2013/09/19

සියුම් කලාවන් පිළිබඳ රටේ අවධානයක්‌ නැහැ - ශාන්ත කේ. හේරත්


සියුම් කලාවන් පිළිබඳ රටේ අවධානයක්‌ නැහැ

ශාන්ත කේ. හේරත්


පොත් කවර කිරීම නිර්මාණාත්මක කලාවක්‌ වන්නේ කෙසේද?

'නිර්මාණයක්‌' නම් එය කලාව හා බැඳෙනවා. නිර්මාණයක්‌ නම් එය අපට හුරු පුරුදු - සුලබ, පොදු අත්දැකීමක්‌ වන්නේ නැහැ. ඇතැම් විට සුලබ, පොදු අත්දැකීමක්‌ නොසිතූ ආකාරයකට අපේ අවධානය වෙනස්‌ කරනවා නම්, ආකර්ෂණයට පත් කරමින් අපේ සිතුවිලි ධාරාවට නව අරුතක්‌ ගෙන එනවා නම් එතන නිර්මාණයක්‌ බිහිවෙනවා. ඒ නිර්මාණය කලා කෘතියක්‌. කලා කෘතියක්‌ බිහිවන්නේ නිර්මාණාත්මක අදහස්‌ උදහස්‌ ගොන්නක්‌ සංකලනයවී අපූර්වත්වයකින් යුතුව යි. එම බිහිවීම තුළින්a පාඨක නැතිනම් සහෘද සිතුවිලිවලට කිසියම් ආකාරයක බලපෑමක්‌ කළ හැකියි. එය අලුත් සිතුවිලි පරාසයකට යොමු කිරීමක්‌ තිගැස්‌මක්‌, කෝපයක්‌ හෝ විශ්මයක්‌ද විය හැකියි.

මේ ආකාරයේ උත්තේජනයක්‌ කිසියම් කටයුත්තකින් සිදුවෙනවා නම් එහි කලාත්මක ගුණයක්‌ ගැබ්වී තිබෙනවා යෑයි මා විශ්වාස කරනවා. එවැනි ගුණයක්‌ සහිතවූ දෙයෙහි නිර්මාණාත්මක බව අඩංගුයි. එය පොත් කවරයක, කැන්වසය මත ඇඳි චිත්‍රයක, ඡායාරූපයක, මූර්තියක, නාට්‍ය දර්ශනයක, චිත්‍රපටයක හෝ වෙනයම් ඕනෑම මාධ්‍යයක විය හැකියි.

මෙවැනි ගුණයන් පොත් කවරයක තිබේ නම් එය පොත් කවර නිර්මාණයක්‌. නමුත් සුලබ අත්දැකීම් සහිතව, හුදෙක්‌ වාණිජ පරමාර්ථ උදෙසා කෙරෙන පටු රාමුවක්‌ තුළ බිහිවෙන දේ තුළ කලාව, නිර්මාණය දැකිය නොහැකියි. එම නිසා පොත් කවර යනු නිර්මාණාත්මක කලාවක්‌. සුලබ පොත් කවර නිෂ්පාදනය කලාවක්‌ නොවේ.

කෘතියක පෙර වැසුම අදාළ කෘතියේ අන්තර්ගතයට කරන බලපෑම මොනවගේද?

පාඨක අවධානය අනෙකුත් පොත් අතරින් ක්‌ෂණිකව ඇද බැඳ තබා ගැනීමට කෘතියක පෙර වැසුම වැදගත්. එසේ ආකර්ෂණය කරගන්නා අතර අපේ අත්දැකීම්, හැඟීම් ඒ සමග බැඳ ගන්නවා. එය අපට නුහුරු බව හෝ අපි නොදන්නා හුරුවක්‌ සිහිවීමක්‌ විය හැකියි. එවැන්නක්‌ කිරීමට සමත් නිර්මාණයක්‌ බිහිකිරීමට කෘතියේ අන්තර්ගතය සෘජු බලපෑමක්‌ කරනවා. කෘතියකට කවරයක්‌ නිර්මාණය කරනවා යනු මිනිසෙකුට ඇඳුමක්‌ මහනවා වගේ ක්‍රියාවක්‌. කෘතියේ ඇති නිර්මාණාත්මක බව,කෘතියේ අංග කවර නිර්මාණ ශිල්පියාට තම ඇඳුම නිර්මාණය කිරීම සඳහා බලපෑමක්‌ කරනවා. කෘතියේ අඩංගු කරුණු හරහා එහි ඇති නැවුම් බව නිර්මාණාත්මක බව ඇඳුම නිර්මාණය කරන්නාගේ සිතුවිලි හරහා ගමන් කෙරෙන ප්‍රතිනිර්මාණයයි කලා කෘතියක්‌ හරහා බිහිවන්නේ.

