2016/05/30

මගේ චිත්‍ර පංතියෙන් කෙරෙන්නේ දරුවාගේ අනාගත ගමන් මග සමබර කිරිම



බත්තර මුල්ලේ සිට කොස්වත්ත හරහා ... යන දිනයක කොස්වත්ත මංසංධිය පසු කර මිටර් 50ක් පමණ ඉදිරයට යද්දී ඒ මොහොතේ පැවති වාහන තද-බදය හේතුවෙන් සුළු මොහොතක් නතර වීමට සිදුවිය. ඒ ඇසිල්ලේ නිකමට මෙන් අවට නෙත් යොමු කරද්දී මා දෙනෙත් එක පැහැර එක් ස්ථානයක නතර විය. ඒ, ‘‘ශාන්ත කේ හේරත්ගේ චිත්‍ර පංතිය’’ නමැති දැන්වීම් පුවරුව යි.

(අපි සැවොම ඔහු අමතන්නේ ‘‘ශාන්ත අයියා’’ නමින් වන හෙයින් මේ මොහොතේ ද එසේ ම ඇමතීම මට පහසුවක් බැවින් ඒ සහෝදරාත්මක ඇමතුමෙන්න ම කතන්දරයේ ඉතිරි කොටසට යොමු වෙමු.)

වාහන තද-බදය කෙතරම් අප්‍රිය ජනක වුවද මේ මොහොතේ මට සිතට නැගුණේ තව සුළු මොහොතක් එසේම පවතින්නේ නම් හොඳයි යන්නය. නමුත් එසැණින් ම මා ඉදිරියෙන් තිබු වාහන සෙමෙන් සෙමන් ඉදිරියට ඇදෙන්නට විය. අනෙක් සැම මොහොතක ම වාහන තද-බදයට සාප කරන මා ඒ මොහොතේ එම තද-බදය තව මොහොතක් නොපැවතිම පිළිබඳ කනස්සල්ලෙන් ම මගේ යතුරුපැදිය ඉදිරියට පැදෙව්වේ ය. එහෙත් මගේ සිතුවිලි තවමත් නතරව තිබෙන්නේ ‘‘ශාන්ත කේ හේරත්ගේ චිත්‍ර පංතිය’’ නමැති දැන්වීම් පුවරුවේ ය.
‘‘කමක් නෑ. දැන් මේ ගමන ගිහිං ආයෙ එන ගමන් බලනවා. හවස්වෙනකං ඉඳීවිනෙ’’ මා මටම පවසා ගත්තෙමි. ඒ සිතුවිල්ල ක්‍රියාවට නංවමින් ආපසු එන මොහොතේ අදාළ ස්ථානයෙන් පිටත් වීමට ප්‍රථම ශාන්ත අයියාට දරකතන ඇමතුමක් ලබාගත්තෙමි.
‘‘අයියෙ... මම දැක්ක කොස්වත්ත හංදියට පොඩ්ඩක් මෙහා ‘‘ශාන්ත කේ හේරත්ගේ චිත්‍ර පංතිය’’ කියල බෝර්ඩ් එකක්. ඒ ඔයා කරන පංතියක්ද?’’
‘‘ඔව්... ඔව්... ඒක පටන් අරගෙන දැං ගොඩක් කල්. ඇයි ඔයා එහෙම ඇහුවෙ?’’ ඒ ශාන්ත අයියාගෙ පිළිතුරයි.
‘‘නෑ.. අයියෙ... මට හිතුණ යන ගමන් ඔය පැත්තෙන් ඇවිත් යන්න. මට එන්න අවසරද?’’
‘‘ආපෝ එන්න... එන්න... ඔයා මෙතනට ඇවිත් යනවනම් මට ඒක හරියට වටිනවා.’’
ඉබ්බා දියේ දැමූ විට ඇන්නෑවෙයි කියන්නාසේ මම ද කඩිනමින් අදාළ ස්ථානය කරා යතුරු පැදිය ධාවනය කළේ ය. ‘‘ශාන්ත කේ හේරත්ගේ චිත්‍ර පංතිය’’ පිහිටා තිබුණේ Leads art academy ගොඩනැගිල්ලේ තෙවන මහලේ ය.
මා එහි ඇතුළු වන විට ම දක්නට ලැබුණේ අවුරුදු පහක් පමණ වන දරුවාගේ සිට අවුරුදු පහළොවක් පමණ වන දරුවා දක්වා වූ දරු දැරියන් පහළොස් දෙනකු පමණ විවිධ ඉරියව්වලින් සිටිමින් චිත්‍ර අදින ආකාරය යි. එක් දරුවකු බිම වාඩි වී ද, තවත් දරුවකු බිම දිග ඇදී ද, තවත් දැරියක් සම්මත ආකාරයට ම සිතුවම් අඳින කඩදාසිය රඳවනයක රඳවාගෙන ද සිතුවම් අඳියි. ඒ මොහෝතේ ශාන්ත අයියා සමග කිසිම අදහසක් හුවමාරු කරගැනීමට මා සිත ඉඩ නොදුන්නෙමි. මා නෙත සිත බැඳී තිබුණේ මේ දරු දැරියන්ගේ දක්ෂතා කෙරෙහි ය.  අඩහෝරාවක් පමණ එහි ගත කළ මා ශාන්ත අයියාගෙන් සමුගත්තේ එදින සවස ඔහුගේ නිවහනේ දී හමුවන පොරොන්දුව මත ය.
මෙතැන් සිට දිගහැරෙන්නේ වත්මනේ ලාංකීය චිත්‍ර කලාවේ නවමු මානයක් හඳුන්වා දෙමින්, විවිධ නිර්මාණ තුළින් තම දක්ෂතා මෙන්ම අභිමානය ප්‍රදර්ශනය කරන ප්‍රවීණ චිත්‍ර සහ මුර්ති ශිල්පි ශාන්ත කේ. හේරත් (ශාන්ත අයියා) සමග කළ සාකච්ඡාවේ සංක්ෂිප්ත සටහනකි.

‘‘ළමා චිත්‍රකරණය’’ යනුවෙන් නාමකරණයක් පවතිනවා. අපේ සාකච්ඡාව එතැනින් ම අරඹමුද?

