2013/11/05

අපි විශ්ව ගම්මානයට ගිහින්, ඒකෙ ඇතුළෙ ළිඳක් හාරගෙන, ඒ ළිඳ ඇතුළට වෙලා ඉන්නව.



මෙම ව‍සරේ ‍විශිෂ්ටතම ඉංග්‍රීසි ළමා කෘතියට හිමි රාජ්‍යය සාහිත්‍යය සම්මාන‍යෙන පිදුම් ලැබූ‍යේ ‍නෙවිල් ‍පෙ‍රේරා‍ගේ ''Kitty and the bell necklace'' නමැති කෘතිය යි. ‍මෙහි සිංහල පරිවර්තනය නම් කොට ඇත්‍තේ ‘‘‍ගෙජ්ජි මාලය’’ යනුවෙනි. ‍මෙම කෘති ද්ව‍යේ ම චිත්‍ර ශිල්පියා වූ‍යේ; දක්ෂ චිත්‍ර ශිල්පි‍යෙක්, කාටුන් ශිල්පි‍යෙක් ‍මෙන් ම මූර්ති ශිල්පි‍යෙක් ද වූ ශාන්ත ‍කේ හේරත් නම් කලාකරුවා ය.

එමෙන් ම ඩ්බ්ලියු. එස් කරුණාතිලක විසින් රචිත ''EMBEDDED LANGUAGES'' කෘතියේ කවරය මෙවර හොඳම පිටකවරය සඳහා වූ රාජ්‍යය සාහිත්‍යය සම්මානයෙන් පිදුම් ලැබුයේ ය එහි නිර්මාපකයා ද ඔහු ය.

පසුගිය දි‍නෙක කරුණාදාස සූරියආරච්චි‍ගේ අභිනව සාහිත්‍යය කෘතිය ‍‍දොරට වඩින ‍මො‍හො‍තේ ශාන්ත ‍කේ. ‍හේරත් යම් කාරණාවක් සඳහා අවැසි කතාබහකට මුල පිරී ය. එනම්, ‍පොතක පිටකවරය ‍කෙ‍සේ සකස්විය යුතුද යන්න පිළිබඳව ය. එ‍හෙත් එම කතිකාව එතැනින් හමාර කළ යුතු කතිකාවතක් ‍නො‍වේ යයි හැඟුණ බැවින් එහිම දිගුවක් ‍ ‍ලෙස ශාන්ත ‍කේ. ‍හේරත් මහතා සමඟ කළ කතාබහක් මෙසේ ඉදිරිපත් කරමි.

ඔබ චිත්‍රශිල්පි‍යෙක්, මූර්ති ශිල්පි‍යෙක්. ඒ ව‍ගේ ම ‍පොත් පිටවැසුම් නිර්මාණකරු‍වෙක්. ‍පොත් කවර නිර්මාණ ශිල්පි‍යෙක් විදියට ලංකා‍‍‍වෙ ‍පොත් කර්මාන්තය තුළ ‍පොත් කවර නිර්මාණ තත්ත්වය ඔබ දකින්‍නෙ කො‍හොම ද?

මෙතනදි මට නැ‍‍ඟෙන පළමු ප්‍රශ්නය තමයි ලංකා‍වෙ පොත් කවර කලාව, කලාවක් ද එ‍හෙම නැත්නම් කරුණාදාස සූරියආරච්චි මහත්මය‍ගෙ පොත එළිදක්වපු ‍වෙලා‍වෙ ඒ මහත්මය කිව්ව ව‍ගේ ඇඳුම් ඇන්දවීමක් ද? ඇතැම් විට ‍මේ ‍දෙක ම ද? අපි දන්නව ඇඳුම් අඳින එ‍කෙත් කලාවක් ති‍යෙනව. ඒ ව‍ගේ ම නිකං ම නිකං ඇඳුම් ඇඳිල්ලකුත් ති‍යෙනව. දැකල ඇති‍නෙ.... සමහරු ඇඳුම් අඳිනව. අපිට ඒව දැක්කම හිනා යනව. නමුත් ඒ ඇඳුම ඇඳ‍ගෙන ඉන්න මිනිහට ඒක ‍තේ‍රෙන්නෙ නෑ.

v-03

සමහර අය ඇදුම් අඳිනව ඒ ඇඳු‍මෙන් අදාළ පුද්ගලය‍ගෙ පෞරුෂය, පුද්ගලය‍‍ගෙ තරාතිරම, සමාජ ‍ගෞරවය යනාදී සියලු ‍දේ ලැ‍බෙනව. ‍පොත් කවරය ගමන් කරන්‍නෙත් ඔන්න ඔය ව‍ගේ තැනකට. සියලු ම කවර ඉතාම ඉහළ මට්ටමකට එන්න ඕන කියල අපි කියන්‍‍නෙ නෑ. නමුත්, ඒ ඒ කෘති‍යෙහි අන්තර්ගත වැදගත්කම සහ ගැඹුරට ගැල‍පෙන විදියට මෙය සකස්විම සුදුසුයි යන හැඟිම තමයි ‍මේ කර්මාන්ත‍යේ නියැළෙන කෙ‍නෙක් විදියට මට දැනෙන්‍නෙ.

මම වෘත්තීය ශිල්පියෙක්. ‍පොත් කවර නිර්මාණයත් ම‍ගේ වෘත්ති‍යේ ම ‍කොටසක්. එ‍හෙමනම් වෘත්තික‍යෙක් විදියට මම ‍මේ දිහා බලන විදිය තවත් ටිකක් ගැඹුරුයි. ‍මොකද.... ම‍ගේ වෘත්තිය හෑල්ලු ‍වෙන එක පිළිබඳ ව මට කැක්කුමක් ති‍යෙනව. වෘත්තික‍යෙක් විදියට ම ‍යෙදිල ඉන්න වෘත්තිය මට්ටම ඉහළට රැ‍ගෙන යන්න මම බැඳිල ඉන්නව. මම ‍මේ අදහස් ප්‍රකාශ කරන්‍නෙ මෙන්න ‍මේ පදනම මත රැ‍‍‍‍ඳෙමින්. ‍මේ ප්‍රකාශ ඇතම් අ‍යෙකුට රි‍දෙන්නත් පුළුවන්. සමහර ‍කෙ‍නෙකුට හිනා යන්නත් පුළුවන්. තවත් ‍කෙ‍නෙක් ‍මේ සියලු අදහස් ප්‍රතික්‍ෂේප කරන්නත් පුළුවන්. මට ඒ කිසිවක් අදාළ ‍වෙන්‍‍නෙ නැහැ. මම ම‍ගේ වැ‍ඩේ නියැ‍ළෙන අතරතුර ම, මම ‍යෙදි සිටින වෘත්තිය සක්‍රිය කරන්න පුළුවන් හැම සහ‍යෝගයක් ම ලබා ‍දෙනව.