යම් කතුවරයෙක්‌ මට අඬන කාන්තාවක්‌, කාමය පිරුණු රූපයක්‌ සහිත කවරයක්‌ නිර්මාණය කර දෙන ඉල්ලා සිටි විට, අන්තර් ජාලය හරහා එවැනි පින්තූරයක්‌ තෝරාගෙන කවරයට ගෙනත් එය තම නිර්මාණයක්‌ යෑයි සටහන් කිරීම සදාචාරාත්මක නැහැ. එය කලාවක්‌ වෙන්නෙත් නැහැ. පොතේ අන්තර්ගතයට ඉන් සාධාරණයක්‌ වෙන්නේ නැහැ. නිර්මාණ, කලාකෘති යන අර්ථයෙන් අප සාකච්ඡා කළොත් ඒවා නිර්මාණාත්මක නැහැ.

පාඨකයකුට යම් කෘතියක අන්තර්ගතය පිළිබඳ පූර්ව මිනුම් දණ්‌ඩක්‌ ලෙස එම කෘතියේ පෙර වැසුම භාවිත කළ හැකි බවද ඔබ පවසන්නේ?

ඔව්. උදාහරණයක්‌ වශයෙන් අපේ සමාජයේ පොලිස්‌ නිලධාරීන් වෙනම නිල ඇඳුමක්‌ තිබෙනවා. සෑම ආගමකම පූජකවරුන්ට වෙනම ඇඳුමක්‌ තිබෙනවා. සාමාන්‍ය මිනිසුන් ඒ ඇඳුම් අඳින්නේ නැහැ.

සාමාන්‍ය මිනිසුන් ගේ පවා ආගමික, සංස්‌කෘතික, අධ්‍යාපනික මෙන්ම ඔවුන්ගේ ගති පැවතුම් හා අනෙකුත් මානුෂික සමාජයීය ගති ලක්‌ෂණ ඔවුන්ගේ ඇඳුමින් බොහෝවිට නිරූපණය වෙනවා. පොතක්‌ සජීවී නම්, එය උසස්‌ කෘතියක්‌ නම්, එය මානව සමාජය නියෝජනය කරන්නේ නම්, ඔබේ ප්‍රශ්නයට 'ඔව්' යෑයි නැවතත් පැවැසීමට මා මැලිවන්නේ නැහැ.

යම් කෘතියක අලෙවිය සඳහා එම කෘතියේ කවරය සෘජුවම බලපෑමක්‌ කරන බවද ව්‍යංගයෙන් ඔබ අඟවන්නේ...

නොයෙකුත් අයට විවිධ මත පළ කළ හැකියි. ඒ, ඒ අයගේ වාසිය පිණිසයි. නමුත් සාධාරණව, මධ්‍යස්‌ථව බැලුවොත් මම ඉහත දැක්‌වූ උදාහරණය සාධාරණයි. යම් පුද්ගලයකුගේ පෞරුෂය ඔහුගේ ඇඳුමින් නිරූපණය වෙනවා. එසේ නොවන අවස්‌ථාවනුත් තිබිය හැකියි. එතැන තිබෙන්නේ විකෘතියක්‌. කෘතියක අඩංගු ගැඹුර කවරය තුළින් යම් ප්‍රමාණයකින් හෝ ප්‍රතිනිර්මාණය වනවා නම් එය පොත මිලදී ගැනීමට හෝ රස විඳ ගැනීමට එය උත්තේජකයක්‌ වෙනවා.

ඔබ යම් කෘතියකට කවරයක්‌ නිර්මාණය කිරීමේදී අනුගමනය කරන ක්‍රමවේදය කුමක්‌ද?

පළමුව කවරය නිර්මාණය කරන කෘතිය මා කියවිය යුතුයි. දෙවනුව කවරය නිර්මාණය කිරීම සඳහා මට පූර්ව නිදහස අවශ්‍යයි. අවසාන වශයෙන් කවරය නිර්මාණය කරන්නේ පිනටද, ඒ සඳහා මට මුදලක්‌ ලැබෙනවාද යන්න දැනගත යුතුයි. ඒ අපි නිර්මාණය කිරීම සඳහා අමුද්‍රව්‍ය නිෂ්පාදන වියදමක්‌ දරන නිසා.

ඔබ එහිදී කෘතියේ කතුවරයාගේa අදහස්‌ පිළිබඳ අවධානය යොමු කරන්නේ නැද්ද?