ලංකාවේ මෙය පවතින්නේ ඉතාමත් සංකීර්ණ සහ විහිළුසහගත තත්ත්වයක. මෙතනදි වැඩිහිටියො ළමුන් වෙනුවෙන් අඳින චිත්‍රවලටත් ‘ළමා චිත්‍ර’ කියනවා. ළමයි අඳින චිත්‍රවලටත් ‘ළමා චිත්‍ර’ කියනවා. ඊළඟට ළමයි වෙනුවෙන් චිත්‍ර අඳින වැඩිහිටියො හිතනවා ‘අපි ළමයි වගේ අඳින්න ඕන’ කියල. ඔවුන් ‘ළමා චිත්‍ර’ කියන්නෙ ඒවට. නමුත් ඒ විදියට අඳින්නෙ කිසිම හැදෑරීමකින් තොරව යි. මේ සියල්ල අතරෙ මම ‘ළමා චිත්‍ර’ දකින්නෙ ඉතාමත් ගැඹුරු විෂයයක් විදියට. ළමයි අඳින චිත්‍ර වැඩිහිටියන්ගේ බලපෑමකින් තොරව ළමයි කැමති විදියට නිදහසේ අඳිනවා නම් එතන හොඳ ‘ළමා චිත්‍රයක්’ නිර්මාණය වෙනවා.  ඒ චිත්‍ර ළමයකුගෙන් තවත් ළමයකුට වෙනස් වෙන්න පුළුවන්, වැඩිහිටියන්ගේ චිත්‍රවලට වඩා වෙනස් වෙන්න පුළුවන් සහ වැඩිහිටියො දකින දේ ම ළමයා වෙනස් විදියකට දැකලා එය චිත්‍රයට නගන්නත් පුළුවන්. ඒක ‘ළමා චිත්‍රයේ’ ස්වභාවය. මෙය වෙන් කරගැනීම හරිම පහසුයි. එහි අභ්‍යන්තරයේ යම් යම් වැරැදි තිබෙනවා නම් එය ද වෙන් කරගන්න පුළුවන්.  මෙහි වඩාත් සංකීර්ණ වන්නේ වැඩිහිටියෝ ළමයි සඳහා අඳින චිත්‍ර. මෙය හරිම අර්බුද සහගතයි; විසුළු සහගතයි; අප්‍රසන්නයි. එය නොකළ යුතු සහ තහනම් කළ යුතු මට්ටමේ පවතින දෙයක්. තහනම් කළ යුතුයි යනුවෙන් මම සඳහන් කළේ මේ ඉහත කී චිත්‍රවලින් පිරිසිදු ළමා මනසට බරපතළ හානි සිදුවෙනවා. ඒකට ප්‍රධාන හේතුව වෙන්නෙ අපේ රට තුළ මේ දේවල් වෙන් කර හඳුනාගෙන, තෝරාගෙන භාවිතා කිරිම වෙනුවෙන් ප්‍රබුද්ධ සංවාදයක් නැති වීම. මේ නිසා වුවමනාව තිබෙන පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් වුනත් කරන්නෙ ‘තියෙන්නෙ මේක විතරයිනෙ’ යන සංකල්පයෙන් මේ වැරැදි දේ බදාගන්නවා. මෙය ඇතැම්විට මහා විෂ ගොඩක් වෙන්න පුළුවන්.

ළමා කෘතියක් වෙනුවෙන් චිත්‍ර නිර්මාණය කරන විට එම චිත්‍ර ළමා මනසට ගෝචර වන ආකාරයෙන් සකසා ගන්නේ කෙසේද? 

කලින් සඳහන් කළ ආකාරයට ම අපි පළමුවෙන් ම කළ යුත්තේ ළමා කෘතියකට අඳින චිත්‍ර ලෙස භාවිතා කරන්නේ ළමයකු විසින් අඳින ලද චිත්‍ර ද එසේත් නැත්නම් ළමයි වෙනුවෙන් වැඩිහිටියකු විසින් අඳින ලද චිත්‍ර ද යන්න තෝරා බේරා ගැනීම යි. මේ විදියට වෙන් කර ගත්තට පස්සෙ අපි වටහා ගතයුතු කරුණු කිහිපයක් තිබෙනවා. එනම්, ළමයෙක් ඇන්දාම එහි ස්වභාවය හරිම වෙනස්. එය වෙනම තලයක්. නමුත් එබඳු පසුබිමක් ගොඩනැගෙන්නේ බොහොම කලාතුරකින්. ඇත්තට ම එහෙම දෙයක් සිද්ධ වෙන්න ඕනෙත් කලාතුරකින් කියලයි මම විශ්වාස කරන්නෙ. අනෙක් පසින් ලංකාව ඇතුළෙ ළමයි වෙනුවෙන් වැඩිහිටියො අඳින චිත්‍ර පිළිබඳව නම් පවතින්නේ ඉතාමත් ම කනගාටුදායක තත්ත්වයක්. එතනදි අපි සාකච්ඡා කළ යුත්තේ අදාළ චිත්‍ර ශිල්පියා තෝරාගන්නේ මොන පදනමකින් ද යන්නයි. මේ වගේ අවස්ථාවකදි ලංකාවෙ නම් අදාළ චිත්‍ර ශිල්පියා තෝරා ගන්නේ: ඉතා අඩු මුදලකට, ඒ වගේ ම ප්‍රසිද්ධ නොවන නමුත් ප්‍රසිද්ධියට කැමති, මොනවම හරි පොතකට චිත්‍ර ඇඳීමට කැමති සහ ළමා පොතකට චිත්‍ර ඇඳීම ‘මාර චාන්ස් එකක්’ කියල හිතන අය. නමුත් සිද්ධ වෙන්න ඕන කොහොමද? ඒ විෂයය ගැන දැනුමක් තිබෙන, ඒ ගැන ගැඹුරින් හදාරපු, ඒ විෂයයේ බැරෑරුම්කම හඳුනාගත්තු  සහ අවම වශයෙන් ඒ පිළිබඳව අභ්‍යාස කරන පුද්ගලයෙක් හෝ විය යුතුයි. නමුත් ඒ ආකාරයට ළමා පොතකට චිත්‍ර අඳින අවස්ථා ඉතාමත් විරල යි. ලංකාවෙ නම් සිබිල් වෙත්තසිංහ මැතිනිය ඒ විදියට සුදුසුකම් සපුරපු කෙනෙක් විදියට බය නැතුව හඳුන්වන්න පුළුවන්. ඉතාමත් අවබෝධයෙන් ළමා චිත්‍ර ඇඳපු ශිල්පියෙක් විදියට සුමන දිසානායක මහත්මයවත් හඳුන්වන්න පුළුවන්. මේ දෙපළ අදාළ විෂයයට අතගැහුවෙ සහ භාවිතා කළේ ඒ පිළිබඳ හොඳ සහ ගැඹුරු අවබෝධයකින්. මේ දෙදෙනො අතර සිටි තවත් හොඳ ළමා චිත්‍ර ඇඳපු කෙනෙක් විදියට සෝමසිරි හේරත් මහත්මයාව හඳුන්වන්න පුළුවන්. ළමයින් වෙනුවෙන් ඔහු ඇඳි චිත්‍රවල යම් ප්‍රබුද්ධ බවක් සහ කිසියම් හැදෑරීමක් සහිතව වගේ ම ඉතා ගැඹුරින් ළමා මනස අවබෝධ කරගෙන තිබෙන බව පැහැදිලියි. එතනින් මෙහා පිරිසක් හිටියත් ඔවුන’තින් යමක් වෙලා තියෙනවද? වේවිද යන සැකයක් පවතිනවා. මොකද ඒ සමහර නිර්මාණ පට්ට කොපි. එහෙමත් නැත්නම් මම අර කලින් කියපු විදියට ළමයි වෙන්න උත්සාහ කරන වැඩිහිටියන්ගේ චිත්‍ර කියල කියන්න පුළුවන්. වැඩිහිටියන්ට ළමයි වෙන්න පුළුවන්නම් හොඳයි. නමුත් මෙතනදි වෙලා තියෙන්නෙ කිසිඳු අවබෝධයකින් තොරව කෘතීමව ළමයෙක් වීමයි. ඒ කිසිවක් ම නොවේ නම් මුද්‍රණ තාක්ෂණය පිළිබඳ අනවබෝධයෙන් ඇඳපු චිත්‍ර.

ඔබත් කලකට පෙර ළමා කෘති සදහා චිත්‍ර අදින්නෙ නැහැ කියල තීරනය කළ බවට දැනගන්න ලැබුණා. ඒ ඇයි...?

