2016/05/04

අමුත්තන්ගේ සීත කාමරයේදී ( ඉතිහාසය සොයායාම 4 )

උපාලි පුවත්පත් ආයතනයේ හිටපු සම කළමණාකාර අද්‍යක්ෂක ලෙස්ලි ධර්මරත්න, පුධාන කතුවරු එඩ්මන්ඩ් රණසිංහ, දයාසේන ගුණසිංහ )


සීත කරන ලද අමුත්තන්ගේ කාමරයේදී මට දයාසේන ගුණසිංහ මහතා හමුවුණා. ඔහු මනාව ඇද පැලද සිටි අතර ටයි පටියක් සාක්කුවේ දමාගෙන සිටියා.
“ශාන්ත විනාඩියක් ඉන්න. මම රණසිංහ මහත්තයට ඔයා ගැන කියල තියෙන්නේ. දැන් එයි. මම අදුන්නලා දෙන්නම්”
ඔහු කියනවා සමගම ලොකු දොරක් ඇරී එයින් උස මහත මනා පෞරුෂයකින් හෙබි මැදිවියේ මහතෙකු එලියට පැමිණියා. පසු පසට පීරා තිබු කොන්ඩය, මදක් ඉතුරුකර කපා තිබූ උඩු රැවුල සහ කන්දෙකේ වූ කෙස් ඔහු අනිත් අය අතරින් වෙනස් අයෙකු බව පෙන්වා තිබුණා.

“ගුණේ.. මෙයාද මිනිහා. හරි මම යන්නේ මිස්ටර් ධර්මරත්න ලඟට. යමු . මොකද්ද නම කිව්වේ?. ඕ.ඕ. ශාන්ත... නේද? ගෙනාවද අපිට පෙන්වන්න ඇදපුවා එහෙම ?. අධයාපන සහතික එහෙම?. එසේ කියමින්ම රණසිංහ මහතා වෙනත් ගොඩනැගිලක් කරා පියනැගුවා. මා ඔහු පසුපස ගියා.

ලේකම් වරයෙකු යැයි සිතිය හැකි පුද්ගලයෙකු සිටි කාමරය තුළින් තවත් දොරක් හැර රණසිංහ මතා වෙනත් කාමරයකට පිවිසියා. එය ගාම්භිර ලෙස සකසා තිබුණා. ලොකු මේසයක සිටි විශාල මිනිසෙක් කිසියම් වැඩක යෙදිසිටියා. එහු අතින් රණසිංහ මහතාට ඉදගන්නැයි අතින් සන්කළා. මා හිටගෙනම සිටියා. දුරකතනයෙන් ඔහුට බේරීමක් තිබුනේම නැහැ. ඒ අතර කාමරයේ දොරේ ඇති වීදුරුවෙන් එබෙන හැම දෙනාම ඔහු තමන් වෙත කැදවා ගත්තා. උපදෙස් දුන්නා. නියෝග දුන්නාය. බනින අවස්ථාද තිබුණා. ඒ අතර ඔහු රණසිංහ මහතා සමග ඉංග්‍රීසියෙන් කතා කිරීමටත් අමතක කළේ නෑ.
මා සිටිනා බව ඔහුට ගානක් නැහැ. මගේ වැඩේ මෙතැනින අවසන් බව මට සිතුණා. මට දැන් උවමනා මෙතැනි ඉක්මනින් ගැලවිමටයි. තවත් විනාඩි කීපයක් ගතවුණා.

“මිස්ටර් රණසිංහ මෙයා ගැනද අර කිව්වේ”. 

ඔහු මාදෙසට අත දික්කළා. මම මා ඇදි චිත්‍ර සහ සහතික පත් පිරි ෆයිල් එක ඔහු අත තැබුවා. ඔහු ඒවා එකින් එක සැලකිල්ලෙන් බැලුවා. දැන් අර කලබලය නැහැ. 