‍මෙහි දී සමහර මත ඉවත් ‍වෙන්න පුළුවන්. නමුත් ඒ මත පිළිගන්න පුළුවන් සහ කැමති අය යළි යළිත් බිහි‍වෙන්න පුළුවන්. ‍ ඒ ව‍ගේ ඇතැම් යල්පැන ගිය අදහස් හලන්න ‍වෙනව. මේක ස්වභාව ධර්මය ව‍ගේ ම තමයි. අපි දන්නව ‍පොල් ගහක ‍පොල් අත්ත වියළිලා බිමට වැටෙන ‍කොට තව ‍ගොක් අත්තක් හැදෙනව. ‍මෙන්න ‍මේ විශ්වාසය මට ති‍යෙනව. ඒ නිසා මම විශ්වාස කරන්‍නෙ පොත් කවර නිර්මාණය කලාවක් විය යුතුයි කියල.

ගැටුම මතු ‍වෙන්‍‍නෙ එතනදි. ඒ ගැටුමට මම මුහුණ ‍දෙනව. ‍මොකද.... ඇඳුම ‍තෝරගන්‍නෙ පුද්ගල‍යෙක්‍‍නෙ.... මම ඇඳම් අන්දන්නා. යම් කෘතියක් රචනා කරන පුද්ගලයෙක් උත්සාහ කරන්‍‍නෙ මහා දැවැන්ත, ‍‍හොඳ කෘතියක් රචනා කරන්න‍නෙ....? ඒ කෘතියට ඉතාම පහත්, බාලගණ‍යේ ඇදුමක් අන්දවන්න ඔහු උත්සාහ කරනව නම්, එතන ‍මොකක්හරි ‍ලොකු ආරවුලක් ති‍යෙන බව තමයි මට හැ‍‍ඟෙන්නෙ. ‍මේ පිළිබඳව වැඩිපුර අවධානය ‍යොමු ක‍ළොත් වැටහෙන දේ තමයි ඒ මහා ලොකු කර්තවයක් කරන්න යන කර්තෘ කරන්නෙ ලොකු වංචාවක් බව. ඔහු/ඇය කරන්නේ අති දැවැන්ත කාර්යයක් නම් ඒකට ගැලපෙන ආකාරයේ ඇඳුමක් ඇන්දවිය යුතුයි. ඔහු හිතනවනම් බාල, සුලභ, අවර ගණයේ ඇඳුමක් අන්දවන්න ඒක හරියට අර වෙඩින් කේක් එකක උඩින් අයිසින් තවරනව වගේ වැඩක්. එහෙම වැඩකට සම්මාදම් වෙන්න නම් මම කැමති නෑ. ඔය මම ශිල්පියෙක් විදියට ගැටුමට මුහුණ දෙන එක් අවස්ථාවක්.

මේක මගේ පුද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. ක්ෂේත්‍රයට, ක්ෂේත්‍රයේ නියැළී ඉන්න ශිල්පීන්ට පොදුවේ බලපාන ගැටලුවක්. උදාහරණයක් විදියට ගත්තොත් මේ වන විට පොත් කවර නිර්මාණ ක්ෂේත්‍රයේ සදාචාරාත්මක භාවය පමණක් නොවෙයි නීතිමය පාර්ශවය පවා අභියෝගයට ලක්වෙන තත්ත්වයක් පවතිනවා. තාක්ෂණය අපි උපයෝගි කරගන්න ඕන අපේ තත්ත්වය ජාත්‍යන්තර තත්ත්වයට ඔසවා තබන්නනෙ....? නමුත් අපි කරන්නෙ අපේ නිර්මාණාත්මක කටයුතු වැඩි දියුණු කරනව වෙනුවට ජාත්‍යන්තර මට්ටමේ තිබෙන නිර්මාණ අරගෙන, ඒව අපේ නිර්මාණ විදියට සලකල, නොගැලපෙන ආකාරයෙන් නොගැලපෙන අවස්ථාවන් සඳහා යොදාගැනීම.

v-02
මේ කරන්නෙ අපි, අපි ම රවටා ගැනීමක්. රවටා ගැනීමක් පමණක් නොවෙයි අදාළ වෘත්තීය ක්ෂේත්‍රය විනාශ කර දැමීමක්. අපේ ඉදිරි පරම්පරාවේ රසඥතාව, ඔවුන්ගේ ඉදිරි දැක්ම සහ ඔවුන්ගේ ක්‍රියාකලාපවලට අභියෝග කිරිමක්. මෙන්න මේ කියන බරපතල ගැටලුව දැන් අපි ඉදිරියෙ තියෙනව.

අන්තර්ජාලයේ තිබෙන, වෙනත් රටක නිර්මාණ ශිල්පියකුගේ නිර්මාණයකින් කොටසක් අමු අමුවේ හොරකම් කරල, තවත් නිර්මාණයක කොටසක් අමු අමුවේ හොරා අරගෙන, මේ දෙක තුන මිශ්‍ර කරල, පරිගනකයෙන් අකුරු මෝස්තර කිහිපයක් යොදාගෙන, කතාවෙ තියෙන අන්තර්ගතයට කිසිඳු සම්බන්ධයක් නොමැති, කාමුක හැඟීම් ඇතිවෙන ලස්සන කාන්තාවකගෙ පින්තූරයක් යොදාගෙන මිත්‍යාවක් කරනව. මේක වෙළෙඳාමට හොඳ වෙන්න පුළුවන්. නමුත්.... අවසානයේ යොදන්නෙ කොහොමද....? ‘කංචුකය අසවලාගේ’ කියල. මේ ලබා දෙන්නෙ හොරකම් කිරිම පිළිබඳ පූර්වාදර්ශයක්; නිර්මාණ මංකොල්ලයක් පිළිබඳ පූර්වාදර්ශයක්; බුද්ධිමය දේපළ පනත යටතේ නඩු දැමිය හැකි වරදක්.

මේ වරද කරන්න අනුමැතිය දෙන්නෙ අර මහා දැවැන්ත කෘතියක් කරන ලේඛකය ම නම්, ඒ ලේඛකයගෙ/ලේඛිකාවගෙ ‘මහාකම’ මොකක් ද? ඒ වරද කරන්නෙ ඔහු නොවේ නම්, යම් ආකාරයකින් ප්‍රකාශකය වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෙනත් පාර්ශවයක් වෙන්න පුළුවන්. ඔවුන් මේ කරමාන්තයට හෝ රටට දෙන ආදර්ශය කුමක් ද? මොකක් ද ඒ අයගෙ අරමුණ? මෙවන් තත්ත්වයක් තුළ අනාගතයේ දී වෙන යහපත කුමක් ද?

