂ්ටත ම කාටුන් ශිල්පියා කවුද?
මම හිතනවා ඩබ්ලිව්. ආර්. විජේසෝම කියලා. ඔහු බොහෝ ම ස්වාධීන කාටුන් ශිල්පියෙක් වුණා. ඔහු කිසිම දවසක දේශපාලනඥයන් එක්ක සම්බන්ධකම් පවත්වන්න ගියේ නැහැ.
තමා නිවැරදියි කියලා හිතපු මතය නිර්මාණශීලී ව ඉදිරිපත් කිරීම තම වගකීම කියලා ඔහු හිතුවා. ඔහු ඒ මතය වෙනුවෙන් පෙනී හිටියා. ඔහුට ඊට පරිබාහිර වෙනත් අරමුණු තිබුණේ නැහැ.
චිත‍්‍ර කලාවේ දී ඔබ නිරන්තර භාවිතයේ යෙදෙන්නේ ව්‍යවහාරික කලාවක් (NEWS PAPER ART) තුළයි. එබඳු සන්දර්භයක දී කලා කෘති කරන්න බැහැයි කියලා සදොස් මතයක් තිබෙනවා නේද?
ඒ අභියෝගය තමයි අපි ජයගන්න උත්සාහ කරන්නේ. මහා සම්ප‍්‍රදායයේ දේවල් මම පුවත්පත් සඳහා යොදා ගත්තා. කවිවලට, කෙටි කතාවලට ඇඳපු චිත‍්‍ර විතරක් නෙමෙයි. මම ම ‘දිවයින’ පත‍්‍රයට සංස්කරණය කරපු ‘ලලිත’ වගෙ පිටු පවා කලා කෘති මට්ටමකට ගේන්න මම උත්සාහ කළා.
පාඨකයකු පත්තරයක් කියවලා ඊට පස්සේ කරන්නේ පාන් ඔතන එක. නැතිනම් බෝතල් පත්තරකාරයන්ට විකුණන එක. එබඳු සන්දර්භයක දී තමයි අපි මේ අභියෝගයට මුහුණ දෙන්නේ.
පුවත්පතක් කියන්නේ නොයෙක් සීමාසහිතකම් තිබෙන ජන මාධ්‍යයක්. නිර්මාණශීලී කලාකරුවෙක්, විශේෂයෙන් කාටුන් ශිල්පියෙක් ඒ සීමා ඵලදායි තුළ ගනුදෙනුවක් කරන්නේ කොහොමද?
කාටුන් ශිල්පියෙක් විදියට ගත්තොත් මං වැඩ කරපු පත්තර දෙකේදී ම (දිවයින හා මවුබිම) මට විශාල වශයෙන් බාධා ඇතිවුණේ නැහැ. ආයතනික සීමා, ප‍්‍රතිරෝධතා මතු වූ අවස්ථාවල දි මා වෙනත් මාර්ග සොයා ගෙන ගියා.
ඇත්තට ම තීරු ලිපි (කොලම්) කලාව බිහිවුණෙත් ඒ වෙනත් මාර්ග සොයා යෑමේ ප‍්‍රතිඵලයක් විදියටයි. මම කිසිම දේශපාලන පක්ෂයක කි‍්‍රයාකාරිකයෙක් නෙමෙයි. මම ස්වාධීන ශිල්පියෙක්. සමාජයේ වෙන දේ දැකලා ඒක මතයක් විදියට ඉදිරිපත් කිරීමයි මම කරන්නේ.
කංචුක චිත‍්‍ර නිර්මාණයේ අද සිටින විශිෂ්ටතම ශිල්පියා ඔබ කියලයි මම හිතන්නේ.
ඒක ඔබේ මතය. කිසියම් පුද්ගලයෙක් එබඳු මතයක් දැරීම මගේ සතුටට හේතුවක්. මහාචාර්ය සිරි ගුනසිංහ, මහගමසේකර, ඒ.ඩී. රන්ජිත් කුමාර මෙරට පොත් පිටකවර කලාවේ විශිෂ්ට සම්ප‍්‍රදායයක් ඇති කරලා තිබෙනවා.
මම කරලා තියෙන්නේ ඒකට මගේ සලකුණ තැබීමයි. මගේ මුද්‍රාව තැබීමයි.
ජී.එස්. ප‍්‍රනාන්දු ගෙන් ඉදින් වර්තමානයේ බන්දුල හරිශ්චන්ද්‍ර, ජනක රත්නායක දක්වා බොහෝ දෙනෙක් (විශේෂයෙන් මේ කියන තිදෙනා පවා) කංචුක චිත‍්‍ර නිර්මාණකරණයේ ගැඹුර වටහාගෙන නැති බවයි රසිකයකු විදියට මගේ වැටහීම. ඔබ එකඟ ද මගේ මේ අදහසට?