“කොහොමද මෙච්චර හොදට අදින්න ඉගෙන ගත්තේ?.”
“තනියම සර්...”.
“ඇයි දැන් වැඩ කරන තැන දාල මෙහෙට එන්න හදන්නේ?.”
“සර් මම තාම වැඩකරන්නේ නෑ. ඉස්කොලේ යන ගමන් විනෝදෙට කරන දේවල් ඔවා..”
“ම්..ම්.. එතකොට ඇයි ඒ අයව අත අරින්නේ ?”
මා කෙටියෙන් සුබසිංහ මහතාගෙන් ලැබූ අත්දැකිම විස්තර කළා.
“රණසිංහ මහත්තයගේ හරි ගුණසිංහ මහත්තයට හරි නෑ කමක් එහෙම තියෙනවාද?”
“නෑ සර්..”.
ඔහු මගේ අධ්‍යාපන සහතික පරීක්ෂා කරමින් සිනාසුනා.
“ඇයි මෙච්චර සුදුසුකම් තියාගෙන චිත්‍ර ශිල්පියෙක් වෙන්න හදන්නේ.? මම වෙන හොද රස්සාවක් දෙන්නද?.”
“සර් මට හිතුනා ගමේ ඉදල ආපු කොල්ලට යමක් කරන්න පුලවන් කියල පෙන්වන්න. ඒ නිසා චිත්‍ර ශිල්පියෙක් වෙන්න කැමතියි.”
“කීයක් පඩිය බලාපොරොත්තු වෙනවද?”
“සර් මම ඉසසර වෙලාම තමයි මේ රුකියාවක් සදහා ආවේ.”
මගේ දිව පටලැවෙයි...
ඔහු බිම තිබූ පත්තරයක් ගෙන එහිවු ලිපියක් තෝරා ගත්තා.
“මේක කියවලා ඉලස්ට්‍රේෂන් එකක් කරන්න පුලුවන්ද? මේ දැන්?”
“ඔව් සර්...”

මා අත පැන්සලයක් හෝ කොලයක් නැහැ. මා වට පිට බලනවා දුටු ධර්මරත්න මහතා ඔහුගේ සාක්කවේ වූ කලු පෑනක් සහ ඔහු විසින් පාවිචි කරන “ලෙටර් පෑඩ්” එකට සුදු කඩදාසියක් දා මට දුන්නා. පසුගිය “ඉරිදා සිඵමිණ” පත්තරයේ වූ ඒ ලිපිය මා කියවා තිබුණා. ඒ නිසා වැඩේ පහසු වුණා. මා විනාඩි කීපයක් තුළ චිත්‍රය නිම කළා. ධර්මරත්න මහතාගේ ප්‍රසන්න සිනාව මුනපුරා පිරී ගියා. දම්පාට පැනින් ඔහු එහි යමක් සටහන් කළා.

“හරි මිස්ටර් රණසිංහ... අපි මෙයාව ගමු. ”
“අපි ඔයාව අපේ අවම පඩියේ පිහිටුවනවා. මිටර් රණසිංහ මාස තුනක් බලලා මට රෙකමන්ඩ් කරන්න. අපි සුදුසු පරිදි පඩිය සකස් කරමු.”

එදා ඒ කතාව එතනින් නතර වුණා. රණසිංහ මහතා හා ගුණසිංහ මහතාගෙන් සමුගෙන දින දෙකක නිවාඩුවක් ද ගෙන මා ගමට ගියා. මේ 1981 දීයි. දිවයින තවමත් වෙළඳ පොලට පැමිණ නැහැ.

දින දෙකකට පසු මම නැවත උපාලි ආයතනයට පැමිණියේ එහි ස්ථිර සේවකයෙකු ලෙසයි.