දැන් අපි කතා කළේ සමස්ථ ක්ෂේත්‍රය පිළිබඳවනෙ.... ඔබ කිසියම් කෘතියකට කවරයක් නිර්මාණය කරද්දි ඔබටත් එවැනි බලපෑම් ඇවිත් තිබෙනව ද? ඒ සම්බන්ධයෙන් ඔබේ අත් දැකීම් මොනවද?

ඇත්තට ම මම ප්‍රකාශකයොත් එක්ක වැඩ කරල තියෙන්නෙ බොහොම අඩුවෙන්. මම වැඩිපුර ම වැඩ කරල තියෙන්නෙ කතුවරුන් සමඟ. විශේෂයෙන් ම මගේ චිත්‍ර පිළිබඳ අවබෝධයක් තියෙන අය සමඟ. ඒ අය මා සොයගෙන එන්නෙ ඒ පූර්ණ විශ්වාසය සහ අවබෝධය ඇතුව. ඒ අය අතර මම පුද්ගලික ව දන්න අය ඉන්නව. ඇතැම් අය මාව දැනගත්තට මම පුද්ගලික ව ඒ අය දන්නෙ නෑ. මේ හැමෝගෙන් ම මම කරන ප්‍රධාන ඉල්ලීම තමයි.... කවර නිර්මාණයට කළින් කියැවීම සඳහා කෘතිය ඉල්ලා සිටීම.

රසවිඳීම සඳහා පොත් මිලදී අරගෙ කියවනව වගේ ම වෘත්තීය වුවමනාව සඳහාත් මම පොත් කියවනව. මේ දෙවිදියෙන් ම මම රසයක් විඳිනව. ඒ විඳින රසය මගේ නිර්මාණ සදහා භාවිතයට ගන්නව. කෘතිය පරිහරණය කරන්නාගේ රසඥතායත් දියුණු වෙන මට්ටමේ කවර නිර්මාණයක් කරන්න මගේ කියැවීම පිටුබලයක් වෙනවා.

මෙතනදි යමෙක් ප්‍රශ්න කරන්න පුළුවන් ‘ඔය විදියට ලැබෙන හැම පොතක් ම කියවන්න කාලය යොමු කළොත් මේ තරඟකාරි සමාජයේ පවතින්න පුළුවන් ද’ කියල. නමුත් ඒ සියල්ල ම මිත්‍යා. එවැනි ප්‍රශ්න නඟන්නෙ මේ පිළිබඳ හරි අවබෝධයක් නැති අය.

ඇතැම් වෙලාවට මට හිතෙනව අපේ මේ බුද්ධිමතුන්, බුද්ධිමතුන් බවට පත්වෙලා තියෙන්නෙ විෂයයන් එකකට හෝ දෙකකටනෙ.... නමුත් විශාල පරාසයක් ඔවුන්ගේ බලයට නතු වෙනවා. තමුන් නොදන්නා පරාසයන් පවා මොවුන්ගේ බලයට නතු කර ගන්නවා. මේකෙ හාස්‍ය ජනක තත්ත්වය තමයි.... අපි ඒ පුද්ගලය දන්නෙ නැ කියල හෑල්ලු කරන්නෙ නෑ. මොකද ඔහු විෂයයන් එකක් හෝ දෙකක් හොඳට ම දන්නව. නමුත් එයා නොදන්න විෂයයන්ටත් ලොක්කෙක් වෙන්න හදනව; අණ නිකුත් කරනව. ලෝකෙ පුරාමත් මේ තත්ත්වය යම් ප්‍රමාණයකට තියෙනව.

v-05
මේ තත්ත්වයන් ජයග්‍රහණය කරන්න නම් අපිට අවශ්‍යය වෙනව ‘ටීම් වර්ක්’ කියන දේ. මම දන්න කොටස කරගෙන යන ගමන් දන්නා අනෙක් කෙනාගෙ ගෞරවයත් රකිමින්, දක්ෂතාවන් අගයමින් සහයෝගයෙන් වැඩ කරනවා. මේ තත්ත්වය ලංකාව තුළ දකින්න නැති තරම්. අපේ රටේ බහුතරයක් වෙන්නෙ නොදන්නා විෂයයත් නිල බලයෙන් අත්පත් කර ගෙන, තමන්ගෙ සිවිල් බලයත් පාවිච්චි කරල තමන්ගේ නොදන්නාකමේ ප්‍රමාණයට අභියෝගාත්මක විෂය දන්න කෙනාගෙන් වැඩ ගන්නෙ නෑ. මේ හේතුවෙන් අපේ රටේ, කලා ක්ෂේත්‍රෙය් පමණක් නොවෙයි විශාල ක්ෂේත්‍රයන් ප්‍රමාණයක් බිඳ වැටිල තියෙනව. ඒ වගේ ම මේ තත්ත්වය රටේ දියුණුවට බරපතල හානියක් වෙලා තියෙනව. අපේ ‘ටීම් වර්ක්’ නැතිවෙලා.

අපි උදාහරණයක් විදියට හමුදා අණුඛණ්ඩයක් ගමු: එතන සිතියම් කියැවීමට, ඔත්තු බැලීමට, ඉලක්කයට වෙඩි තැබීමට, ප්‍රථමාධාර දීමට, බෝම්බ පිපිරවීට, බෝම්බ නිශ්ක්‍රීය කිරිමට දක්ෂ පුද්ගලයේ වගේ ම නායකයෙක්. මේ හැම පුද්ගලයකුට ම තමන්ගෙ විශේෂ හැකියාව ඉස්මතු කරමින් අනෙක් අයගෙ හැකියාවන් අගය කරමින් එක කණ්ඩායමක් විදියට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම වුණාම තමයි එක අරමුණක් ජයගන්න පුළුවන් වෙන්නෙ. නමුත් අපේ පවතින්නෙ ඒ කාරණය නෙවෙයි. ඊට හාත්පසින් ම වෙනස් ක්‍රමවේදයක්. මේ ක්‍රමයෙන්: කලාවට, කර්මාන්තයට, රසිකයන්ට හෝ පාඨකයන්ට සෙතක් සිද්ධ වෙන්නෙ නෑ. වර්තමානයේ පවතින මේ අඳුරු ස්වභාවය දැකපු නිසානෙ කරුණාදාස සූරියආරච්චි වගේ පුද්ගලයෙක් තමන්ගෙ පොත එළිදක්වන මොහොතෙ ‘ශාන්ත, අපි මෙන්න මේ මාතෘකාව කතා කරමු’ කියල කියන්නෙ.


