2012/04/22

වඳිමි සිදුහත්


වඳිමි සිදුහත්
බුදු සිරිත ඇසුරෙන් රචිත නව ප්‍රබන්ධය


රුදුරු යකු දැමුණේ කුමරු දිවියද රැකුණේ

ගාමිණී සුමනසේකර
චිත්‍රය - ශාන්ත කේ. හේරත්

ජේතවනාරාමයේ සිට අලව් නුවරට තිස්‌ යොදුන් පමණ දුර විය. එනුවර රජගහනුවර හෝ සැවැත්නුවර මෙන් පසිඳු නුවරක්‌ද නොවීය. අලව් නුවර වැඩිපුරම විසුවෝ යක්‍ෂ නම් ගණයට අයත් වන්නෝය. ඔව්හු ස්‌වභාවයෙන් ම දැඩියෝ ය. රළු වරම් ගති ඇත්තෝය. තදින් කිපෙති. ඈත ගම් දනව්වක සිට හෝ අලව් නුවරට ආගිය අය හිඟ වූහ. සංචාරක වෙළෙන්දන්ගේ ඝෝෂාව නොඇසුණි. විශේෂ කර්මාන්ත යෑයි කිව හැකි දෙයක්‌ද නොවීය. හරිත වර්ණ වන රේඛාවන්ගෙන් ද සිහිල් නිල් දිය දහරාවෙන්ද මනාව සැදුණු හාත්පස නම් නෙතට සුවයකි.

මෙනුවර ආලවක නම් යක්‌ අධිපතියෙක්‌ වසයි. ඔහු දැසි දසුන් පිරිවර කර ගත්තේ ආඪ්‍ය ජීවිතයක්‌ ගෙවයි. හේ මායාබල ඇත්තේ ය. මනාව වැඩුණු සිරුරු ඇත්තේය. අලව් නුවර පමණක්‌ නොව නොයෙක්‌ තන්හි විසූ යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ ගෞරවය ඔහුට නොඅඩුව ලැබුණි. ආලවකගේ සියලු කුදු මහත් කටයුතු ඉටු වූයේද ඒ ගෝත්‍ර ජනයා අතින්මය. කෙනෙක්‌ ඔහුට නිතිපතා මස්‌ සැපයූහ. තව කෙනෙක්‌ සුරාව සැපයූහ. ආලවක මිනීමස්‌ අනුභව කිරීමටද ගිජු විය. එහෙත් ඔහු කිසි විටෙක සිය ගෝත්‍රිකයන් අල්ලා අනුභව කළේද නැත. ඈත නුවරකින්, ගමකින් මෙම අඩවිය පසු කර යන අයෙක්‌ වෙත් නම් ඔවුන්ට නිසැකයෙන්ම ආලවකගේ ගොදුරක්‌ වීමට සිදුවන්නේමය.

එක්‌ දිනක අලව් නුවරට නුදුරුව දඩ කෙළියෙහි ගිය කිසියම් රජෙක්‌ ආලවකගේ නෙත ගැටුණි. රාජාභරණ නොමැතිව සිටි ඔහුගේ පෙනුම සාමාන්‍ය වැසියකුගේ මෙන් විය. ආලවක වාත වේගයෙන් ඔහු ලුහුබැඳ ගොස්‌ අල්ලා ගත්තේය. බියට පත් වූ රජු තමන් පිළිබඳ සියලු තොරතුරු කීවේය. එහෙත් ආලවක කියා සිටියේ අනවසරයෙන් තම අඩවියට පැමිණ දඩයම් කිරීම වරදක්‌ බවය. ඒ සඳහා දඩයක්‌ ගෙවිය යුතු බවද ඔහු කියා සිටියේය.

රජු ද කිසිදු වගවිභාගයකින් තොරව ඔහු සමඟ එකඟතාවකට එළඹියේය.

"හොඳයි මා නුඹව නිදහස්‌ කරනවා. එක්‌ කොන්දේසියක්‌ උඩ, හෙට පටන් දිනපතාම මාගේ වාසභවනට මට දරුවකු එවිය යුතුයි. යම් දිනක එය කඩ කළහොත් එදින මම නුඹ මරා අනුභව කරමි."

No comments:

Post a Comment