විෂය පිළිබඳ නොදන්නා බාලයකුට නම් එලෙස උපදෙස්‌ අවශ්‍ය විය හැකියි. නමුත් වෘත්තිකයකුට කෘතියේ තිබෙන දේ පිළිබඳ පවසා කතුවරයාට අවශ්‍ය දේ මෙය යෑයි පැවැසීම ඔහුගේ නිර්මාණාත්මක බව අහුරා දැමීමක්‌. ඇතැම් විට ලේඛකයා ඔහුට අදාළ විෂය, කෘතිය පිළිබඳ හසළ දැනුම ඇති අයෙක්‌ විය හැකියි. නමුත් අද අපට හමුවන මෙවැනි ප්‍රවීණයෝ තමුන්ගේ විෂය හැර අනෙකුත් විෂයන් පිළිබඳ මනා අවබෝධයක්‌ ඇති අය නොවෙයි. ඒ බව ඔවුන්ගේ ක්‍රියාකලාප තුළින් අපට වැටෙහනවා. චිත්‍රය පිළිබඳ, එහි ශිල්ප ක්‍රම පිළිබඳ කිසිදු අවබෝධයක්‌ නැති අයෙක්‌ එම විෂය පිළිබඳ අවවාදදීම, බලපෑම් කිරීමට යාම වෛද්‍යවරයකු ළඟට ගිහින් තමන්ට තිබෙන රෝගය සහ අවශ්‍ය බෙහෙත් පිළිබඳ පවසනවා වගේ වැඩක්‌.

සැබෑ පරිනත උගතුන් අතින් මේ වැරැද්ද සිදුවෙන්නේ නැහැ. කතුවරයා සමග කෘතියේ අන්තර්ගත පිළිබඳ සාකච්ඡා කිරීම වැදගත්. නමුත් ශිල්පියා පොත කියවනවා නම් කර්තෘගේ බලපෑම සිය දහස්‌ වාරයක්‌ ශිල්පියාට ලැබෙනවා. ප්‍රශ්නය අද පොත් කවර කරන බොහෝ දෙනා අදාළ කෘතිය කියවන්නේ නැහැ. කර්තෘගේ හෝ පොත් ප්‍රකාශකයා පවසන දේ එලෙසින්ම කරනවා. කවරයේ තිබෙන දේ පොතේ අන්තර්ගතයට කිසිදු සම්බන්ධතාවක්‌ නැහැ. එහිදී වෙන්නේ අක්‌කා පෙන්නලා නංගී දීමේ න්‍යාය. කෘතියේ තිබෙන කාමුක චිත්‍රයෙA, පින්තූරයේ රසය බලාපොරොත්තුවෙන් පොත මිලදී ගන්නා පාඨකයාට එම රසය නැතිව බොහොම ගැඹුරු සාහිත්‍ය රසයක්‌ නම් එම කෘතියේ අන්තර්ගතවෙන්නේ ඉන් පාඨකයා අතරමං වෙනවා. ඒ වගේම කර්තෘ බලාපොරොත්තු වන පාඨකයාට එම කෘතිය යන්නේ නැහැ.

ඔබ නිර්මාණය කරන පෙරවැසුම නිරූපණය කරන්නේ අදාළ කෘතියේ අන්තර්ගතයේ සාරාංශයද?

සෘජුවම එයට ඔව් හෝ නැහැ යෑයි පැවැසිය නොහැකියි. උදාහරණයකට මිනිසෙක්‌ ගත්තොත් ඔහු බැලු බැල්මට අහිංසක විය හැකියි. නමුත් ඇසුරු කිරීමේදී ඔහු භයානක විය හැකියි. නිර්මාණයකදී නිර්මාණකරුවා ඇසින් දකින දේ ඒ ආකාරයට ඇඳීම තුළ ගැටලු ඇතිවෙනවා. ඒ නිසයි අත්දැකීම් ඇති නිර්මාණකරුවෝ තම අභ්‍යාසය තුළින් ලබාගත් උපාය මාර්ග තම ප්‍රකාශන මාධ්‍යයට එකතු කරගන්නේ. කෘතියේ ඇති රසය විඳගෙන එහි අන්තර්ගතය නිරූපණය වන සංකේතාත්මක නිර්මාණයක්‌ නම් මම හිතනවා එහි කලාවක්‌ ගැබ්විය හැකි බව.

ඔබ නිර්මාණය කරන පෙරවැසුම් නිර්මාණවල දැකිය හැකි පොදු ලක්‌ෂණය නම් ඒවා බොහෝ දුරට සංකල්පරූපී වීම. එවැනි නිර්මාණ තේරුම් ගැනීමට තරම් පැසුණු පාඨක සමාජයක්‌ අද පවතිනවා යෑයි ඔබ සිතනවාද?

ඔව්. ඥනයක්‌ තිබෙන පාඨක පිරිසක්‌ අපට ඉන්නවා. නැතිනම් මෙතරම් කෘති ලියවේවිද? මුද්‍රණය වෙයිද? පොත් උත්සව තිබෙයිද? ප්‍රශ්නය මේ මිනිසුන්ට තිබෙන ඥනයට ගැළපෙන, ඊට ගෞරවයක්‌ ලබාදෙන ඊට සරිලන නිර්මාණ බිහිවෙනවාද කියන එකයි.