කලාත්මක භාවය නොවෙයි වෙළෙඳපළ කියන්නෙ, කලාත්මක භාවය අළෙවිය සඳහා නුසුදුසුයි කියන කාරණය පිළිබඳව. ඔබ දරන අදහස කුමක් ද?

මට දැනෙන්නෙ ඒකත් අමූලික බොරුවක්. අද භාෂාවෙන් කියනව නම් පට්ට බේගලයක්. මොකද.... අද මාර්කටින් කියන එක හැම තැන ම තියෙනව. මාර්කටින්වලින් තොර පැවැත්මක් නැහැනෙ.... ඒකෙ ගෞරවය වගේම දෝෂාරෝපණයත් හිමිවෙන්නෙ ජේ. ආර්. ජයවර්ධන මහත්මයට. අපි කොච්චර අකමැති වුණත් අපිට පීනන්න වෙන්නෙත් මේ තටාකෙ ම තමයි. මේ තටාකෙ පිනන කොට තාක්ෂණය අව්‍යයයි. අපි දන්නව මේ තාක්ෂණය හරහා බරපතල විදියට මිනිස්සුන්ගෙ සිතිවිලි වෙනස් කරනව.

නමුත් ඒ ක්‍රියාදාමය බලපවත්වන්නෙ මේ වාණිජවාදි කටයුතුවලට විතරයි. මිනිසුන්ගේ ආකල්ප සහ සිතුවිලි වෙනස් කරන්න හොඳ කලාකෘතියකට වඩා වෙළෙඳ දැන්වීමක් බලපාන්න පුළුවන්. ඇත්තට ම සමහර වෙළෙඳ දැන්වීම් තියෙනව කළා කෘතියකටත් වඩා නිර්මාණාත්මකයි. නමුත් ඒ තාක්ෂණය සහ ඒ නිර්මාණශීලිත්වය කලා කෘතියක දකින්න නෑ. ඒකට හේතුව තමයි කලාකෘතියක් නිර්මාණය කරන පුද්ගලය හිතනව ඒ කෘතිය අළෙවි වෙන එකක් නෑ කියල. නමුත් අද වෙන විට එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න හේතුව ‘ටිම් වර්ක්’ නැති එක. මොකද අපි හොඳ දේවල් කරන්න ‘ටීම් වර්ක්’ භාවිතා කරන්නෙ ම නෑ. අපි මොකද කරන්නෙ....? විශ්ව ගම්මානයට ගිහින්, ඒකෙ ඇතුළෙ ළිඳක් හාරගෙන, ඒ ළිඳ ඇතුළට වෙලා ඉන්නව. අපේ රටේ සිද්ධ වෙන්නෙ අන්න ඒ වගේ දෙයක්. මේ අවස්ථාවෙන් ඵල නෙළාගන්න උත්සාහ කරන්නෙ අන්තිම: බාල, පහත්, අවර ගනයේ පිරිසක්.

අපි කතා කළේ පිටකවරයේ නිර්මාණශීලිත්වය පිළිබඳවනෙ. අපි යම් කෘතියක ප්‍රමිතිය ගැන හිතමු. බටහිර, යුරෝපය, ආසියාව හෝ වෙනත් ඕනැම කලාපයක වෙන්න පුළුවන්. ඒ රටවල්වල අපේ රටේ වගේ පොතක් ලියල තමන්ට ඕන ඕන විදයට ප්‍රකාශයට පත්කරන්න බෑ. පොතක් ලිව්වම ඒක තව සංස්කාරකවරයෙක් වෙත යොමු කරල, එයාගෙ උපදෙස් ඇතුව.
ඊළඟට මුද්‍රණය කරන්න ගියාමත් එහි තත්ත්වය පිළිබඳ අපිට වැඩිය අවධානයක් යොමු කරනව. අපි ඒ අතින් නිදහස්. ඒ තියෙන නිදහසින් අපි ගන්න ඕන ප්‍රයෝජනය නොවෙයි ගන්නෙ. අපි ලබාගන්නෙ ඒකෙ අයහපත් ප්‍රතිඵලය. වැඩි ලාබයක් උපයාගැනීමේ අදහසින් බාල කොළයේ මුද්‍රණය කරනව. ගැඹුරින් යමක් වටහාගන්න පුද්ගලය වෙතට පොත ගෙනියනව වෙනුවට ඕනම කෙනෙක්ට ගන්න පුළුවන් මට්ටමට තමයි බාහිර අලංකරණය කරන්නෙ.
මේ තත්ත්වය වෘත්තිකයන්ටත් බරපතල විදියට බලපානව.

වෘත්තිකය කියන්නෙ මේ කර්මාන්තයෙන් ම ජිවත්වෙන පුද්ගලයනෙ. හොඳ නිර්මාණයක් කරන්න වැයවෙන කාලය, එයට අවශ්‍යය අමුද්‍රව්‍යය සඳහා වැයවෙන මුදල අවම කරගැනීම සඳහා අර විදියට අන්තර්ජාලයෙන් හොරකම් කරනව. මේක ක්ර්මාන්තයට, නිර්මාණකරණයට, දක්ෂතාවට කරන සමච්චලයක් විදියටයි මම දකින්නෙ. එතනදි අදාළ කාර්යයට වියදම් කරන පුද්ගලය වුනත් හිතන්නෙ ‘යකෝ අරූ කවරෙකට ගන්නෙ මෙච්චරයි. මූ මාර ගාණක් ඉල්ලනවනෙ’ කියල. මොක ද අනෙක් පුද්ගලයත් ගණන් ගන්නෙ අර හොරාගෙ ගාණට ම යි.

ඒ නිසා දැන් පොත් කඩයකට ගොඩවුණා ම එහි තියෙන පොත් අතරින් වෙනසක් තියෙන කවරයක් හොයන්න හරිම අමාරුයි. කෘතියේ අන්තර්ගත අරුත කවරයෙන් පිළිබිඹු වෙන්නෙත් නෑ. තියෙන්නෙම කාන්තා රූපයක්. නමුත් මම අභියෝගකරන්නෙ මගේ කවරයක් ඕනම පොත් ගොඩක් අතරින් වෙනස් කවරයක් විදියට කැපී පෙනෙන බවයි. මේ තත්ත්වය තේරුම්ගන්න තරම්, මේ පවතින රටාව බිඳින්න පුළුවන් තරම් නිර්භය අය නැහැ. මේක පුද්ගලික හේතුවක් නිසා වුණ දෙයක් නෙවෙයි. සමස්ථ කලාවෙ ම තියෙන අර්බුදයක්.


n-3
ඔබ පාඨකයෙක් විදියට හෝ වෘත්තිකයෙක් විදියට කියවනවනෙ....? මේ කියැවීමේ දී ඔබේ හෘද සාක්ෂියට එකඟව යම් කෘතියක් සඳහා කවරයක් නිර්මාණය කිරීම ප්‍රතික්ෂේප කළ අවස්ථා තිබෙනවද? එසේ ප්‍රතික්ෂේප කොට ඇත්නම් ඒ සඳහා බලපෑ හේතු සාධක මොනවාද?

