රත්මලානේ පුංචි අම්මාගේ ගෙදරදි හදුනා ගත් වැඩිහිටි මිතුරෙකි බුද්ධික කුරුකුලරත්න මහතා. ඔහු මගේ බාප්පාගේ සමකාලීනයෙක්. අධිනීතීඥවරයෙක්. පරණ පත්තර කාරයෙක්. පසුව මහජන මන්තත්‍රී වරයෙකුද වුණා. ඔහු මා විජය නිවස අධිපති රංජිත් විජයවර්ධන මහතාවෙත කැටුව ගියා. ඒ මගින් බුද්ධික මහතාගේ මිතුරන් වූ සුබසිංහ මහතාත් , පර්සි ජයමාන මහතාත් හමුවුනා.
දැන් මම විජය නිවසේ බාහිර චිත්‍ර ශිල්පියෙක්. එහි චිත්‍ර කරුවන්ගේ ප්‍රධානියා වුයේ. පී. වික්‍රමනායක මහතා යි. ජනප්‍රිය නාමය වික්‍රම යි. සිකුරාදා පන්තිය ඉවරවී කොළඹ එන මම සෙනසුරාදා විජය නිවසට ගොස් එහි දවල්වෙනතුරු වැඩකර සවස්වන විට නුවරට පැමිනියා. විජය නිවසේදී චිත්‍ර කතා ඇදි බොහෝ දෙනෙකු මට හමුවුණා. චිත්‍ර කතා ශිල්පය තුළම සිටි පිරිසට අමතරව විමල් ලොකුලියන, චන්ද්‍රගුප්ත තේනුවර , කිංග්සිලි ගුණතිලක, සෝමරත්න වැනි අද දැවැන්ත කලාකරුවන් ද මට හමු වූයේ එහිදී යි. විජය නිවසේදී එකල “ඕෆ්සෙට්” තාක්ෂණය සදහා චිත්‍ර ශිල්පියා ගේ කාරයභාරය කුමක් දැයි ඉගෙන ගත හැකිවුණා. ඒ සදහා ගරුවරයා වූයේ පර්සි ජයමාන මහතා යි. ඔහු සූරයෙක්. සතුටු කළ නොහැකි ගුරුවරයෙක්. ඉරක් ඇදීමේදී සෙන්ටිමීටර් දසම බාගයක වෙනසක් පවා ඔහුට රුස්සන්නේ නැහැ. නමුත් ඔහු වෙතින් ලද එම කෙටි අභ්‍යාස කාලය තුළ වූ දැනුම විශ්වවිද්‍යාලයකින් වත් සොයා ගක නොහැකියි.
මේ අතර පර්සි මහතා සහ සුබසිංහ මහතා එක්ව මට කතාවක් කව්වා. එම කතාව මා විසින් චිත්‍ර කතාවකට නැගිය යුතු වුණා. එය මහත් දුෂ්කර කටයුත්තක්. නමුත් මා ඒ අභ්‍යාසය ද අතහැරියේ නැමැ. කතාව ජනප්‍රිය වුණා. මට පිටකවර කීපයක් අදින්ට අවස්ථාව උදාවුණා. ඒවා වරණවත් වුණා. මා මගේ මුලු වෙරයොදා පිටකවර ඇන්දා. මා වර්ණ වලට මහත් ප්‍රියමනාපයි. වර්ණවලින් මහත් හැගීම් ප්‍රකාශකල හැකිබව ඒ කලද මට වැටහී තිබුණා. ඒ නිසා මගේ වර්ණ භාවිතය නිදහස් වුණා. අනුකරණයෙන් තොර වුණා. දිනක් මා ඇදි කවරයක් සුබසිංහ මහතා අතට පත්වුණා. මහත් උන්න්දුවෙන් ඒ දෙස බලා සිටි සුබසිංහ මහතා මෙසේ කීවා.
“මොකෝ මේ?. බලනවාකෝ අර ගෑණු ළමයා දිහා.”
ඔහු කාර්යාලයේ සිටි ගෑනු ළමයෙක් වෙත මගේ අවධානය යොමු කළා.
“බලනවා හොදට.. එයාගේ කොන්ඩේ පාට පාට නෑනේ..?. මේ තමුසේ ඇදපු එකේ පාට පාටනේ... ඒ මොකෝ? ”
ඔහුගේ සිහින් කටහඩින් විමසුවා.
මට වැරදුනා. මා මගේ පණ්ඩිතකම කියාපෑමට මේ සුදුසු ම අවස්ථාව මේ යැයි සිතුවා.
“ සර් පාට පෙට්ටියේ පාට විසිහතරක් කියෙනවා. තනි කලු පාට ගානවට වඩා නිර්මාණයකදී විවිද වර්ණ වලින් ලස්සනත්, හැගීමකුත් ප්‍රකාශ කරන්න පුලුවන්..”
මට කියා අවසන් කිරීමට ලැබුණෙ නෑ. මගේ හිසට උඩින් චිත්‍රය පියඹා යනු පෙණුනා.
“පර්සි.. මේන් මේ ගමෙන්න් ආපු මෝඩ කොල්ලා අපිට උගන්නන්නත් එනවා. ”
සුබසිංහ මහතාගේ සිහින් කටහට මට “ඔපෙරා” එකක ගීතයක් ලෙසින් ඇසුණා. ඒ ගැන නොතකා මා චිත්‍රය බිම පතිත වී කිලිටි නොවී අල්ලා ගත්තා.
කවුරුත් මේ සිදුවීම දුටුවා, නොදුටුවා සේ සිටි බව මතක යි. පර්සි ජයමාන මහතාද කිසිවක් කිව්වේ නැහැ. ඔහු ද බිම බලාගෙන බර වැඩක. මම චිත්‍රය ඔතාගෙන නුවර පැමිණියේ නැවත සුබසිංහ මහතා සිටින තුරු විජය නිවසට නොයන බව සිතාගෙන යි.