අප මුලින් ම සිටියේ ප්‍රධාන ගොඩනැගිලේ උපාලි විජේවර්ධන මහතාගේ කාමරයට ආසන්නයේ පිහිටි ඔහුගේ ලේකම්වරු සිටි කාමරයේයි. එතනදී රණසිංහ මහතා ගුණසිංහ මහතාට අමතරව දිවයිනේ අනිකුත් සෙනවිවරු මට හදුනා ගැනීමට ලැබුණා. ඔවුන් ටයි පටි පැලද සිටියේ නැහැ. දයාරත්න රණසිංහ, නන්දසේන සුරියආරච්චි, විමල් වීරසේකර, ගාමිණි සුමනසේකර,මෙරිල් පෙරේරා, සුනිල්මාධව ප්‍රෙමතිලක, ධර්මරත්න විජේසුන්දර , උපාලි තෙන්නකෝන් තමයි ඒ යෝධයන්. මොවුන් ලේක්හවුසියේ සිටි පැමිණි අයයි. ඒ දිනයේම හවස අප පහළ ගොඩනැගිල්ලකට යවනු ලැබුවා. එය පත්තරය ගොඩනගන්නන් සදහා සුදානම් කරමින් තිබුණා. ආගිය කතා, අනාගතයේ කරන්ට බලාපොරොත්තුවෙන සැලසුම්, විහිලු කතා අතර කාලය ගෙවී ගියා.

පසුදා අපට ඉදගැනීමට මේස පුටු කීපයක් ලැබුණා. හදිසියේම ධර්මරත්න මහතා අප අතරට පැමිණියා. ඔහුගේ සාකච්ඡාවෙන් අනතුරුව මා දෙස බැලූ ධර්මරත්න මහතා.. 

“ශාන්ත වැඩ පටන්ගත්තාද ?” යි විමසුවා.
“සර්..අපිට පාට, පැන්සල්, ඩ්‍රෙවින්වින් බොඩ්..එහෙම ......”..
මට කතාව අවසන් කිරීමට ලැබුනේ නැහැ.

“ඕනකරන හැම දෙයක්ම ලියාගෙන රණසිංහ මහත්තයාත් එක්ක මගේ කාමරයට විනාඩි පහ‍‍ළොවකින් එන්න.”
ඔහු හැරී ගියා.

ටික වෙලාවක් ගියා. අප දැන් ධර්මරත්න මහතාගේ කාමරයේ.

“මිස්ට රණසිංහ... මේවා නැතිව මෙයාට වැඩකරන්න බෑනේ . අපි අරන්දෙමු. එත් රජකාරි පිලිවෙලට මේවා ‍ගෙන්න ගන්න අපට සතියකට වඩා කාලයක් යනවා. මෙහෙම කරමු...”

ඔහු අසුනින් නැගිට්ටා. කලිසමේ පසුපස සාක්කුවේ තිබු දුඹුරු පැහැති පර්ස් එක ගත්තා. එය දිගහැර ශබ්දයක්ද නංවමින් නිල් කොලයක් ගත්තා. එය මට දික්කලා. චිත්‍රපටියක රගපාන ප්‍රධාන නලුවෙකුගේ රංගන ඉරියව් ධර්මරත්න මහතා වෙතින් මට මැවුණා.
“ශාන්ත දන්නවාද ආයතනයක දී මුදල් පරිහරනය කරන හැටි?”
මම ඔලුව දෙපසට වැනුවා. 

“මිස්ට රණසිංහ ඒ හැම දෙයක්ම කියල දෙයි. ඒ හැම දේම ඉගෙන ගන්න. දැන් මේ සල්ලි අරගෙන පිටකොටුවට ගිහින් ඔය බඩුටික අරගෙන වැඩ පටන්ගන්න. සල්ලි මදිවුනොත් අතින් දාන්න. මම ඒ සල්ලි පසුව ගෙවන් නම්. හැම එකකටම බිලන් ගන්න. ඒවා ගැන මිස්ට රණසිංහ ශාන්තට කියල දෙයි. හරි ගුඩ්ලක්.”
ලෙස්ලි ධර්මරත්න, එඩ්මන්ඩ් රණසිංහ )

ඉතිහාසය සොයායාම පස්වෙනි කොටසට

No comments:

Post a Comment