ඇත්ත වශයෙන් ම මම කවර නිර්මාණය කිරිම ප්‍රතික්ෂේප කළ අවස්ථා තිබෙනව. ඒවන් අවස්ථා එළඹෙන ක්‍රම කිහිපයක් තිබෙනව. ඇතැම් අය ඇවිත් මට කියනව මෙතනට මෙවැනි දෙයක්, මෙතනට මේ වගේ මලක්, මෙතනට හිඟන ගැහැනියක්.... වගේ කවරයට අන්තර්ගතවෙන්න ඕන දේවල් කියනව. මම ඒ හැම දේම බොහොම සාවධානව අහගෙන ඉඳල අවසානයේ කියනව ‘මම මේ වැඩේට උචිත නෑ, ඔයා බලාපොරොත්තුවෙන කවරය අන්ද ගන්න වෙන ඕන තරම් අය ඉන්නව, එවැනි කෙනෙකුට කියල අන්දගන්න’ කියල. මම එහෙම කියපු වාර අනන්තයි.

තවත් විදියක් තියෙනව. දැවැන්ත ප්‍රතිරූප තියෙන ඇතැම් අය කතාකරල කියනව, ‘ආ.... ශාන්ත.... එන්න අපි අද හව අහවල් හෝටලේදි හමුවෙමු. ඔයාට කියල මට මගේ පොතට කවරයක් කරගන්න වුවමනයි’ කියල. ඒ මොහොතෙම ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනව. මොකද ඒකට හේතු තිබෙනව. මොකක්ද හේතුව....? මම එයත් එක්ක හෝටලයට ගිහින් කෑව බිව්වට පස්සෙ මගේ ස්වාධීනත්වය ඉවර වෙනවනෙ. එතනින් එහාට මට වුවමනා දේ කරන්න බැරුව යනවනෙ.

මේ අතර තවත් ක්‍රමයක් තියෙනව. ඇතැම් පොතක් කියෙව්වම මට හිතෙනව ‘මේ පොතට නම් කවරයක් අඳින්න මට බැහැ’ කියල. මොකද ඒ අය පොත් ප්‍රකාශකය ළඟටවත් ගිහින් නෑ. ඒ අය පොත ලියල තියෙනව. කවරයක් කරගන්න වුවමනාව තියෙනව. මම ඒ අයගෙන් අහන ප්‍රශ්නයක් තියෙනව. පළමුවෙන් ම අහන්නෙ ‘කවුද මේක ප්‍රකාශ කරන්නෙ? ඒ ප්‍රකාශකය කැමතිද මම මේ පොතේ කවරෙට චිත්‍රයක් අඳිනවට? මේ වෙනකොට නම් මම එහෙම අයගෙන් අහනව ‘ඒ ප්‍රකාශකය මේ කවරයට කීයක් ගෙවනවද?’ කියල. මොකද මම දැනගන්න ඕනනෙ.... මගේ නිර්මාණයේ වටිනාකමට ගෙවන්න කැමති, හැකියාවක් තියෙන කෙනෙක්ද, මගේ පොත් කවරවලට අකමැති කෙනෙක් ද? වගේ දේවල් ටික පැහැදිලි කරගන්න ඕනනෙ.

අද පවතින සමාජ රටාව අනුව ඒ සියල්ල ම කලින් දැනගෙන තියෙන එක ඇඟට ගුණයි. මම හොයාගෙන ආපු පුද්ගලය බලාපොරොත්තු වෙන්නෙ මගේ කවරෙත් අරගෙන ඒකෙනුත් පොතට ආලෝකයක් අරගෙන ප්‍රකාශකය ළඟට යන්න. නමුත් ඒ පොතේ අන්තර්ගතය ගැන සලකල බැලුවම මට හිතෙනව ප්‍රකාශකයෙක් ළඟට ගියාම මේ පොත ප්‍රතික්ෂේප වේවි කියල. එහෙම නැත්නම් මට කරතියාගෙන අදින්න තරම් බරක් ඒ පොතේ නෑ.

තවත් සමහර අය ඉන්නව මම කරපු කවර කිහිපයක්ම අරගෙන ඇවිත් ‘මම මේ කවරෙට හරි ආසයි. මේ කවරෙට ගොඩක් ආසයි. මගේ කවි පොතට ඔබතුමාගෙ චිත්‍රයක් ඇතුළත් කවරයක් කරගන්න ඕන.’ කියල හොයාගෙන එන අයත් ඉන්නව. එයාම කියනව ‘මේ පොත ප්‍රකාශ කරන්නෙ අහවලා. නමුත් එයා ගෙවන ගාණ ඔබතුමාට කොහෙත්ම ගැලපෙන්නෙ නෑ. නමුත් මටත් වියදම් කරන්න විදියක් නෑ. මම නිශ්චිත රැකියාවක් කරන්නෙත් නෑ.’ කියල. ඒ ඇතැම් කෘති කියවල බැලුවම ඉතා ම ඉහළ මට්ටමේ කෘති.

විශේෂයෙන් ම කවි පොත් සම්බන්ධයෙන් එහෙම විශාල අත් දැකීම් තියෙනව. එහෙම අවස්ථාවල්වල මම කවරය නිර්මාණය කරල දීල තියෙනව. මෙන්න මේ කියපු අපේ හිත හොඳකම සහ අවංකකම ප්‍රයෝජනයට අරගෙන අපිව රවට්ටපු වෙලාවලුත් තියෙනව. එහෙම අහුවුණු අවස්ථාත් තියෙනව. මම එදා දයාවංශ ජයකොඩි එකට ගිය වෙලාවෙ ඒකෙ රාක්කවල දාල තිබුණ පොත්පත් ටිකක් බැලුව. ඒ සමහර පොත්වල කවරෙ ඇඳල තියෙන්නෙ මම. ඒ කතුවරුන් කවරෙ අන්දගන්නකම් උදේ හවා මට කතාකරල තියෙනව.