බොහෝ පණ්‌ඩිතයන් සිතන්නේ ඔවුන්ගේ දැනුම් මට්‌ටමට පහළින් ජනතාව සිටින බවයි. ඔවුන්ට වැරැදුණේ එතනයි. මෙවැනි අදහස්‌ දරන්නන්නේ දැනුමේ ප්‍රමාණය විවෘතව ප්‍රදර්ශනය වන බව ඔවුන් දන්නේ නැහැ.

අද්‍යතනයේ සාහිත්‍ය සම්මාන උළෙල කෙතරම් පැවැතුණත් පොත් කවර කිරීමේ කලාව පිළිබඳ කිසිවකුගේ අවධානයක්‌ යොමුවී නැහැ. එය ප්‍රධාන සාහිත්‍ය ධාරාව තුළ සාකච්ඡාවට බඳුන්වන්නේ නැහැ...

ඔව්. ඊට හේතුව එය කලාවක්‌ වශයෙන් ඉස්‌මතු නොවීමයි. එසේ මතු නොවීම හෝ නොකිරීම සිදුවෙන්නේ මා ඉහත සඳහන් කළ පණ්‌ඩිතයන් ක්‍රියා කලාපයයි. පොත් හොඳයි පවසන, සම්මාන දෙන පොත් නිෂ්පාදනය කරන අයට උපදෙස්‌ දෙන කළ යුතු නොකළ යුතු දේ ගැන කියාදෙන පණ්‌ඩිතයින් ටික දෙනකු තමයි මේ හැම දේම තීරණය කරන්නේ. ඔවුන්ට අභියෝග කරන්න හෝ එය සිදුවිය යුතු ආකාරය පහදා දෙන්න පෞරුෂයක්‌ තිබෙන අය අද අඩුයි. සිටියත් ඔවුන් නිහඬයි. ජ්‍යෙෂ්ඨත්වය හෝ සිවිල් බලය මත ලබාගත් තමන්ගේ පණ්‌ඩිතකමට පහළින් අනෙක්‌ සියලු දෙනාම සිටින බවයි ඔවුන් සිතන්නේ.

මේක අපේ රටේ නිර්මාණාත්මක කලාවට බරපතල බාධාවක්‌. මේ බාධාව දකින අය, කතා කරන අය, ලියන අය බොහෝ දෙනකුට මේ ප්‍රශ්නය විසඳිය හැකි බලයක්‌ ලැබුණු විට ඔවුන් පවා ක්‍රියා කරන්නේ වැරැද්ද නිවැරැදි කිරීමට නොවේ. පවතින වැරැද්ද පවත්වාගෙන යැමට අනුබලය, ශක්‌තිය දීමටයි. සියුම් කලාවන් කෙරෙහි අපේ රටේ ඇති තත්ත්වය කණගාටුදායකයි.

සංවාදය - ලක්‌මාල් බෝගහවත්ත
ඡායාරූපය - සුජාතා ජයරත්න

2013/09/18

ගියා.....






                                                               ගියා.....

2013/09/02

එක මලක නොවෙයි, මල් යායක සිරස නැමෙයි.........






එක මලක නොවෙයි,
මල් යායක සිරස නැමෙයි...


කුමාරතුංගයන්aගේ අගය පිළිබඳව, රත්න ශ්‍රී පද ගෙත්තමක්‌ කළේ එසේය. එය උත්තම පුරුෂ ගණයට වැටෙන ඕනෑම ගුරුවරයකුට ඔබිනේය. දෙමව්පියන්ට වැඩිම වුවහොත් දරුවන් දෙතුන් දෙනෙකි. පෙර කාලේදී හය හතකි. නමුත් ගුරුවරයාට දරුවන් දහස්‌ ගණනකි. ඒ දරු මල් රටට පුබුදා දෙන්නේ ගුරුවරුය. ඒ ගුරු කාර්යය වෙනුවෙන් මල් යායකම සිරස යම් දිනෙක නැමෙනු ඇත.

මොරටුව වේල්ස්‌ කුමර විදුහල ඔහුගේ අසපුවය. විශ්‍රාම ගොසින් වසර විසිපහක්‌ පමණ ගතවී තිබුණත් පාසල් නිවාඩු කාලය ද එළැඹී තිබුණත් වේල්ස්‌ කුමර විද්‍යාලයේ චිත්‍ර පන්තියේ ඔහු හිඳගෙන සිටියි. අප ඔහු හමුවීමට යන්නේ කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරවය. එනමුත්, අපට වර පතක්‌ නැතිවද නොවේ. ඔහුගේ චිත්‍ර, මූර්ති ශිෂ්‍යයකු වන ශාන්ත කේ. හේරත් අප සමග මේ ගමනට එක්‌ වී තිබේ. තමා කුඩා කල පැමිණි පාසලට ශාන්ත කේ. හේරත් අපව කැඳවාගෙන යන්නේ ආඩම්බරයෙනි. චිත්‍ර පන්තියට යන මග මුලින්ම පෙනෙන්නේ, වේල්ස්‌ කුමර සහ වේල්ස්‌ කුමරි විදුහල්වල සමාරම්භක ශ්‍රීමත් චාර්ල්ස්‌ හෙන්රි ද සොයිසාගේ තරමක්‌ විශාල පිළිමයකි. "මේක හැදුවේ තිස්‌ස සර්...."