නුගවෙල පාසැලත්, නුවර කේ. ඩී. ඊ ඒකත් බේක්හවුස් උඩතට්ටුවේ කතාවත් නැවත පටන් ගතයුත්තේ මෙතැනින්. විභාගය අත ලග. විෂය තුනක් චිත්‍ර සමග පාස්වීම මහකජ්ජක්ද?. චිත්‍ර, සිංහල, භූගෝල විද්‍යාව,ආර්ථික විද්‍යාව තමයි මා සුදානම් වෙන විෂයයන්. මේ විභාග යුද්ධයට කෙරෙන සුදානම අතරතුරයි “බේක්හවුසියේ” උඩතට්ටුවේදී දිවයින පුවත්පත ගැන මට අසන්නට ලැබුනේ...
ගුණසිහමහතාගේ රංතැටියක කදුලු කවිය මා කියවා තිබුණා. ඒ ගැන මා කියන විට විද්වත් සබාවට අපවද එක්කරගත්තා. පසුව තිලක් මහතා ගුණසිංහ මහතා ගේ දුරකතන අංකයද, මහරගම ගම්මාන පාරේ පිහිටි ගෙදර ලිපිනයද මට දුන්නා.
රත්මලානේ පුංචිඅම්මාගේ නිවසට පැමිණ , සෙනසුරාදා දිනක මම ගුණසිංහ මහතාව ඔහුගේ නිවසේදී හමුවුණා. එතුමාගේ නිවස ඉතා චාම්. එය අලුතින් සදා නිමවෙමින් තිබූ නිවසක්. ගුණසිංහ මහතා බුලත් හපන ගැමියෙක්. නිරහංකාර මහත්තයෙක් වූ එතුමා ගමේදී මට හමුවෙන වෙදමහක්කයා සහ ගුරුවරු සිහිපත් කළා. ඔහු දරුවෙකු මෙන් මා පිලිගත්තා. ආගිය තොරතුරු කතා කලා. මා විසින් කරනලද නිර්මාණ දැක ඔහු ප්‍රසාදයට පත්වුණා. මගේ අදහස් උදහස් ගැන පැහැදුණු ඔහු කිව්වේ. “කලාව ඉදිරියට ගෙනියන්න නම් අලුතින් හිතන්ට පුලවන් තරුණයන් අවශ්‍ය” බවයි. කතාව අවසන් වුයේ පසුදා “බ්ලූමැන්ඩල්”පාරේ උපාලි ආයතනයේදී හමුවීම යොදා ගනිමින්.
“බ්ලූමැන්ඩල්” පාරේ අද තියෙන පරිසරය එදා තිබුණේ නැහැ. ඒ ගැන ස්තූති විය යුත්තේ ප්‍රේමදාම ජනාධිපති තුමාටයි. පාර පටුයි. දෙපසින් පිරී ඉතිරී යන කුනු කානුයි. එම කානුවටම අල්ලා ලෑලි සහ තහඩුවලින් සෑදූ මුඩුක්කු නිවෙස්. එයින් එන දුර්ගන්ධය ඉවසිය නොහැකියි. පාරවල වල් සහිත වූ අතර මඩ වලින්ද යුත්තයි. ඒ ගැන නොසලකා ෆුට් බෝල් සෙල්ලම් කරන පිරිස් හා මුඩුක්කු වාසීන් ගේ හැසිරීම් හා ක්‍රියාවන් මට නුහුරුයි. පාර දෙපස මහ ගස් ද වෙයි... ඒවායේ කපුටන් පිරිලා. උන් කෑ ගසනා සද්දය ඉවසිය හැකි වුවත් හෙළන වසුරුවලින් නම් බේරීමට නම් අපහසුයි. කපුටාගේ කඩේ ඉදිරියේ වූ උපාලි ආයතනයේ ගේට්ටුවෙන් ඇතුලු වූ පසු සිතෙන්නේ අපාය පසුකර දිව්‍ය ලෝකයට පැමිණි බවකුයි. ( මේ ගැන දිවයින විසි වැනි සංවත්සරයට ලියු ලිපිය පසුව අමුනමි)
එදා දිවයින පුවත්පතේ ගේට්ටුවෙන් ඇතුළු වන විට තිබූ ශ්‍රී විභුතිය අද නම් දැකිය නොහැකියි. එදා උපාලි ආයතනය පිරිසිදු කමේත්, නිවැරදි කමේත් සංකේතයක් වූ අතර ඉදිරියට යන තරුණයන් බිහිකරන ස්ථානයක් ලෙස ප්‍රසිද්දව තිබුණි. ටයි පටි පැලදි , දිලිසෙන සපත්කු පැලදි වේගවත්, කාර්යක්ෂම තරුණයන් එහි විය. ඇවිදින මල්වත්තක් සේ නිර්මාණය කරතිබු උද්‍යානය හරහා මා ප්‍රධාන කාර්යාලය වෙත කැටුව ගියේ ආරක්ෂක නිලධාරියකු විසින්.
( නුවර මගේ ගම. මේ ඔර්ලෝසු කුලන යටයි ගමටයන බස්එක ඉස්සර නැවත්තුවේ... සිරියාවයි... බූලුමැන්ඩල් පාර මේවගේයි එදා... පැල්පත් නිවාස, අපිරිසිදුකම , උපාල් ආයතනයේ තාප්පයෙන් ඇතුල එදා මේ වගේයි )
ඉතිහාසය සොයායාම හතරවන කොටසට
No comments:
Post a Comment