මම කවර ඇඳල දීලත් තියෙනව. එතනින් එහාට වුණේ මොකද කියල මම දන්නෙ නෑ. නමුත් සාප්පුවෙ පොත් රාක්කයෙ පොත දැක්කම තමයි මටත් මතක්වෙන්නෙ ‘අඩේ මේ මම ඇඳපු කවරයක් නේද’ කියල. අඩු ම ගානෙ ඒ ‍පොතේ පිටපතක් මට දෙන්න තරම්වත් ඒ කතුවරය අවංක වෙලා නෑ. මගේ අතේ මුදල් තිබුණෙ නෑ. නැත්නම් මගේ නිර්මාණය සහිත පොත්කවරයෙන් නිම වුණ පොතක් නිසා මම සල්ලි දිල හරි අරගෙන එනව. ඒ රාක්කවල එවැනි පොත් තුන හතරක් ම තිබුණ. ඕක එක තත්ත්වයක්.

අපේ පොත් කවර කලාවක් විදියට හෝ එහෙමත් නැත්නම් කර්මාන්තයක් විදියට හෝ දියුණු නොවීමට ඒ වැඩෙත් එක්තරා විදියක බාධකයක්. මොකද මම යම් කෘතියක් කියවල එහි අන්තර්ගතයට සරිලන කවරයක් අඳින්න සමහර වෙලාවට ඩ්‍රෝවින් පේපර් දහයක් පහළවක් ඉවත දාන අවස්ථා තියෙනව. ඒ වෙලාවට මගේ බිරිඳ අහනව ‘ඔයාට අඩුගාණෙ ඔය කඩදාසිවලට වියදම් වෙන ගාණවත් ලැබෙනවද කියල?

නිර්මාණාත්මකව, කර්මාන්තයේ, කලාවේ යහපත වෙනුවෙන් යමක් කරන්න විශාල වශයෙන් වියදමක් දරන්න වෙනව. එහෙම නම්.... ඒ වියදම ලැබෙන්නෙත් නැත්නම්, වෘත්තීය ගෞරවය ආරක්ෂා වෙන්නෙත් නැත්නම්, පොත් කර්මාන්තයේ සහ ලේඛන කාර්යයේ යෙදිල ඉන්න අය මේ පිළිබඳ ව හිතන්නෙ නැත්නම්, ඒ අයට ඕන මොන ක්‍රමයකින් හරි අඩු වියදමක් දරල වැඩි ලාබයක් උපයගන්න නම් ඒක රටක්, ජාතියක් සහ නිර්මාණකරුවන් විදියට අපිට කවදාවත් දියුණුවක් ලබන්න බෑ.


පොතක ප්‍රකාශන වියදම් පිළිබඳ ව ඒකාධිකාරිය දරන්නෙ ප්‍රකාශකය. ටයිප් සෙටින්වලට, සොදුපත් කියැවිමට, පොත ඇතුළෙ චිත්‍ර අඩංගු වෙනවනම් ඒ සඳහා, පිටකවරයට, පොත මුද්‍රණය කිරිමට (ට්‍රේසින්, ප්ලේට්, පොසිටිව්, කොළ නැමීම, ගෙදර් කිරිම, කැපිම සහ කවරය ලැමිනේටින් කිරිම ) යනාදි සියල්ලට දරන වියදම තීරණය කරන්නෙ ප්‍රකාශකය. ඔවුන් ඒ සඳහා වියදම් කරන නිශ්චිත වියදමක් තිබෙනව. මෙන්න මේ සීමාව ඇතුළෙ කවරයට වෙන් කරන මුදල අනුව නිර්මාණය වන කවරයක් තියෙනව.
නමුත් ඒ වියදම් සීමාවට යටත්ව නිර්මාණය වෙන කවරයට කතුවරයා රුචිකත්වයක් දක්වන්නෙ නැත්නම් ඔහුට/ඇයට සිද්ධ වෙනව ඒ වියදම් සීමාවෙන් ඔබ්බට ගිහින් නිර්මාණාත්මක ගුණයෙන් යුත් කවරයක් තමන්ගෙ කෘතියට යොදාගන්න. ඒ වෙලාවෙදි ප්‍රකාශකය කියන්නෙ ‘අපෝ!!! එයාගෙ ගණන් වැඩියි. අහවලා කවරයක් කරන්නෙ මේ ගාණට. ඒ නිසා මට ගෙවන්න පුළුවන් මෙච්චරයි. එයාට එයා ලව්වම කවරය කරගන්න ඕන නම් ඉතිරිගාණ අතින් වියදම් කරල කවරෙ කරගන්න’ කියල. මේ ක්‍රියාදාමය ප්‍රකාශන ක්ෂේත්‍රය ඇතුළෙ පවතින යථාර්ථයක්. මේ තත්ත්වය ඔබ දකින්නෙ කොහොමද?

ඔව්. ඒ තත්ත්වය බොහොම කනගාටුදායක, ඛේදනීය තත්ත්වයක්. මේ සිදුවිම හරහා මොකක්ද සිද්ධ වෙන්නෙ....? ඇයි ලේඛකයෙක් පොතක් ලියන්නෙ? ඇයි ප්‍රකාශකයෙක් පොතක් ප්‍රකාශයට පත්කරන්නෙ? ඒ අරමුණ සමාජයට යහපත් යමක් කිරිම නම්. මෙතනදි එහෙම සද්කාර්යයක් සිද්ධ වෙනවද? මේ තත්ත්වය උඩ කියන්න වෙන්නෙ ‘නෑ’ කියලනෙ.

අර ඔයා කලින් සඳහන් කළ වියදම් සීමාවෙ ඉඳගෙන වැඩ කළොත් කරගන්න පුළුවන්වෙන්නෙ ඵල රහිත, නිර්මාණාත්මක නොවන, පාඨකයාගේ මනසට යමක් නොලැබෙන සහ කෘතියේ අන්තර්ගතයට කිසිසේත් ම සම්බන්ධයක් නැති පොත් කවරයක්නෙ. ඔයා කිව්ව වගේ කතුවරය ඒ තත්ත්වයේ කවරයකින් සෑහිමකට පත්වෙන්නෙ නැත්නම් ඔහුට සිද්ධ වෙන්නෙ ඔහුගේ සම්බන්ධතා හරහා වෙනත් ශිල්පියකුගෙන් අදාළ කාර්යය කරගන්නනෙ.