ඔවු... මමත් කාලයක් තිස්සෙ ම ළමා පොත්වලට චිත්‍ර අඳින එක නතර කරල තිබුණා. පසු කලකදි යළිත් ඇඳීම ආරම්භ කළේ ලොකු බලාපොරොත්තුවක් ඇතුව. එනම්: කලාවට, දරුවන්ට වගේ ම රටට ලොකු සේවයක් කරන්න පුළුවන් කියල හිතාගෙන. නමුත් වැඩේට ප්‍රවිෂ්ට වුණාම තේරෙනවා ලංකාවෙ ඒ වැඩේ කරන්න අමාරු බව. අමාරුයි කියනවටත් වඩා සුදුසුයි ‘බැහැ’ කියන වචනය. ඒකට හේතුව ලෙස මම දකින්නෙ ළමා පොතක් ප්‍රකාශයට පත් කරන්නට යන සංවිධානාත්මක පිරිස පළමුවෙන් ම තීන්දු කරනවා අපි මේ පොත මිල කරන්න වුවමනා මේ වගේ ගණනකට කියල. අන්න ඒ මිල ප්‍රමාණය අනුව නිෂ්පාදන වියදම (Production cost) ගණන් බලනවා. එතනදි Production cost බෙදෙන්නෙ මේ විදියට. කර්තෘට 10% යි. වෙළෙන්දට 40% යි. කඩදාසි, මුද්‍රණ වියදම්, පරිගනක අකුරු ඇමිණුම්, චිත්‍ර ශිල්පියා, පිටු සැලසුම් ශිල්පියා සහ අනෙකුත් වියදම් සියල්ල ම පියවා ගන්න සිද්ධ වෙන්නෙ ඉතිරි 50%  ඇතුළෙ. ඒ නිසා ඒ 50% පුළුවන් තරම් අවම වියදමක් කරගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයේ දි අවම මුදලකට කරන ප්‍රධාන ම දේ පොතේ චිත්‍රවලට දරන වියදම. මොකද හැම පිටුවකට ම චිත්‍ර අදින ශිල්පියාට කර්තෘට ගෙවන 10% වඩා ගෙවන්නත් බැහැනෙ. පුළුවන්කම තිබුනත් ගෙවන්නෙත් නැහැ. මේ හේතුව නිසා අතේ තිබෙන සහ වියදම් කළ හැකි මුදලට සරිලන විදියට: ලේඛකයාගේ යාළුවෙක්, එහෙම නැත්නම් අදාළ ප්‍රකාශකයගෙ නිෂ්පාදනවලට දිගටම චිත්‍ර අඳින ශිල්පියකුගේ නිර්මාණ ළමා පොතටත් යොදාගන්නවා. මට මේ වැඩේ අප්‍රසන්න වුනා. නමුත් මම ඇතුළු අපි කණ්ඩායමක් මේ වෙනුවෙන් යම් සටනක් කළා. ඒ සටන පාවා දීපු අයගෙන් මම ඉවත් වුණා. නමුත් මම ළමා පොත් ගණනාවකට චිත්‍ර ඇන්දා. ඒ අතරින් දෙකකට (ගෙජ්ජි මාලය, රජ ගොනා)රාජ්‍ය සම්මාන ලැබුණා. ඊට අමතරව මම ඇඳපු පොත් කවරයකටත් රාජ්‍යය සම්මාන ලැබුණා. එතනදි විශේෂයෙන් ම සදහන් කළ යුතු දෙයක් තිබෙනවා. ඒ කවරය පොතකට යොදාගත් බව දන්නෙත් පොතට සම්මාන ලැබුණට පසුව යි. අද වන තුරු ඒ පොතේ කර්තෘ හෝ ප්‍රකාශකයා මට ඒ පොතෙන් පිටපතක්වත් ලබා දි නැහැ. පොතේ මිල ඉතාමත් අධික නිසා මම එය මිලට ගත්තෙත් නැහැ. 
ළමා පොතකට චිත්‍ර අඳිනවා කියන්නෙ ගීතයකට තනුවක් යොදල ගීතයට ගැළපෙන ගායකයකු හෝ ගායිකාවක ලවා ගායනා කරවනවා වගේ සුසංයෝගයක්. නමුත් බොහෝ ලේඛක ලේඛිකාවො වගේ ම ප්‍රකාශකයො මේ සුසංයෝගයට කැමති නැහැ. ඒ, ඇතැම් විට අදහස් නොගැළපීම වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මුදල් යෙදවීමට තිබෙන ලෝබකම වෙන්න පුළුවන්. ඇතැම් අය චිත්‍ර ශිල්පියාට තිබෙන උනන්දුව තමන්ගෙ වාසියට හරවා ගන්න උත්සාහ කරනවා. මමත් ඒ වගේ දේවලට අහු වෙලා තියෙනවා. වෘත්තිය චිතු ශිල්පියෙක් සහ නිර්මාණ ශිල්පියෙක් විදියට මට මේ ක්‍රමය ඉතාම වෙහෙසකරයි.

මේ ක්‍රමවේදයට පිළිතුරක් නැද්ද?

මොකද නැත්තෙ...? තිබෙනවා. ඔයා දන්නවානේ සමහර අය ඉන්නවා පිං කරන්න කැමති, අපි ගැන වැඩිපුර හිතන, ළමයි පිළිබඳ උනන්දුවක් තිබෙන, සමාජයේ වගකීම පිළිබඳ අවබෝධයක් සහ උනන්දුවක් තිබෙන පුද්ගලයො සහ කණ්ඩායම් ඉන්නවා; ආයතන තිබෙනවා. මම ඇතුළු තවත් කණ්ඩායමක් මේ පිළිබඳ සොයමින් ඉන්නවා. ඒ පුද්ගලයන්ට, ආයතනවලට සහ කණ්ඩායම්වලට අපි ආරාධනා කරනවා ළමයින්ට සුදුසු, වටිනා ළමා පොතක් ඔවුන්ට ලබා දෙන්න පුළුවන් විදියේ වැඩපිළිවෙළක් අපි සකසා තිබෙනවා. ඔයාල ඇවිත් ළමයින් වෙනුවෙන් අපේ මේ වැඩපිළිවෙළට සහයෝගය දක්වන්න. අපි සුදානම් ළමයින්ට සුදුසු චිත්‍ර නිර්මාණ ඇතුළත් කතන්දර පොත් සමාජ ගතකරන්න.

ළමා චිත්‍ර එහෙමත් නැත්නම් ළමයින්ට චිත්‍ර ඇඳීමට ප්‍රවේශ වීමේ දී භාවිතා කළ යුතු න්‍යායක් (Theory) තිබෙනවද?

පැහැදිලිව ම ළමා මනෝවිද්‍යාව නමැති විෂයය තුළ මේ පිළිබඳව ඉගැන්වෙනවා. අන්න එතනදි අපිට නැවතත් පැහැදිලි කරගත යුතු වන ප්‍රධාන ම කාරණය වෙන්නෙ අපි කතා කරන්නෙ ළමයින්ගේ චිත්‍ර ගැනද එහෙමත් නැත්නම් ළමයින් වෙනුවෙන් වැඩිහිටියන් අඳින චිත්‍ර ගැනද යන්න යි. මෙතනදි අපි ළමයින් වෙනුවෙන් වැඩිහිටියන් අඳින චිත්‍ර නමැති මාතෘකාව පසෙකට දාමු. අපි බලමු ‘ළමා චිත්‍ර’ කියන්නෙ මොනවද කියල. පැහැදිලිව ම ළමා චිත්‍ර කියන්නේ විවිධ වෙනත් බලවේගවලින් කිලිටි නොවුණු සුන්දර මනසක ඇතිවෙන හැඟීම් ඔහුගේ හෝ ඇයගේ ශරීර ශක්තියට අනුකූලව ප්‍රතිනිර්මාණය වීම යි. ඒ ළමයා කිසි විටෙක ඒ චිත්‍රය තුළින් බලාපොරොත්තු වෙන කිසිවක් ම නැහැ. ඒ දරුවා තමන් ඇඳි චිත්‍රය තුළින් අනුන් සතුටු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. තරගයකින් දිනල ඉස්මතු වෙන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. දරුවො කරන්නෙ තමන්ට දැනුණ සහ හැඟුණ දේ තමන්ගේ පරිකල්පන ශක්තිය මත ඉදිරිපත් කිරීම යි. මේ තත්ත්වය යි ළමයින් වෙනුවෙන් වැඩිහිටියන් අඳින චිත්‍රවල තත්ත්වයයි අතරෙ බරපතළ වෙනසක් පවතිනවා. මේ දෙක කිසිසේත් ම සමාන කරන්න බැහැ. ඒ නිසා දරුවන්ගේ චිත්‍ර අගය කිරිම, රස විඳීම සහ වැඩි දියුණු කිරීම බොහොම සියුම් ආකාරයෙන් වගේ ම කල්පනාවෙන් කළ යුතු වැඩක්. ඒ පිළිබඳ කතා කිරීම පවා කළ යුත්තේ ඉතාමත් සියුම් ආකාරයෙන්.