මම එකඟයි. හැබැයි ඒකට මේ අයට දොස් කියන්න බැහැ. ඔවුන් කරන්නේ ඉල්ලුමට අනුව සැපයුමයි. බන්දුල හරිශ්චන්ද්‍ර කියන්නේ මම බොහෝ ම ගෞරව කරන චිත‍්‍ර ශිල්පියෙක්. ඔහු අති දක්ෂයෙක්.
නිර්මාණයක ගැඹුර සොයා යන්න ඔහුට අවස්ථාව තිබුණ නම් ලෝකයේ ඕනෑ ම චිත‍්‍ර ශිල්පියකු හා සම මට්ටමේ හිඳීමේ හැකියාව ඔහුට තිබෙනවා. නමුත් ඔහු එක ම තැනක නතරවෙලා ඉන්නවා.
ඔබ ව්‍යවහාරික කලාවට ම පමණක් කොටුවෙලා සිටින බව පේනවා. ඒක හරි ම ඛේදජනකයි. ඔබේ විශිෂ්ට ප‍්‍රතිභාව සැලකිල්ලට ගැනීමේදී ඔබ සිටිය යුත්තේ ශුද්ධ කලාවේ (PURE ART) උපරි ව්‍යුහයේ.
ප‍්‍රදර්ශනයක් පවත්වන්න තරම් නිර්මාණ දැනට මගේ ළඟ තිබුණත් ප‍්‍රදර්ශනය හා සම්බන්ධයෙන් යම් යම් ප‍්‍රශ්න තිබෙන නිසා කල් යල් බලමින් ඉන්නවා.
ඔබේ පසුබිම මා දන්නේ නැහැ. ඇත්තට ම ඔබ ශාස්ත‍්‍රාලීය (ACADAMIC) චිත‍්‍ර ශිල්පියෙක් ද?
නැහැ. රජයේ සෞන්දර්යය අධ්‍යයන ආයතනයට බැඳෙන්න මට ප‍්‍රමාණවත් ලකුණු තිබුණේ නැහැ. අවස්ථාවක් ලැබුණොත් අද වුණත් මම කැමැතියි, ශාස්ත‍්‍රාලීය අධ්‍යාපනයක් ලබන්න.
ඒක නොලැබීම අඩුවක් කියලා මට නිතර ම දැනෙනවා. හේවුඩ් ගිය අය කියනවා මට ඇහිලා තියෙනවා, ගියාට වැඩක් නැහැයි කියලා. ඒත් මම ගියා නම් මට එහෙම වෙන්නේ නැහැ. ශාස්ත‍්‍රාලීය අධ්‍යාපනය කියන්නේ ගඟක් තරණය කරන්න බෝට්ටුවකින් ගියා වගේ පහසු ගමනක්.
අපිත් ඒ ගඟෙන් එගොඩවෙලා තිබෙනවා. ඒත් ඒ ගමන මඩ නාගෙන, අවදානම දැනගෙන ගිය ගමනක්.
කාර්මික විද්‍යාලයයේ ඉඳන් සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයය දක්වා වූ දීර්ඝ අඛණ්ඩ විකාශනයක් තුළ මෙයින් දක්‍ෂ ශිල්පීන් බිහිවුණේ නැද්ද?
බිහිවුණා. මම නැහැයි කියනව නම් ඒක ද්වේශයෙන් කරන ප‍්‍රකාශයක් වෙන්න පුළුවන්. නැතිනම් මම නොදැන කතා කරනවා වෙන්න පුළුවන්. නමුත් මේක විශ්ව විද්‍යාලයයක් බවට පත්වුණාට පස්සේ බිහිවෙන්නේ උපාධිධාරීන් විතරයි.
එයින් ශිල්පීන් බිහිවෙනවද කියන එක ප‍්‍රශ්නයක්. ශිල්පීන් බිහිවීම කෙසේ වෙතත් අඩු ම ගාණේ චිත‍්‍රකලා ගුරුවරුන් බිහි වුණයි කියලා හිතමු. නමුත් ඔවුන්ට පුළුවන් වෙලා තියෙනවද චිත‍්‍රයක් රස විඳින්න පුළුවන් ගෝලයෝ පස් දෙනෙක්වත් බිහි කරන්න?
එහෙත් ඇකඩමික් ලක්ෂණ ඔබේ නිර්මාණවල සපුරා දක්නට ලැබෙනවා.