මට බොහෝ වෙලාවට මැදිහත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නෙ ඔන්න ඔය වගේ අවස්ථාවන්වලට. මම කවදාවත් ‘මචං උඹේ ඊළඟ පොතේ කවරෙ මට දිපන්’ කියල ඉල්ලගෙන නෑ. මම කලින් සඳහන් කළ විදියට මාව හොයාගෙන එන අයගෙනුත් තෝරාගත් කොටසකට පමණයි මම කවර නිර්මාණය කරන්නෙ. සමහර අය ඉන්නව නිර්මාණාත්මක ඇගයිමට අනුව ගෙවන්න පුළුවන් අය. තවත් සමහර අය ඉන්නව නිර්මාණාත්මක අගයට ගෙවාගන්න බැරි වුණත් අවම වශයෙන් ගිය වියදම සහ මහන්සිය වෙනුවෙන් යම් මුදලක් ගෙවන අය.

තවත් සමහර අය ඉන්නව මහා ලොකු දාර්ශනික කතන්දර කියල, ඒ අයගෙ වාග් චාතුර්යයෙන් අපි මත් කරල, ඒ අයගෙ සිවිල් බලය හරහා අපිට විවිධ බලාපොරොත්තු දීල කවර කරගන්න එනව. මමත් කරල දීල තියෙනව. මෙන්න මේ තත්ත්වයන් තුළ අපි පීඩාවකට ලක්වෙනව. එවැනි පිඩාවන්ට ලක් වුනත් ‘හොඳ නිර්මාණයක් සමාජගත කළා නේද’ කියන තෘප්තිය ලබනව. සමහර ප්‍රකාශකයො සෑහෙන මුදලක් වගේ ම නොවටිනා මුදලක් දෙන අවස්ථාත් තියෙනව. මේ දෙකම බාරගත් අවස්ථා වගේ ම එවන් නොවටිනා මුදලකට කරන්න බෑ කියපු අවස්ථාත් තියෙනව.

සමහර අය මගෙන් අහනව ‘ඔයා කවරයක් කරන්න කීයක් ගන්නවද’ කියල. මම ඒ අයට කියන්නෙ: රුපියල් 150 සිට 25,000 දක්වා සහ ඇතැම්විට ලක්ෂයකටත් කවර කරන අය ඉන්නව. මේ කිසිම අයකිරිමක් අසාධාරණ නෑ. ඔයාට කවරයට ගෙවන්න පුළුවන් කීයද? ඒ වගේම මතක තියාගන්න.... අපිට වුනත් සමහර වෙලාවට අපේ අත්‍යාවශ්‍ය වැඩක් කරගන්න මුදල් නැතිවෙන අවස්ථා තියෙනව. ඒ වෙලාවට අපි කාගෙ හරි උදව් බලාපොරොත්තු වෙනව. ඒ උදව්ව ‘ආධාර’ වෙන්නත් පුළුවන් ‘ණය ආධාර’ වෙන්නත් පුළුවන්. ඒ වගේ කවරය අවශ්‍යය කෙනාගෙන් මම ඒකත් අහනව.


ඒ අයගෙ තත්ත්වය අනුව මම කියනව ඒ අයට මගෙන් ඉල්ලිමක් කරන්න කියල. මම කවරය කරල දෙන්නම්. හැබැයි මගෙත් ඉල්ලිමක් තියෙනව. මොකක් ද ඉල්ලීම? පන්සලක බිත්තියෙ චිත්‍රයක් ඇඳල යටින් ලියනව නම්, ‘රට බේරාගත් රණවිරුවන්නට පින් පිණිස අසවලා විසින් අඳින ලදී’ කියල. මේ කවරයත් අසවලාට පින් පිණිස හෝ අසවලාට උපහාරයක් වශයෙන් ශාන්ත කේ. හේරත් විසින් නිර්මාණය කර දෙන ලදි කියල සඳහන් කරන්න. මොකද ඒක මට විශාල ආත්ම තෘප්තියක්. ඇතැම් අයට මම ඒ විදියට කවර නිර්මාණය කරල දීල තියෙනව. ඇතැම් අය එහෙම කරලත් තියෙනව.

 neville-perera
මේ සියල්ල පිළිබඳ යම් විමංසාවකට එද්දි මෙහි ප්‍රකාශකයට විශාල වගකීමක් තිබෙන බව ඇත්තක්නෙ? ඔබ දකින විදියට මේ සම්බන්ධයෙන් ප්‍රකාශකයගෙ වගකීම සහ යුතුකම මොකක්ද?

මෙතනදි මම මහා චරිතයක් විදියට කතා කළොත් ලංකාවෙ ඉන්න සියලු ම ප්‍රකාශකයො මාත් එක්ක තරහ වෙනව. තරහ වුනත් ඒ සම්බන්ධයෙන් මට ගැටලුවක් නැහැ. මේකෙ ගණිතමය සාධකය පමණක් මම සඳහන් කරන්නම්.

කර්තෘ භාගය 10%, පොත විකුණන කඩේ මුදලාලිට 40%, ඒ මුදලාලි ම අත්පිට මුදලට ගන්නවා නම් 50% යි, නිෂ්පාදන වියදම 40% යි. මේ ප්‍රතිශත අතරින් කවරයට වියදම් කරන්නෙ බොහොම සුළු ප්‍රතිශතයක්නෙ. පොතක නිෂ්පාදනයෙන් 90% ක් ම එක් පාර්ශවයකට යද්දි කර්තෘවරු 10% අරගෙන නපුන්සකයො වගේ නිහඬ ව ඉන්නව. කිසිම දේකට කැප නොවෙන කඩේ මුදලාලි 40% - 50% අතර ලාබයක් ගන්නව. හිතන්න.... මෙතනදි කර්තෘල කියන අයට මොන තරම් අපහාසයක් ද කරන්නෙ කියල....? මේ පෙන්වන මිල සූත්‍රයනෙ. මට හැඟෙන විදියට මේ අය මේ මිල සූත්‍රයට යටින් වෙන මොනව හරි දෙයක් කරනව.

එසේ ‍නොවෙනව නම් මෙතන අපි කිසිවකුටත් නොපෙනෙන ආරවුලක් තියෙනව. මේ සම්මත රාමුව ඇතුළෙ සහර විට මම කවරයකට ඉල්ලන මුදල නොදී මාව ඉවත් කරන්න පුළුවන්. ඒකෙ කිසිම ප්‍රශ්නයක් නැහැ.