එසේ නම් ළමා චිත්‍රය අධ්‍යනය කළ යුත්තේ කෙසේ ද?

මෙය අධ්‍යනය කළ යුත්තේ කෙසේ ද යන්න තව කොටස්වලට බෙදෙනවා.  එහි පළමු කොටසෙදි ළමා මනෝ විද්‍යාව පිළිබඳ යම් දැනුවත් වීමක් අනිවාර්ය යි. ඒ වගේ ම ළමා අධ්‍යාපනය පිළිබඳවත් යම් අවබෝධයක් තිබිය යුතුයි. ඊළඟට චිත්‍ර කලාව පිළිබඳ දැනුමක් තිබිය යුතුයි. මේ සියල්ලට ම වඩා තිබිය යුත්තේ මනුසත්භාවය (මනුසත්කම) යි. එසේ නොවී වෙනත් වුවමනාවන් වෙනුවෙන් ළමයින්ගේ දක්ෂතා මෙහෙයවන්න ගිය විට එය වැරැදි පාරක ගියොත් යම් යම් විනාශකාරි තත්ත්ව ඇති වෙන්න ඉඩ-කඩ තිබෙනවා.

ළමා චිත්‍ර එසේත් නැත්නම් ළමයින් වෙනුවෙන් අදින චිත්‍ර තාත්වික විය යුතුද?

නැහැ... ළමයින් වෙනුවෙන් අඳින චිත්‍ර හෝ ළමයි අදින චිත්‍ර යන දෙක ම කිසි සේත් ම තාත්වික විය යුතු නැහැ. මෙතනදි අපි පළමුවෙන් ම තාත්වික චිත්‍ර යනුවෙන් හඳුන්වන්නේ මොනවද කියල විග්‍රහ කර ගත යුතුයි.  ඔබ තාත්වික යනුවෙන් හඳුන්වන්නේ ඇසට පෙනෙන දේ නම් එය විමසිය යුතුයි. ඇස් පෙනීම තිබෙන හැමෝට ම පෙනෙනවා. මම බරපතළ අභ්‍යාසයක නිරත වී සිටින නිසා, මම උපතින් ගෙනා යම් කුශලතාවක් තව දුරටත් හැදෑරීම හේතුවෙන් එය පෝෂණය වී තිබෙන නිසා මගේ ඇසට පෙනෙන දේ ඒ විදියට ම අඳින්න මට පුළුවන්. තවත් කෙනෙකුට වුනත් ඒ විදියට අඳින්න පුළුවන් ඇති. ඒ එක් එක් පුද්ගයාගේ හැකියාව. ඔබ සතුව පවතින්නේ පුහුණු නොකළ හැකියාව. මා සතුව තිබෙන්නේ පුහුණු කළ හැකියාව. මෙය කලා නිර්මාණයක් විදියට තව ඉදිරියට ගෙනියමු. කැමරාව එන්නට පෙර විශිෂ්ට චිත්‍ර ශිල්පියො ලෙස නම් දැරුවෙ ඇසට පෙනෙන දේ ඒ ආකාරයෙන් ම සිතුවමට නගපු අය. ඒ වෙනුවෙන් ඔවුන් විශාල වශයෙන් මහන්සි වුණා. බටහිර රටවල ඒ පිළිබඳව ම ගොඩනැගුණු ස්වභාවික චිත්‍රකරණය පිළිබඳ න්‍යායන් තිබෙනවා. ඇතැම් බටහිර රටවල චිත්‍ර ශිල්පියො මේ හැකියාව වර්ධනය කරගැනීම සදහා කණ්ඩායම් විදියට උදෑසන ම එක තැනකට ගිහින් තමන් දකින දේ ඇන්දා. ඒ ස්ථානයට ම යළි දවල් දොළහට යනවා. ගිහින් ඒ මොහොතෙ දකින දේ ඇන්දා. ආයෙත් හවස හතරටත් ගිහින් ඇන්දා. එතනදි ඒ චිත්‍ර ශිල්පියො දකින දේ ඇතැම් ආකාරයකට හැඩයෙන්, වර්ණයෙන් වෙනස්කම් ඇති වී තිබෙනවා. ඒ සියල්ල ම මේ අය අධ්‍යනය කළා. කාර්මික විප්ලවයෙන් අනතුරුව කැමරාව නිර්මාණය වුණා. කැමරාව ආවට පසුව වෙනද දවසේ එක එක කාලයේ දී වෙහෙස මහන්සි වී අඳින දර්ශනය වැඩි වෙහෙසක් නැතුව ම තත්පර ගණනකින් කැමරාවට හසු කරගෙන තත්පර ගණනකින් මුද්‍රණ පිටපතක් ගත්තා. ඉන් අනතුරුව චිත්‍ර ශිල්පියො සිතන්න පටන්ගත්තා ‘දැන් අපි මොකට ද ස්වභාවික දර්ශන අඳින්නෙ? අපි දැන් කළ යුත්තේ කැමරාවට කළ නොහැකි දේ’ කියල. එතැන් සිට තාත්විකත්වය කියන සංකල්පය අහෝසි වුණා.

දැන් අපි ඔබේ චිත්‍ර පංතිය දෙසට හැරෙමු. මම දෑසින් දුටු ඔබේ පංතියේ ‘චිත්‍ර උගන්වනවා’කියල දෙයක් මම දැක්කෙ නැහැ කියල යෝජනා කළොත්...?