ඒක වෙන්න ඇත්තේ මෙහෙමයි. මම හේවුඩ් නොගියට මට ඒ දොර නොහැරුණට මම වෙනත් දොරක් ඇර ගත්තා. ඒ කියන්නේ මම ස්ටැන්ලි අභයසිංහ, එච්.ඒ. කරුණාරත්න, තිස්ස ගුණවර්ධන වැනි ශාස්ත‍්‍රාලීය ප‍්‍රවීණයන් යටතේ සල්ලි දීලා, පන්තිවලට ගිහින් චිත‍්‍ර කලාව ප‍්‍රගුණ කළා.
මෙතැනදි ඔබේ පූර්වාදර්ශ වුණේ කවුද?
චිත‍්‍ර කලාවේ විතරක් නෙවෙයි වෙනත් මාධ්‍යවලත් හිටපු ශාස්ත‍්‍රාලීය වශයෙන් ඉහළ ම අධ්‍යාපනයක් නොලත් අය තමයි මගේ වීරයෝ වුණේ. ඒ අය මට දැවැන්තයි.
ඒ නිසා තමයි මම මහාචාර්ය සෙනරත් පරණවිතාන, මාර්ටින් වික‍්‍රමසිංහ, සුගතපාල ද සිල්වා, මර්සලිනු ජයකොඩි ගරු පියතුමා, උපාලි විජයවර්ධන වගෙ අයගේ මම අඹපු මූර්ති ස්වභාවික රූපකායට වඩා විශාලනය කොට නිර්මාණය කරලා තියෙන්නේ. මොකද; ඔවුන් මට දැවැන්තයි. මට ඔවුන් කළ හැකි උපරිම ගෞරවය තමයි ඒ.
ඔබේ චිත‍්‍ර නිර්මාණවල නුවර යුගයේ විහාර බිතු සිතුවම්වල කිසියම් ආභාසයක් පෙනෙන්ට තිබෙනවා? ඒ ආභාසය කොහෙන් ආපු එකක්ද?
මගේ නිවෙස පිහිටා තිබුණේ මැදවල ටැම්පිට රජමහා විහාරයට නුදුරින්. මැද මහනුවර ඉතා ම වටිනා බිතුසිතුවම් තිබෙන තැනක් තමයි මැදවල විහාරය කියන්නේ. මම පුංචි කාලේ මේ බිතුසිතුවම් දැකලා තියෙනවා. පසුකාලෙක ඒවා අධ්‍යයනය කරලා තියෙනවා.
මේ චිත‍්‍ර මට බරපතළ විදියට බලපෑවා. මම වෘත්තිය ක්ෂේත‍්‍රයට ආවට පස්සේ මහනුවර යුගයට අයත් පහත රට විහාර බිතු සිතුවම් අතර විශිෂ්ට ස්ථානයක් හිමි කරගන්නා, කතළුව පූර්වාරාමයේ චිත‍්‍ර පිටපත් කළා.
මෑතදි පැවැත්වූ මගේ බෞද්ධ චිත‍්‍ර ප‍්‍රදර්ශනයට පවා බලපාලා තියෙන්නේ නුවර යුගයේ බිතුසිතුවම්. ඒ විතරක් නෙමෙයි කුඩා කාලයේ අපි දැකපු බලි චිත‍්‍ර පවා මට බලපාලා තිබෙනවා.
ඔබේ නිශ්චිත නිගමනයට අනුව අපේ සමකාලීන ශ්‍රේෂ්ඨත ම සිත්තරා කවුද?
මං හිතන්නේ එච්.ඒ. කරුණාරත්න වඩාත් ශ්‍රේෂ්ඨයි. ඔහු ඉතා ඉහළින් ම අගය කරන්න පුළුවන්. ඔහුගේ පදනම බටහිරින් ආනයනය කරපු දෙයක් නෙමෙයි. ඔහු බටහිර මතවාද අපේ කරගත්තු කෙනෙක්. එච්.ඒ. කරුණාරත්න කියන්නේ අමුර්ත කලාව (ABSTRACT ART) පිළිබඳ ගවේෂණාත්මකව යමක් කරපු කෙනෙක්.
නූතන චිත‍්‍ර කලාවේ කිසියම් අභිවෘද්ධියක් ඔබ දකිනවද?
ශාස්ත‍්‍රාලයවත්, ඉන් පිටස්තරවත් විශිෂ්ට චිත‍්‍ර ශිල්පීන් බිහිවෙලා තිබෙනවා. ඒ අනුව ප‍්‍රගමනයක් නැතැයි කියන්න බැහැ. ඒත් සතුටු වෙන්න පුළුවන්කමක් නැහැ.