ඔබට මතක ඇති කරුණාදාස සූරියආරච්චි මහත්මයගෙ පොත නිකුත් කරන වෙලාවෙ සමහර සිවිල් බලැති අය යෝජනා කළා ‘පොතක කවරය එතරම් වැදගත් නෑ’ කියල. උදාහරණයක් විදියට කිව්වෙ සරච්චන්ද්‍ර මහත්මයගෙ ‘මළ ගිය ඇත්තෝ’ සහ මළවුන්ගේ අවුරුදු දා කෘති දෙකේ ම නිකංම නිකං අකුරු ටිකක් විතරයි තිබුණෙ කියල. නමුත් ඒ අය දන්නෙ නැහැ ජපානෙ ‘කැලි ග්‍රැෆි’ කියන්නෙත් ආර්ට් එකක් බව. රූප නොමැති ව අකුරුවලින් අදහස් මැවීම තමයි ‘කැලි ග්‍රැෆි’වලින් කරන්නෙ. මේ ආර්ට් එක ජපානය, චිනය සහ කොරියාව වගේ රටවල්වල බහුල ව භාවිතා වෙනව. අරාබි රටවල්වලත් මේ ක්‍රමය ආර්ට් එකක් විදියට භාවිතා කරනව.

සරච්චන්ද්‍ර මහත්මය තමන්ගෙ කෘති දෙකෙන් මතුකරන්නෙ මෙන්න මේ ‘කැලි ග්‍රැෆි’ කියන කලා මාධ්‍යය. ඒ තුළින් එයා බලාපොරොත්තු වුනේ සම්මත රටාවෙන් නිර්මාණය වුණ පොත් කවර අතර මේ පොත් දෙකේ ම කවර යම් වෙනසකට භාජනය කරන්න. ඒ ප්‍රයත්නය අතිශය නිර්මාණාත්මකයි. නමුත් එදා මේ තර්කය ඉදිරිපත් කරපු ප්‍රබුද්ධයො මේ තත්ත්වය දැනගෙන හිටියෙත් නෑ. තේරම් අරගෙන තිබුණෙත් නෑ. ඒ අය යෝජනා කරනව නම් කවරයකට හොඳ නිර්මාණයක් අව්‍ය නැ කියල ඒ අයගෙ කෘතියකදි ඒක ප්‍රායෝගිකව ඔප්පු කරල පෙන්වන්න කියල මම අභියෝග කරනව. ඒ අයගෙ තියෙන්නෙ අලුත් අදහස්වලට ඇහුම්කන් දෙන්න තියෙන අකමැත්ත.

ඇතැම් අය කියනව ළමා පොත්වලට චිත්‍ර ඕන නෑ කියල. නමුත් ජාත්‍යන්තර මට්ටමෙන් ම තීරණය කරල තියෙනව ළමා මනෝවිද්‍යාවට අනුව ළමා ‍පොතක චිත්‍ර අතුළත් විය යුතුයි කියල. ඒ නිසා ‍මේ අය කරන්‍‍නෙ ජාත්‍යන්තරවත් ගත්තු තීරණවලට ඉහළින් යන මෝඩ කතා. සමහර අය සමාජයේ සිදුවන යම් යම් අසාධාරණයන්, අකටයුතුකම් තමන්ගෙ කොලම්වලින් ලියනව. දැන් මෙවැනි පුද්ගලයො සමාජ සංස්ථාවක යම් ධූරයක් හොබවන විට අපි හිතනව ‘අනේ අරය පත්වෙච්ච එක කොච්චර හොඳ ද, එයා නං යමක් කරයි නේද’ වගේ දේවල්. නමුත් මොකක් ද සිද්ධ වෙන්නෙ. එයා අර කලින් හිටපු අයටත් වැඩිය ‍‍හොඳට අර අකටයුතුකම් ටික කරගෙන යනව. තමන්ගෙ කොලම් හරහා මේ දේ වැරදියි, මේක මෙහෙම විය යුතුයි කියල ලියන ගමන් ඒ වැරැද්ද ම කරනව.


එදා පවත්වපු සාකච්ඡාවෙදි දයා දිසානායක මහත්මය තර්කයක් මතු කළා කොහොමද ආකර්ෂණීය කවරයක් නැතුව ආධුනික ලේඛකයකුගෙ පොතක් අළෙවිකරගන්නෙ කියල. නමුත් අපි දන්නව ආකර්ෂණිය කවරයක් නොමැති ව වුනත් පොත අළෙවි වෙලා තියෙනව.

ඒක පැහැදිලියි. ඒ ගැන විවාදයක් නෑ. නමුත් මට මෙවැනි ගැටලුවක් තියෙනව. දයා දිසානායක මහත්මය සාකච්ඡාවට අවතීර්ණ වීම පිළිබඳව ගරු කරනව. නමුත් ඒ මහත්මයගෙ දැක්ම පිළිබඳ ව අවුලක් තියෙනව. මෙන්න මෙහෙම හිතන අයට කතා කරන්න ඕන ඒ අයට තේරෙන භාශාවෙන්. මේ අය තමයි සිවිල් බලය හරහා, තමන්ගෙ පාණ්ඩිත්‍යය හරහා අලුත් අදහස් ඉදිරියට පැමිණීම සහ ක්‍රියාත්මක කිරිම වළක්වල තියෙන්නෙ. අලුත් ලේඛකයෙක් හදුන්වල දෙනව කියල, ආකර්ෂණීය කවරයක් අවශ්‍යයයි කියල බාල සුලභ ජනප්‍රිය වර්ගයේ කවරයක් කරන්න වුවමනා නැහැ.

එහෙව් මෝඩ සමාජයක් අපිට නැහැ. ඇතිකරන්න වුවමනාවකුත් නැහැ. පොත හරහා දෙන පණිවිඩය, රසය, ගුණය, දැනුම වැදගත් නම්, පොතේ කවරය: කසුරි මහත්මය කියපු විදියට ඇඳුම: අර කියන වැදගත්කම හරහා ම තෝරගත්ත නම්.... එයා කැපිල පේන්නෙ නැද්ද? දයා දිසානායක මහත්මය ප්‍රදර්ශනය කළේ තමන් දෘශ්‍ය කලාව ඇසුරු නොකිරීමේ ප්‍රතිඵලය; එය භාවිතා නොකිරීමේ ප්‍රතිඵලය. ඔහු නොකිය කිව්වෙ මොකක් ද....? අපි ඉල්ලන දේ දිය යුතුයි කියල නෙවෙයිද....? මෙවැනි පුද්ගලයන්ගෙ අදහස්වලින් සමාජය වැසී ගියොත් අනාගතයේ දි ඇඟ විකුණන සමාජයක් හැර වෙන සමාජයක් බිහි වේවි කියල නම් හිතන්න බෑ.

ජයසිරි අලවත්ත m.j.alawatta@gmail.com

2 comments:

  1. oba honda nirmana karuwek bawa mama dannawa-Rohana

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රෝහන.

      Delete