ඔබේ දැක්මත් නිවැරැදියි. නමුත් චිත්‍ර උගන්වන්න පුළුවන්. ඕනම කෙනෙකුට චිත්‍ර උගන්වන්න පුළුවන්. එහෙම නම් ඊළඟ ප්‍රශ්නය ඇයි අපි චිත්‍ර උගන්වන්නෙ?  එයාට රැකියාවකට යන්න ද? දොස්තර විභාගෙට ලියන්නෙ දොස්තර කෙනෙක් වෙන්න. ඉංජිනේරු විභාගයට ලියන්නෙ ඉංජිනේරුවෙක් වෙන්න. චිත්‍ර ඉගෙනගන්නෙ චිත්‍ර ශිල්පියෙක් වෙන්න. එසේත් නොවේ නම් චිත්‍ර ශිල්පය හරහා වෙනත් රැකියාවකට යන්න.  ගැටලුව මතුවෙන්නෙ එතනදියි. දොස්තර විභාගයට ලියල, දොස්තර කෙනෙක් වෙලා රෝගින් සනීප කරනවා. ඉංජිනේරුවත් තමන් ඉගෙනගත් ශිල්පය පාවිච්චි කරමින් තමන්ගේ ක්ෂේත්‍රයට අදාළ කාර්යයේ නියැළෙනවා. ඒ වගේ ම චිත්‍ර පිළිබඳ ඉගෙන ගන්නත් ආයතන තිබෙනවා. ඒ ආයතනවලින් චිත්‍ර පිළිබඳ උපාධියකුත් ගන්නවා. ඊට පස්සෙ ඔවුන් මොනවද කරන්නෙ? ඔවුන් අර කලින් සඳහන් කළ ද්‍යෛවරයා හෝ ඉංජිනේරුවා වගේ සේවයක් රටට ජනතාවට ලබා දෙනවද? යම් පුද්ගලයකුට අහන්න පුළුවන් ‘ඔවුන් මොනවද කළ යුත්තේ?’ කියල. ඔවුන්ට කළ හැකි දේ තිබෙනවා. ඔවුන්ට පුවවන් මිනිසුන්ගේ මනස වර්ධනය වන ආකාරයේ ඉහළ මට්ටමේ චිත්‍ර අඳින්න. ඒ පිළිබඳ පර්යේෂණ කරමින් රටේ සහ ජනතාවගේ උන්නතිය උදෙසා වැඩ කරන්න. නමුත් එහෙම ක්‍රියාදාමයක් මේ වනතුරු සිද්ධ වෙලා නැහැ. දැන් මම ඔයාගේ පැනයට නියම පිළිතුර සපයන්නම්. මම මගේ චිත්‍ර පංතිය ආරම්භ කරල තියෙන්නෙ දොස්තරල, ඉංජිනේරුවො බිහිකරල ඔවුන් ඒ ඒ රැකියාවලට යොමු කරනව වගේ රැකියාවලට යොමු කරන්න නොවෙයි. මම මගේ චිත්‍ර පංතිය ආරම්භ කරල තියෙන්නෙ වෙනම දෙයක් සඳහා. එනම්, තමන්ගේ දරුව වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් හෝ වෙනත් ඕනෑම කෙනෙක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න මවුපියන්ට පුළුවන් එයාගෙ දරුව මගේ පංතියට එවල, ඒ ළමයගේ යම් කලා කුසලතාවක් තිබෙනවා නම්, ඒ කලා කුසලතාව පුස්කන්න නොදී, මලකඩ කන්න නොදී ඔහු හෝ ඇය කලාව කෙරෙහි දක්වන දක්ෂතාවත් වෘත්තිමය විෂය හා සමානව ම සක්‍රිය කොටසක් බවට පත්කරන්න. එය අදාළ දරුවා වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් හෝ වෙනත් ඕනෑම වෘත්තියක් සඳහා යන ගමන සමබර කරනවා. ඒ විදියට ඒ ඒ දරුවාගේ ගමනට මේ කලාව ඇතුල් කළාම අනාගතයේ දී පූර්ණ මිනිසෙක් ගොඩනැගෙනවා. එසේ නොවුණ හොත් බිහිවෙන්නේ කිසිඳු රසඥතාවක් නැති යන්ත්‍ර වගේ මිනිස්සු. ඒ විදියට රසඥතාවක් නොමැතිව හැදුණ වැඩුණ පරපුරෙන් මේ වන විට රටට, සමාජයට බරපතළ හානි සිදුවමින් පවතිනවා සහ තව දුරටත් හානි සිදු වෙනවා. මගේ උත්සාහය එය සම්පූර්ණයෙන් ම නතර කරන්න බැරි වුණත් හැකි තරම් අවම කරන්න. ඒ නිසා මේ තත්ත්වය වටහා ගන්න පුළුවන් දෙමාපියන්ට පුළුවන් මාත් සමග එකතු වෙලා තමන්ගෙ දරුවගේ අනාගතය යහපත් කරන්න.

සාකච්ඡාව
ජයසිරි අලවත්ත m.j.alawatta@gmail.com



2016/05/27

කිරිදිවැල සංඝමිත්තා බාලිකා විධ්‍යාලයේ පැවති කලා උලේලේ දී පැවැත්වූ දේශනයේ සාරාංශය..... (14.05.2015)

කිරිදිවැල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පැවති කලා උලේලේ දී පැවැත්වූ දේශනයේ සාරාංශය.....(14.05.2015)

දරුවනි......
මෙතන සිටින ඔබ විසින් ඇඳ තිබූ වටිනා චිත්‍ර සියල්ල මම අගය කරනවා! රස විඳිනවා ! නමුත් මම දන්නවා ඔබ කිසිවෙක් අනාගතයේ දී චිත්‍ර ශිල්පිනියක ලෙස වෘතිකයෙක් වෙන්න කැමති නැති බව...!. ඔබේ දෙමාපියන් ගේ ප්‍රාර්ථනාවත් එය නොවෙන බව මම දන්නවා...මාත් හිතන්නේ නෑ එහෙම වෙන්න ඔන කියලා...

ඒවගේම ප්‍රාර්ථනා කරන්නෙත් නෑ ඔබ අතරින් කෙනෙක් චිත්රෙ ශිල්පිනියක් විය යුතුය කියලා....
නමුත් මම ප්‍රාර්ථනා කරනවා.. ඔබ සැවොම හොඳ නිර්මාණ රසවිඳි හැකි රසවතුන් පිරිසක් වන්න ඕන කියලා...! !

අපි පංති කාමරය තුළදී විෂය නිර්දේශයට අනුව කරන අධ්‍යාපන කටයුතු වලට චිත්‍ර විෂය අයිති නැති වෙන්න පුලුවන්... ඒත් ඒ විෂය ගැන දැනුමක් අවබෝධයක් හැකියාවක් ඔබට තියෙනවානම්, ඔබ විද්‍යාව, වානිජ, කලා හෝ තාක්ෂණ විෂය ධාරාවන් හැදෑරුවත් ඒවා වැඩි දියුණු කර ගන්න චිත්‍ර කලාව ඔබට උපකාරි වේවි....මග පෙන්වාවි.

මට කාටුන් චිත්‍ර කලාව ගැන කතා කරන්න ආරාධනය කරල තියෙනවා..
එය විෂය නිර්දේශයටත් අයිතියි ලු.
හොඳයි... කාටුන් චිත්‍රය කියන්නේ මහා විශ්වය වගේ වන චිත්‍ර කලා වපසරියක් තුළ තියෙන පුංචි ග්‍රහ ලෝකයක්.

මම එහෙම කියන්නේ ඇයි? අපි දන්නවා විශ්වය හා එකට බැඳුණු විවිධ ග්‍රහ ලෝක රාශියක් තියෙන බව. ඒවායේ ගුණය, නැතිනම් පිහිටීම හා පැවැත්ම එකිනෙකට වෙනස්
මේ ග්‍රහලෝක වගේ කලා ලෝකයේ තියෙන විවිධ කලාංගයන් ගේ ගුණයත්, පැවැත්මත් විතරත් නෙවෙයි, රසයත් වෙනස්. . ඒ නිසා මේවා රස විඳිනකොට අපිට ඒ ගැන හොද අවබෝධයක්, දැනුමක් තියෙන්න ඕනෑ. නැතිනම් අපි අමාරුවේ වැටෙනවා.

ඇයි මම එහම කියන්නේ...?

අපි නිර්මාණාත්මක චිත්‍රය නැතිනම් පේන්ටින් එකක් කියල හඳුන්වන චිත්‍රයත්.. වාණිජ චිත්‍රයත්... අප කොමර්ෂල් ආට් කියල හඳුන්වන කලාවත්... කාටුන් කලාවත්.. අනිත් කලාංගයන් එක්ක එකම තලයක තියල රස විඳින්න බෑ. 

ඒ ඒ චිත්‍ර මාධ්‍යයන් හසුරවන්නේ විවිධ අරමුණු සදහා. ඒවයේ අරමුණු, මාධ්ය, තාක්ෂණය එකිනෙකට පරස් පරයි. එකක වැඩිවෙන ගුනයක් අනිකකදී අඩුවෙන්න පුලවන්. මෙය සංඛීර්ණ තත්ත්වයක්. මේවා ගැන පංති කාමරයේ දි ඔබට කියල දෙනවද කියල මා ඇත්තටම දන්නේ නැ... සිලබස් එකේ තියෙනවද දන්නෙත් නෑ. නමුත් මේවා තමා දැනගත යුතුම දේවල්. 