චිත‍්‍ර කලා වර්තමාන විචාරය ගැන ඔබ මොනවද හිතන්නේ? පොත් ප‍්‍රකාශකයකු (එස්. ගොඩගේ මහතා) තුළ තිබෙන චිත‍්‍ර කලාව පිළිබඳ වූ සවිඥානකත්වය තරම් සවිඥානකත්වයක් අද චිත‍්‍ර කලා විචාරකයන් කියලා කියන අයට තිබෙනවා කියලා හිතන්න පුළුවන්ද?
ගොඩගේ මහත්තයා මගේ කාටුන් ගැන අලුත් මතයක් ප‍්‍රකාශ කරලා තිබුණා. අද චිත‍්‍ර කලා විචාරකයන් නැහැ. සෞන්දර්යය විශ්වවිද්‍යාලයෙන් ශිල්පීන් බිහිවෙන්න නැතිනම් අඩු ම ගාණේ හොඳ රසඥතාවයකින් යුතු විචාරකයන් පිරිසක්වත් බිහිවෙන්න ඕනෑ. නමුත් එහෙම දෙයක් වෙලා නැහැ
මහාචාර්ය සේනක බණ්ඩාරනායක වගෙ චිත‍්‍ර කලා විචාරකයන් විචාරයේ යෙදෙන්නේ කිසියම් පන්ති දෘෂ්ටියකින් බවත් පැහැදිලියි.
ඔව්. ඒ අය මහගමසේකර ගේ චිත‍්‍ර ගැන කවදාකවත් කතා කරලා නැහැ. අද අපේ චිත‍්‍ර ගැන කතා කරන්නෙත් නැහැ. අපිට වෙන නොපිළිගැනීම්, මදි පුංචිකම් තියෙනවා. ඒත් මේවා අපිට විශාල ප‍්‍රශ්න නෙමෙයි.
එතකොට රසිකත්වය? චිත‍්‍ර නිර්මාණ නැරඹීමේ, ඒවා රස විඳීමේ පරාසය පෙරට වඩා පුළුල් වෙලා තිබෙනවද?
චිත‍්‍ර ශිල්පියෙක් අවුරුදු ගාණක් තිස්සේ අදින චිත‍්‍රයක් විනාඩි පහකින් දහයකින් රස විඳින්න බැහැ. ඉතා ම කෙටි කාල සීමාවකින් චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් බලලා ඉවර වෙලා චිත‍්‍ර ශිල්පියා ගේ පිටට තට්ටු කරලා එක්කො හොඳයි කියනවා.
නැත්නම් නරකයි කියනවා. රසිකත්වය කියන්නේ ඒකට නෙමෙයි. මේ කාලකණ්ණි ක‍්‍රමය වෙනස් වෙන්න ඕනෑ. පිටරටවල වගෙ කලාගාරයකට ගිහින් පැය ගණන් එහි ගත කරලා චිත‍්‍ර රසවිඳීමේ සංස්කෘතික පසුබිමක් අපි ඇති කරගන්න ඕනෑ.
චාරු ලේඛන කලාව (CALLIGRAPHY) නමින් කලාවක් පවතින බව අපි දන්නවා. ඔබ ඒ අක්ෂර නිර්මාණයෙහිත් නිරත වෙනවා.
අරාබි රටවල චිත‍්‍ර කලාවක් නැහැ. තියෙන්නේ අක්ෂර කලාවක් විතරයි. අපිටත් චාරු ලේඛන කලා සම්ප‍්‍රදායයක් තියෙනවා. සෙල්ලිපිවල පුස්කොල පොත්වල තියෙන්නේ නිර්මාණාත්මක අක්ෂර මාලාවක්.
මම ව්‍යවහාරික කලාව තුළ අක්ෂර නිර්මාණයෙහි යෙදෙනවා. පුවත්පත් විශේෂාංග ලිපියකට යොදන අකුරු නෙමෙයි මම තීරු ලිපි කොළමකට යොදන්නේ. ඒ වගේ ම පොත් කංචුක නිර්මාණයකට යොදන අකුරු නෙමෙයි චිත‍්‍රපට නාමාවලියකට යොදන්නේ.
‘අබා’ චිත‍්‍රපටයේත් අක්ෂර නිර්මාණය ඔබේ. එය බොහෝ දෙනෙකුගේ කුහුල දනවන අවධානයකට යොමු වුණා?
මේ සඳහා මා පර්යේෂණ කළා. අවසානයේදී සෙල්ලිපිවල ‘පඬු අබා’ යන නම ලියැවී ඇති අක්ෂරය මේ සඳහා භාවිතා කළා.
උපුටා ගැනීම
පුන්කලස - සිළුමිණ
No comments:
Post a Comment