තව අඩි කිහිපයක්‌ ගිය තැන විදුහලේ බුදුමැදුරය. එය නෙළුම් මලක්‌ මතින් ගොස්‌ බුදුන් වඳිනු පිණිස මෙන් සාදා තිබේ. බුදු පිළිම වහන්සේගේ සිට ඒ සියල්ලේම නිර්මාණකරුවා තිස්‌ස සර් බව ශාන්ත කේ. හේරත් අපට කියන්නේ අභිමානයෙනි.

අප චිත්‍ර පන්තියට පිවිසියෙමු. ඒක චිත්‍ර පන්තියක්‌ පමණක්‌ නොවේ. මූර්ති, නාට්‍ය, කැටයම් ආදී බොහෝ දෑ එහි තිබේ. තිස්‌ස ගුණවර්ධනයන්... චිත්‍ර පන්තියේ ප්‍රතාපවත් --- හා පුටුව සමග සුහදශීලී සිනහවෙන් හිඳියි. මීට ටික කලකට පෙර නිව්යෝර්ක්‌ සිටි චිත්‍රපට උළෙලේදී ලෝකයේ හොඳම නළුවා ලෙස සම්මාන ලැබූ ජගත් චමිලට, නර්තන අත්පොත තබන්නේ තිස්‌ස ගුණවර්ධනයන්ය. වසර එකොළහක්‌ පිට පිටම රාජ්‍ය පාසල් නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය නිර්මාණය කරන්නේ තිස්‌ස ගුණවර්ධනයන්ය. හුදී ජනයා අතර ප්‍රකට නැතුවා වුවත්, යෞවනයන්ගේ ලෝකයේ ඔහු පරසිඳුය. අපගේ පාසල් ගුරු නොවූවද ඒ ගුරු පියාණන්ට අපද දන නමැද වැන්දෙමු.

මල් යායකම සිරස නැමෙයි... යන්න ඔහු විෂයෙහි වටින්නේ ඒ හෙයිනි.

තිස්‌ස ගුණවර්ධනයන් ක්‍ෂේත්‍ර ගණනාවක හැකියාවක්‌ සහිත කලාකරුවකු, ගුරුවරයකු ලෙස වත්මන් සිංහල කලා ක්‍ෂේත්‍රයට 'චරිත' ගණනාවක්‌ ද බිහිකර දෙන ලද්දේය.

පැසුණු හිසින් බුහුමන් ලබන තිස්‌ස ගුණවර්ධනයන්ගේ දුක සැප බලන්නට තොරතුරු විමසන්ට ඕනෑතරම් ගෝලයෝ සිටිති. සහෘදයෝ සිටිති. ඔහු සමග අපගේ අද කතා බහා ගැලපෙන්නේ එවැනි පාර්ශ්වයකින් නොවේ. ඔහුට තනිකඩයා යන නම ගැලපෙනවාද? නැද්ද ප්‍රශ්නයකි. නමුත් පවුල් කාරයකු නොවූ නිසා කියනා, තනිකඩයා යන වචනාර්ථය අනුව ඔහු තනිකඩයෙකි. තමන්ගේ ජීවිතයේ ඔහු වැඩිම කාලයක්‌ ගෙවූ තැන, වේල්ස්‌ කුමර විදුහලේ චිත්‍ර පන්තිය තිස්‌ස ගුණවර්ධනයන්ගේ තනිකඩ අසපුව ලෙස ගනිමින් ඔහු සමග අපේ කතාබහ ඇරඹුවෙමු.



ඔබ කලාකරුවෙක්‌, නිර්මාණකරුවෙක්‌ පමණක්‌ නොවෙයි, පරපුරක්‌ තනපු කෙනෙක්‌. නමුත් පුද්ගලික ජීවිතයේදී ඔබ, විවාහය කියන කඩඉමට ළඟා වුණේ නැහැ. තනිකඩයකු ලෙසයි ජීවිතය ගෙවන්නේ.....