කොහොම හරි කමක් නෑ... කාටුන් කලාව උපදින්නේ මුද්රිත මාධ්‍යත් එක්ක. එය සීමා සහිත වපසරියක ජීවය ලැබුවත් විශාල ජනකොටසක් අතරට යන කලා මාධ්‍යක්. එයින් නිසි ප්‍රයෝජනයක් අපි ගන්නවාද ? නැද්ද? කියන එක වෙනම ප්‍රශ්නයක්. හැබැයි ඒ ගැනත් හිතන්න.

අපි හැමෝම කාටුන් ශිල්පියෝ. මම එහෙම කිව්වොත් ඔබට හිනා යයි. කමක් නෑ.. නමුත් ජීවිතයේ එක් වරක් හෝ අපිහැම කෙනෙක්ම කාටුන් ඒකක් ඇදලා තිායනවා. නැතිනම් කාටුන් එකකට සුදුසු සිතුවිල්ලක් වත් හිතේ පහල කරගෙන තියෙනවා...‍ නමුත් ඔවුන් එය දන්නෙ නෑ.

විශේෂයෙන් ඔබ වැනි දරුවන් කාටුන් ශිල්පීන්ට බොහෝ සෙයින් සමාන වෙනවා.
මට අවසර දෙන්න පොඩි කතාත්දරයක් කියන්න...

ඉස්සර එකමත් එක රටක හිටපු රජකෙනෙකු ගේ මාලිගාවට හොරෙක් පැන්නා.

මේ හොරා රාජපුරුෂයන් විසින් අල්ලා ගත්තෙ රජ තුමාගේ ඇඳුම් වියන විශේෂ කාමරයේ දී. ඉතිං රාජ පුරුෂයෝ හොරාගෙන් ප්‍රශ්න අහන කොට හොරා කිව්වා මම ආවේ රජ්ජුරුවන්ට ලෝකෙ තියෙන හොඳම ඇඳුම වියල දෙන්න කියලා. රාජ නියෝගයකට අනුවයි කියලා.රාජපුරුෂයෝ ඒ කතාව පිළි ගත්තා. ඒ අයත් කැමතියිනේ රජ්ජුරුවන් ගේ ප්‍රසාදයට ලක්වෙන්න. වාසි ලැබෙන්නේ එතකොටනේ. 

මේ හොරාට දැන් රාජපුරුෂයෝ එකතුවෙලා රජතුමාගේ සලුව වියන්න ඕන සියලු පහසුකම් සලසලා දුන්නා. කෑම, බීමවිතරක් නෙවෙයි ඊල්ලපු සියලු පහසුකම් දුන්නා.. ඉල්ල්න ඉල්ලන දේ දැන් මේ හොරාට ලැබෙනවා.... එයා සලුව වියනවා, වියනවා,.!..වියනවා.!!වියනවා!! එත් රාජපුරුෂයන්ට සලුව පේන්නේත් නෑ... ! සලුව වියල ඉවරවෙන්නෙත් නෑ!! මේ ගැන රාජ පුරුෂයන් හොරාගෙන් අහනවා. හොරා මොකක්ද කිව්වෙ දන්නවද?. හොරා කිව්වා එ් වියන සලුව පේන්නේ ..

බොහොම උගත්, නැණවත් අයට විතරයි කියලා. දැන් හැම දෙනාම කලබල උනා. කවුද කැමති තමන් මෝඩයෙක් කියල කියන්න. නැතිනම් පෙන්වන්න.. 

ඔය බොරුවට සහතික අරගෙන තනතුරු දරණ මෝඩයන්ට මේ සලුව පේනෙන්නේ නෑ කියලත් හොරා කිව්වා.....දැන් හරිම ගැටලුවක් ඇතිවුණා. 
සලුව බලන්න ආව රාජපුරුෂයෝ විතරක් නෙවෙයි, රජයේ උසස් නිලධාරීන්ටත් සලුව පෙනුනේ නෑ. නමුත් ඒ කවුරුත් කිව්වෙ නෑ සලුව පෙනෙන්නේ නෑ කියලා.

ඒ ඇයි?. ඒ කවුරුත් කැමතිවුනේ නෑ තමන් මොඩයෙක් කියලා අනිත් අයට පෙන්වන්න. රජයේ මැති ඇමතිවරුත් මේ උගුලේ අහුවුණා...
දන්නවද? රාජ්‍ය නිධාරීන් , උගතුන් , බුද්ධිමතුන් විතරක් නෙවෙයි අන්තිමේදී රජ්ජුරුවොත් මෝඩයෙක් වෙන්න අකමැති නිසා මේ සලුවේ ලස්සන වර්ණනා කළා...

දැන් මේ සලුව ඇඳගෙන රජ්ජුරුවෝ රට වටේ සංචාරය කරන නැකැත් දවසත් ආවා. ඔබ හැමෝම පෙරහැර දැකලා ඇතිනේ ... පෙරහැරේ දැන් දියවඩන නිලමේ යන ගාම්භීර ගමන් විලාසය මතකද?

අන්න ඒවගේ ජ්ජුරුවෝ අර හොරා වියපු සලුවත් ඇඳගෙන වීදි සංචාරය කරනවා..!. අග මෙහෙසියයි අංතප්පුර බිසෝවරුයි.. මැති ඇමතියොයි, නිලධාරියෝ ඔක්කෝමයී පස්සෙන් එනවා. හක් පිඹිනවා. කොඩි ලෙළ දෙනවා.. නැට්ටුවෝ නටනවා... පෙරහැර හරිම ලස්නයි..... රට වැසියෝ රජ්ජුරුවන්ගේ පුදුම ඇඳුම දෙස බලාගෙන සතුටු වෙනවා. එහි ඇති වර්ණ, මෝස්තර ගැන වර්ණනා කරනවා. ඒ අයත් මෝඩයො යෙන්න කැමතිනෑනේ.....

නමුත් මේ පෙරහැර බලන්න ආපු ඔබලා වැනි ළමයින් පිරිසක් මේ සිද්ධිය දැකලා කලබල වුණා... ඒ අයට හිනා ගියා ... හු.හූ හූ .උ උ උ ..කියාගෙන රජ්ජුරුවො ඉස්සරහට ගිය මේ ළමයි කිව්වා මොකද මේ මහ රජ්ජුරුවො හෙලුවෙන් යන්නේ කියලා.......

ඔන්න දැන් කාට කාටත් අවබෝද වුණා පන්ඩිත බව පෙන්වන්න ගිහින් තමන්ම රුවටුනා නේද? කියලා.....ඉතිං ලග හිටපු දේවින් වහන්සේ කෙනෙක් ගෙන් සලුවක් ඉල්ලාගෙන රජ්ජුරුවෝ තමන්ගේ හෙලුව වහගෙන මාලිගාවට ගියා කියමුකෝ.......

හරි....ඇයි මම මේ කතාව ඔබට දැන් කිව්වේ...??

සාමාන්‍යයෙන් අපේ මිනිස්සු හැමදාම හැම හොරාටම අහුවෙන නිසා. රුවටෙන නිසා..! .බලයට රුවටෙන නිසා..!. තමන්තේ දැනුම ගැන විස්වාසයක් නැති නිසා..!. විශේෂයෙන් වැඩිහිටියෝ ඇත්ත.. යුක්ත පිලිගන්නේ නෑ . තමන්ගේ වාසිට..!!

අර රජ්ජුරුරවන්ගේ නිලධාරි සහ ජනතාව වගේ මෝඩ වැඩ කරනවා.... නමුත් අවංක.. නරක් නොවු හිත් ඇති ළමයි ඇත්ත දකිනවා...ඇත්ත කියනවා...මේ ගුණය වැඩිහිටියන් වුනාමත් අපි රැක ගන්නේ නෑ.. ඒක අපිරැක ගන්න ඕනෑ ..!

විශේෂයෙන් කාටුන් ශිල්පීන් ගේ කාර්ය භාරයත් අර ළමයින්ගේ කාර්ය භාරයට සමානයි...මට කියන්න ඒන වුනේ ඒකයි. ඇයි මම ඒහෙම කියන්නේ... 
ඔවුන් තමන් දුටු ඇත්ත එදා රජ්ජුරුවන්ට නොකිව්වා නම්.... ලොකු ලොකු ලාබ ප්‍රෙයා්ජන බලාපොරොත්තුව ඉන්න ඇමතිවරු හින්දා අදත් රජා ඉන්නේ හෙලුවෙන් . 

කාටුන් නිර්මාණ ශිල්පියෙක් සහ සුලඹ උගත් වැඩිහිටියාත් අතර දැවැන්ත වෙනසක් තියනවා.
සුලඹ වැඩිහිටියා කොතරම් උගතෙක් වුනත් තමන්ගෙ වාසිට ඕනම නරක, මෝඩ, පහත් වැඩක් කරනවා...!එහෙම කරන එක නරකයි..! වැරදියි..!

වරදක්, කවුරු හරි කරනවා නම් එය පෙන්වලදෙන එක හොද ගනියක්..! අද සමහරැ කියන්නේ ඒක මොඩකමක් කියලයි. නමුත් ඒ කතාව වැරදියි.
කාටුන් නිර්මාණ ශිල්පියා හැම විටම කරන්නේ අර පුංචි ළමයි වගේ ඇත්ත රටට පෙන්වල දෙන එක...!

නමුත් අපේ රටේ ඒක ඒවිදිහටම සිදුවෙනවද කියන එක වෙනම ප්‍රශ්නයක් .!
ඒ නිසා මේ දේවල් ගැන ඔබලා තවදුරටත් හිතන්න ඕන.! සාකච්ඡා කරන්න ඕන.!!එහෙම හිතල එවැනි දේවල් ගැන හොද අවබෝධයෙන් හිටියොත් පටු පරමාර්ථ සදහා වැරදිවැඩ කරන, එවැනි වැඩවලට අනුබල දෙන අයට ඔබට ඇත්ත පෙන්වල දේන්න පුලුවන් වෙයි. අර පුංචි ළදයි කලා වගේ. 

ඔබ කවද හරි වැඩි හිටියෙක් වුනාම දැනුම අවභෝධය ඇති වැඩිහිටියෙක් වෙන්න ඕනෑ. වැඩිහිටි වෙන මනස කුනුකන්දල් වලින් අපිරිසිදු නොකර තියාගන්න ඕනෑ. ළමයෙකුගේ මනස වගේ පිරිසිදුව තියාගන්න ඕනෑ. එහෙම කරන්න කියල මම ඔබට ආරාධනය කරනවා.... හැබෑ කාටුන් ශිල්පියත් , නිර්මාණ ශිල්පීන් හැමෝමත් නිතර නිතරම අභ්‍යාස කරලා පිරිසිදු කරගන්නේ මනසයි.. කලා නිර්මාණ වලින් සමාජයේ ජීවක්වෙන අය ගේ මනසටයි කතා කරන්නේ.. ඒ නිර්මාණ හරහා මිනිසුන්ගේ මනස පිරිසිදු වෙනවා. ඒ මනස පිරිසිදු වෙන එකට අකමැත් පිරිසකුත් ඉන්නවා.. කවුරු වගේ අයද? අර සාලුව වියපු හොරා වගේ අය....

කුරුවල් වුන මනස් ඇති මිනිසුන්ටක්, කුරුවල් වුන උගතුන්ටත් අර එකමත් එක රටක හිටිය අයවගේ වෙන්න ඉඩ නොතියන්න කටයුතු කරන්න ඔබට පුලුවන් වෙන්නේ මේවා ගැන හොද අවභෝධයකින් හිටියොත් පමනයි. කාටුන් කලාවෙන් ඔබට කියන්නේ එයයි.

2016/05/24

ගුරුවරයා, ගෝලයා, නිර්මාණය සහ අම්මා....




ළමයා චිත්‍රය අදියි.
“සර් මම බිම ඉදගෙන අදින්නද? “
“හොදයි..කැමති විදිහට තියාගෙන අදින්න.“
“ සර්.. මම චිත්‍ර අදින්න කැමතිනෑ..“
“ ඒ මොකද?  චිත්‍ර අදින්න අකමැති ? “
“ උදේ නැගිටින්න ඕනෑ! ඉස්කෝලෙ යන්න ඕන! පාඩම්කරන්න ඕන! ගෙදරඇවිත් ටියුෂන් යන්න ඕන!  පාඩම්කරන්න ඕන! කන්න ඕන..!. නිදියන්න ඕන.!. මට ඕනදේ  එකක්වත් කරන්න වෙලාවක් නැ....“
“ඉතින් ඔයාට මොනවද කරන්න ඕන? “
“සර් මට නිකං ඉන්න ඕන..!!.“
ගුරුවරයා තිගැස්සින. ඔහුගේ උගුර වියලී ගියා සේ විය. ළමයා බිම දිගා වී පැස්ටල් කූර නිදහසේ මෙහෙයවමින් යමක් අදියි. ඔහුගේ එක් අතක් හිසේ හිරවී තිබින. අනිත් අත පැස්ටල් කූර සමග එහෙ මෙහෙ දුවයි. පාද   දනහිසින්  එසවී රිද්මයකට නැලවෙයි. සුදු කොල යේ නිදහසේ දුවන රේඛා වලින් පිරෙයි. රේඛා අතර ඇති හිඩැස් විවිධ වර්ණ වලින් විචිත්‍ර වෙයි. ගුරුවරයා ඒ දෙස බලා සිටින්නේ කුතුහලයෙනි.
“ චිත්‍ර අදින්න ආස නැතිවුනාට ඔයා හරි ලස්සනට අදිනවානේ? “
ළමයා අදින වැඩේ නතරකර හැරී බලයි.. වටයක් බිම දිගේ කැරකීගිය ඔහු කදින් එසැ වී චිත්‍රය දෙස බලයි.
“මේක ලස්සනද?“
 ඔහු නැගිට ගුරුවරයා වෙත පැමිණ ඔහු වැලදගනී.
“සර් මේක ඇත්තටම ලස්සනද?.... ම් ම් ම් ..ඒත් අම්මා දැක්කොත් කියයි මේක කැතයි කියලා..“
ළමයා   එක් අතකින් ගුරුවරයා අල්ලාගෙන අතේ වූ  පාට කූරෙන් ගුරුවරයා ගේ කලිසමේ ඉරි අදියි.
“හරි.. හරි.. අපි අද අම්මව පුදුම කරමු.. ඔයාට හොදට අදින්න පුලවන් කියලා අම්මට පෙන්නමු... දැන් ඉතින් ඉක්මනට ඉතිරි ටිකත් පාටකරමු...“
ළමයා ගේ මූන දිලිසෙයි. ඔහු අවිස්වාසයෙන් ගුරුවරයා දෙසබලයි.
“ හරි දැන් මොකද කියන්නේ... යමු අපි අදිමු.....“
ළමයා ප්‍රීතියෙන් උඩ පැන නැවත චිත්‍රය ඇදීමට යොමුවෙයි...