මට ඇත්තටම තනිකඩකමක්‌ දැනෙන්නේ නැහැ. මගේ අයියගේ පුතාගේ දරුවෝ දෙන්නා තමයි, මගේ තනිකඩකම ගෙදරදී මකන්නේ. ඒ දෙන්නත් එක්‌ක මම බොහෝම ප්‍රබෝධයෙන් ගෙදර ජීවිතය ගත කරනවා. කොහොමටත් මම නිර්මාණයක යෙදෙනවා නම් මට කිසි දෙයක්‌ මතක නැහැ. ඒක මට ඉබේම සිද්ධ වෙන දෙයක්‌. කොහොමටත් හැම වෙලේම මම ඒ වගේ නිර්මාණයක්‌ ගැන හිත යොදවනවාමයි. නාට්‍යයක්‌ ලියනකොට, මූර්තියක්‌ හදනකොට... ගෙදර යනවද... නැද්ද... ගෙදරක්‌ තියෙනවද... කියලවත් මට හිතෙන්නේ නැහැ. ඒ සතුට තමයි මම විඳින්නේ. ඒ නිසා හැම වෙලේම මම සතුටින් ඉන්නවා. කවුරු හරි ඔහොම ඇවිල්ලා ඇහැව්වොත්... ඒ වගේ වෙලාවට මට තනිකඩ කම ගැන මතක්‌ වෙනවා.

තනිකඩයෙක්‌ ලෙස ජීවත්වෙනවා... කියන එක ඔබ ගත්ත තීන්දුවක්‌ද? නැතිනම් එය ජීවිතයේ ගලායන හැටි කියලද හිතෙන්නේ...

තරුණ කාලේ මම එහෙම තීන්දුවක හිටියේ නැහැ. බඳිනවාද තනිකඩව ඉන්නවාද කියන දේවල් එතරම්ම ලොකු මාතෘකා බවට පත් වුණේ නැහැ. ඒ අවස්‌ථාවල් පසු කරගෙන එනවිට ඒක ඉබේම එහෙම වෙලා තියෙනවා. ඒකේ දුකක්‌, වේදනාවක්‌ නැහැ...

ගුරුවරයකු ලෙස පාසල් ප්‍රේමය සම්බන්ධයෙන් ඔහු දැරූ මතය කුමක්‌දැයි අපි නොදනිමු. පුද්ගලයකු ලෙස ඔහුගේ ප්‍රේමය ගැන කතාව ඇරඹිය යුත්තේ එතැනිනි. ඔහුගේ මේසය ඉදිරියේ ඔහු විසින් වැඩ නිමකරමින් තිබෙන විශාල සිතුවමකි. එම සිතුවමේ දැක්‌වෙන්නේ, එකිනෙකා ප්‍රේමයෙන් වැළඳගෙන සිටින නව යෞවන යුවළකි. ඒ යෞවන අත්දැකීම, ඔහු සතු නොවූවක්‌ද...?

එහෙම ලොකු සම්බන්ධකම් කියලා දේවල් පාසල් කාලයේ ඇති වුණේම නැති තරම්.. ඇති වෙච්ච දේවල් ගැනත් ඒ තරම්ම තැකීමක්‌ තිබුණේ නැහැ කියන්න පුළුවන්. එහෙම කෙනෙක්‌ ළං කරගෙන ජීවිතය ගෙන යන්න මට බයක්‌ තිබුණා. එහෙම කරන එක මහා ප්‍රශ්නයක්‌ කියලා මට හිතුනා. මම නිදහස ගැන ටිකක්‌ කල්පනා කළා. ඒකෙන් මගේ නිදහසට කරදරයක්‌ වෙයි කායලා, මට හිතුනා. මම ජීවිතය ගෙනියන විදිහ ගැන සතුටිනුයි හිටියේ. ඒ නිසා ඒ සතුටට බාධාවෙන, නිදහස නැති වෙන දෙයක්‌ වෙයි කියන බයත්, මට එතැනදී ඇති වුණා. වයස අවුරුදු පහළොව දහසය වෙන කොටම මට මේ අදහස්‌ ඇති වුණා.

තිස්‌ස ගුණවර්ධනයන්ගේ තනිකඩකමේ තර්කය ගෙනෙන්නේ එලෙසිනි. පුටු ඇඳි මතට බර වෙමින්, සැහැල්ලු සිනහවක්‌ සහිතව ඔහු කතාව කියාගෙන යයි. ප්‍රශ්නාවලියක්‌ ඉදිරිපත් කරන තරමට තනිකඩකම ගැන අපට කතාවක්‌ තිබුණද, ඔහුට තනිකඩකම යනු ගලායන ජීවිතයමය.

ඔබට තනිකඩකම එසේ විය හැකි වුවත් දෙමව්පිය, ඥති සමාජය එය එලෙසම නොදකිනවා විය හැකියි. ඒ නිසා විවාහය සම්බන්ධයෙන් පවුලෙන් බලපෑම් එල්ල වෙනවා....

ප්‍රශ්නයක්‌ ලෙස එය අසන විටම ඔහු සිනහ වෙමින්.. අත වනමින්...

"නැහැ... නැහැ... එහෙම ඒවා මට ආවේම නැහැ. ඒ අය මට ඒ වගේ ඒවා කිව්වේම නැහැ. පවුලෙන් තියා පිට අයගෙන්වත් මට එහෙම බලකිරීම්, ආවේ නැහැ.

ඒ කියන්නේ... ඔබගේ විදිහ දන්න අය හිතුවද ඔබ තනිකඩව ඉන්න එක හොඳයි කියලා....

එහෙම හිතුවද දන්නේ නැහැ... ඒත් ඒ අය විවාහය වගේ විෂයක්‌ කතා කරනකොට මාව අතඇරලයි කතා කළේ.

නිර්මාණකරුවාගේ විෂය ප්‍රේමය... ඔහුගේ නිර්මාණවල උල්පත විරහව... ආදී ලෙසයි... සාමාන්‍යයෙන් කතා කරන්නේ ඔබගේ නිර්මාණ ලෝකයේදී ස්‌වීය අත්දැකීමක්‌ වුණු ප්‍රේමයක්‌ නැති තරම්ද....

මම ඒක හිතෙන් මවාගෙන විඳිනවා.. එහෙම අත්දැකීමක්‌ ඇත්තෙත් නැහැ... නිර්මාණවලදි මම ප්‍රයෝජනයට ගන්නේ එහෙම මවා ගත්ත දේවල්.

ඔහුගේ ප්‍රේමය, පරිකල්පනයකි. තවත් නිර්මාණයකි. එතැනින් එහාට ඔහු ප්‍රේමය විඳ ඇත්තේ නැති තරම්ද? තිස්‌ස ගුණවර්ධනයන්ගේ පිළිතුරු අසමින් සිටින විටම සිතට ඒ අදහස්‌ නැගඑයි....

මොනරවිල නාට්‍යයේදී මම ඒ වගේ කල්පනා කරලා... ආදරය ගැන නිර්මාණ කළා. මගේ එක ගෝලයෙක්‌ බඳින්නේ නැතිවම හිටියා. මම එයා දිහා හොඳට බලාගෙනයි හිටියෙත්. ටික දවසක්‌ ගිහිල්ලා... එයා මට ඇවිල්ලා කිව්වා... "සර්, මම බැන්දා" කියලා. මට පුදුම හිතුනා. එයාට ඒ වගේ වගකීමක්‌ කරගෙන යන්න පුළුවන්ද කියලා... නිදහස නැතිවීම දරාගන්න පුළුවන්ද කියලා... ඒ වුණාට අද එයා හොඳින්ම ඒ කටයුතු කරගෙන යනවා.... එතකොටත් මට හරි සන්තෝෂයි. මං ගාවට එන ගෝලයෝ... තමන්ගේ බිරිය, ළමයි එහෙම එක්‌කගෙන සතුටින් ඉන්නවා පේනකොට මට හුඟක්‌ සතුටුයි.

ඔහු වැන්නෙකුගේ ගෝලයෙකු වීමට තිබුණා නම් හොඳයි කියා සිතෙන්නේ... ඔහුගේ කලාගාරය දකින විටය. එය මා හැඟි දර්ශනයකි. කටවුට්‌, නිර්මාණය වෙමින් පවතින චිත්‍ර, මූර්ති ඇතුළු ඒ කාමරය, පාසලක චිත්‍ර ශාලාවකට වඩා සරසවියක අධ්‍යයනාංශයක්‌ වැනිය. එවන් පරිසරයක තිස්‌ස ගුණවර්ධනයන්ගෙන් යමක්‌ ඉගෙන ගත්තා නම් යෑයි සිතුනත්... එසේ වූවා නම් විවාහය වැනි පෞද්ගලික මාතෘකාවක්‌ ගැන මෙසේ ඇසීමේ වරම අහිමිවීමට එයම හේතුවන්නට පුළුවන. ඒ අවසරයෙන් අප අසා දැනගත් දෙයක්‌ ගැනද ඔහුගෙන් විමසුවෙමු.

ඔබටත් හොඳ දැනෙන ප්‍රේම සම්බන්ධයක්‌ තිබුණා යෑයි කතාවක්‌ අප අසා තිබෙනවා. එය බිඳ වැටීමෙන් පසු ඔබ ප්‍රේමය, විවාහය ගැන සිතුවේම නැති බවත් කියවුණා. ඒ කතාවේ ඇත්තක්‌ තියනවාද....

එහෙම එකක්‌ තිබුණා. ඒක ඇත්ත... මහ හයියෙන් හිනා වෙමින් ඔහු පිළිතුරු දීම ඇරඹුවේය.

මුල් දවස්‌වල ඒක හරිම සුන්දරයි. ඒත් මං වැඩ කරන විදිහ බලාගෙන එයාට ඉන්න බැරිවුණා. පස්‌සේ වෙනකොට එයාට මාව කරදරයක්‌ වගේ පේන්න ඇති. ඒ එක්‌කම මම ඒක අතහැරලා දැම්මා....

පිකාසෝටත් ඔය වගේ වැඩක්‌ වුණා. මිනිහා බැන්දේ වයසට ගිහිල්ලා... තරුණ ගැහැනු ළමයෙක්‌... ඉතිං.... මුල් දවස්‌වල ඒ ළමයා පිකාසෝට ආදරේ කළා... පස්‌සෙ.. පස්‌සේ... පිකාසෝව ඒ ළමයට ඇල්ලුවේ නැහැ. පිකාසෝගේ උනන්දුව තියෙන්නේ කලාවට මිසක්‌ පවුලට නෙවෙයි කියන එක ඒ ළමයට තේරුණා. ඊට පස්‌සේ ඉතිං... රණ්‌ඩු තමයිලු....

විවාහයේ නීරස අත්දැකීමක්‌ කලාව ඇසුරෙන් ඔහු අපට පහදා දෙයි. ඒ ගුරුවරයකුගේ ශෛලියෙනි. ඒ අතරතුර කතා බොහෝ දුර ගමන් කළේය. ළමා නාට්‍ය අත්දැකීම් අලුතෙන් ඔහු විසින් සිතුවමට නඟන සූනියම් දේවියන්ගේ චිත්‍ර වැනි දේ ඔහුගේ නවතම නාට්‍ය සිතුවිල්ල වී ඇති රාවණා කතාව වැනි දේ ඒ තුළ අන්තර් ගත විය. අප ඔහු සමග ගත කළ හෝරා ගණනින් වැඩිහරියක්‌ ගෙවී ගියේ තනිකඩකම ගැන කතාවටය.

ශාන්ත කේ. හේරත් සහෘදයාද කතාවේම කොටස්‌කරුවෙක්‌ වී සිටියි. ගුරු ගෝල සම්බන්ධය දෙදෙනා විසින් මානව නඩත්තු කර තිබෙන බව පෙනෙන්නේ, අවබෝධයකින් යුතුව හරි හරියට කියන කතා අනුවය.

අපි උදේට පන්තියට එනකොට සර් චිත්‍ර පන්තියේ ඉන්නවා. ඉස්‌කෝලේ ඇරුණාම ඊළඟට ළමයි එනවා නාට්‍ය පුරුදු වෙන්න. ඒ අතර අපි ඉඳගෙන චිත්‍ර, මූර්ති වැඩ, හැන්දැවේ හයට විතර අපි යනකොටත් සර් පන්ති කාමරේ... සර්ට එන යන වෙලාවක්‌ විවේකයක්‌ තිබුණේම නෑ....

ශාන්ත කේ. හේරත්ගේ මතකය අනුව බලනවිට උත්තම ගුරුවරයකු ලෙස ඔහු කළ සේවයද ඔහුට තනිකඩ ජීවිතයක්‌ ඉතිරි කර තිබේ. තනිකඩ ජීවිතය යනු විවාහ නොවන්නට පර්යාය පදයක්‌ නම්, එය තිස්‌ස ගුණවර්ධනයන් විෂයෙහි භාවිතය අවුලක්‌ නැත. නමුත් ඔහු තනිකඩ නැතිවා මෙන්ම පාළුවක්‌ කාන්සියක්‌ද නැති යෞවනයකු තවම ජීවිතය ගත කරයි.

වෙනදා අප ගිය තනිකඩ අසපුව වෙනුවට ඔහු චිත්‍ර, මූර්ති පිරිවරාගත් කලාගාරයක වැඩ කරමින් සිටියි. එහි කිසිම තනිකඩකමක්‌ නැත."මට වේලාවක්‌ තිබුණේම නෑ කියන්නත් පුළුවන්. තියෙන හැම වෙලාවකම මොකක්‌ හරි වැඩක්‌ කළා. රෑට ගෙදර ගියාමත් එහෙමයි. ඇඳට ගියහමත් එහෙමයි. ඇඳේ ඉඳනුත් කල්පනා කළේ නාට්‍ය ගැන... මූර්ති ඒ කාලේ මම සිගරට්‌ බොනවා. ඇඳේ ඉඳන් සිගරට්‌ එකක්‌ බොන ගමන්.. කල්පනා කරලම නින්ද ගියා... සිගරට්‌ එකෙන් මෙට්‌ටෙත් ගිනි ගත්තා... දුමට යන්තම් ඇහැරුණා.. තව ඩිංගෙන් මාත් පිච්චෙනවා.

සිරියහන ගැන ඔහුගේ අත්දැකීම් තිබෙන්නේ එබඳු තැනකය. අපි ඔහුගෙන් විරාමයක්‌ පැතුවේ, යළි හමුවෙන්න අවස්‌ථාවක්‌ ඉල්ලමිනි. ඒ සඳහා අවසරද ඔහුගෙන් අපට ලැබිණි.

පැමිණෙන විට ඔහු අපට ප්‍රශ්නයක්‌ ඉතිරි කර තිබිණි....

තිස්‌ස ගුණවර්ධනයන් තනිකඩද....?

ඔසිත අත්තනායක
ඡායාරූප - සමන් අබේසිරිවර්ධන 


උපුටා ගැනීම දිවයින පුවත්පත