ගුරුවරයා චිත්‍ර අදින ළමයින් අතරින් ඇවිදිම් කතාකරයි....
“ අපි අහස අදින කොට... අපි අදින  අහස ඇත්තටම අපි දැකපු අහස කියල හිතන්න.... දන්නවද? අපි දැන් මේ අදින චිත්‍රය උදේ වරුවක්ද?  නැතිනම් හවසද? මතක්කර ගන්න...... අපි හිතමු අපි මේ අදින්නේ උදේ කියලා... මතකද උදේ අහස..? උදේ අහසයි  හවස අහසයි එකව ගේද?  වෙනස්ද? මොකද්ද තියෙන වෙනස...?.....“
 ගුරුවරයා දිගටම කතා කරයි... ළමයි චිත්‍ර අදිමින්ම  පිලිතුරු දෙයි. ඔවුන් පැහැදිලිවම කියන දේ ගුරුවරයා ගේ සතුටට හේතුවෙයි. ළමයා හවස අහසේ වර්නවත් බව දැක තිබේ... උදේ අහසේ දීප්තිමත් බව දරුවා දැක ඇත... මේවා දරුවා හිතාමකා නිරීක්ෂණය කර නැත. නමුත් දැක ඇති දේ ඔහුට මතකය. මේ මතකය අපි විසින් ස්ථිර කලයුතුය.. දකින දේ නිරීක්ෂණය කිරීම, එ්වා රස විදීමට දිරිමත් කල යුතුය.. රස විදීමෙන් ලබන අවබෝධය අපි අදින ලියන දේ සදහා සුදුසු ලෙස යොදා ගත යුතුය.. ඒ සදහා ඔහු ගේ භාවිතාව  නිර්මාණ ශිලි බව අපි හදුනාගෙන එය අගය කල යුතුය. දිරිමත් කළයුතුය.
“සර්...කෝච්චිය වේගයෙන් යනවා.... මම ඒක ඇන්දා.. එතකොට ඒකේ රෝද , මිනිස්සු පැහැදිලිව පේන්නේ නැ..“
දරුවා කියන දෙයින් ගුරුවරයා ඒ දෙස බලයි....ළමයා අදින ලද චිත්‍රය දෙස බලමින් එහි ඇද ඇති දේ විස්කර කරයි...
“ කෝච්චිය වේයෙන් යනවා... පාලම උඩින්... පාලම පේන්නෙත් නෑ.... මේ කතිර පාලමේ ඒවා...“
“ සර්.මේ යට තියෙන්නේ ගග..  කෝච්චියේ හෙවනැල්ල ගගටත් වැටිලා........“ 
ළමයා සිනාසෙමින් කියයි.
“සර් දැකල තියෙනවද ඒක?...“
ළමයාගේ නිරීක්ශණ ශක්තිය කෙතරම් තියුනුද? මෙය ඔහුට කිසිවෙක් උගන්වා නැත. ඔහු අත්දැකිම පරිසරය විදීම තුලින් ම ලබාගත් අවබෝධයයි... මේ විදීමේ  ශක්තිය.. සහ විදගත්දෑ ඔහුගේම ක්‍රමයකට ප්‍රකාශ කිරීමට ඔහු දරණ උත්සාහය අපගේ අවධානයට හා සැලකිල්ලට යොමු වෙනවාද?



2016/05/20

ළමයා, චිත්‍රය සහ අම්මාගේ ආදරය




අපි කවුරුත් චිත්‍ර අදින්න කැමතියි. ඒ සදහා අපි කාටත් හැකියාවක් තියෙනවා. මේ බව දන්න අය නම් අඩුයි. මොකද අපි හුරුවෙලා, නැතිනම් ඉගෙන ගෙන තියෙන්නේ.. අපිට යමක් පුලුවන් වෙන්න නම් ඒක කාගෙන් හරි  ඉගෙනගන්නම ඕන කියන මතය නිසා.
“ආ...එයා හරි උගතා. විභාග ඔක්කොම එයා පස්කරල තියෙන්නේ.. අපිට වඩා එයා ඒ ගැන ඉගෙනගෙන තියෙන නිසා හැම දෙයක්ම දන්නවා.“    
මේක සමාජ මතයක්. දැනුම පිළිබද සමාජ කතිකාව එහෙමයි. නමුත් අපේ අධයාපන ක්‍රමය තුල ප්‍රවීනත්වයක්  ලබන අයෙක් සියලු විෂයන් පිලිබද ව ප්‍රවීනත්වයක් දරන්නෙක් වෙනවාද? එක් විෂයක් පිළිබදව ඉගෙන ගත් අයෙකු සියලු විෂයන් පිලිබදව විශිෂ්ටයෙකු  බවට පත්වෙනවාද? මේක බරපතල ප්‍රශ්නයක්.

අපි දන්නවා කිසියම් විෂයක් ගැන  පුලුල් අධයාපනයක් ලබන කෙනෙක්  සමාජයේ බාහිර කරුණු පිළිබදවද සංවේදී මනසකින් යුතුව ඉන්නා අයෙකු විය හැකි බව. නමුත් අද පවතින තරගකාරී  රටාව තුල කුඩා අවදියේ පටන්ම මිනිසා ජයග්‍රහනය පසුපස හඹායන්නන් වී අවසන්.  එහි ප්‍රතිඵලය කුමක්ද? ඔහු ලෝකය සහ අනෙකුත් සියලු කරුණු කාරනා අමතක කරනවා. තම ඉලක්ක ගත කඩුල්ල පැනීම සදහා පමණත්  ඔහු සූදානම් වෙනවා.

ජයග්‍රහනය ලැබූ පසු ඔහු සමාජයේ බලවතෙක්. ඔහු හින්නේ නෑ තමන් කොටුවී ඉන්නේ තමන් ඉගෙනගත් දැනුම් පරාසය තුල පමණක් කියලා. තමන්ගේ බලයට නතුවෙන පිරිස පාලනයකිරීම සහ තම බලය තමන් නොදන්න විෂය කාරණා සදහා ද ඔහු පටලවා ගන්නවා. මෙය අද සමාජය තුල දැකිය හැකි බරපතල ගැටලුවක්.

මේ ඛේදවාචකය සමාජයට බලපාන අයුරු ඇත්තටම හානිකරයි. කනගාටු දායකයි. නමුත් මේ හානිය දකින්න මේ හානිය කරන අයට පුලුල් දැක්මක් නෑ. ඒ ඔවුන්ගේ දැනුම ඒක කාරණාවක් වටා කේන් ද්‍රගතවී ඇති නිසා. ලෝකයේ තමන් නොදන්නා කරුණු කාරනා තවත් ඇති බව ඔවුන් ට හිතන්නවත්, වටහා ගන්නවත් බෑ.  දැනුම විසින්ම  ඔවුන් මුලාකර තියෙනවා. සමාජය ද මේ උගතුන්ට අභියෝග නොකරන තත්ත්වයකට පත්වෙනවා. ඒ කාරණා දෙකක් නිසා. එක. තමන් මේ උගතා තරම් ඉගෙනගෙන නෑ. මම දන්නේ නෑ. කියන හීනමානය නිසා. අනෙක. මේ උගතා අත්පත්කරගෙන අැති එමාජ බලයට ඇති බිය නිසා. ඔහු ගේ මතයට විරුද්ධ වුවහොත් සිතුවෙන පාඩුවට බිය නිසා.

මේ ක්‍රමය සමාජයක් ඉදිරියට ගෙනයාම සදහා  බරපතල හානි සිදු කරනවා.

ඉහත කී  උගතුන් සිය දරුවන් තමන් වැනි උගත් ජයග්‍රාහකයන් පිරිසක් කිරීම සදහා කැප වෙනවා. ඒය හොදින් හෝ නරකින් කරන්න ඔවුන් පෙළඹී තිබෙනවා..මේ කියන්නේ එවැනි අයෙක් ගැන අපූරු සිදුවීමක්. ගැනයි. ..

 ස්ථානය,  ළමා චිත්‍ර පංතියක්.

චිත්‍ර පංතියට එන ළමයින් ගේ නිර්මාණ පංතිය අවසානයේත්, අරම්භයේත් ළමයින් ගේ දෙමාපියන්  විසින් බලන්න ම ඕන. ඒ අය තම දරුවාගේ චිත්‍ර රසවිදින්න ම ඕන.  නිර්මාණාත්මක (හිකුවක්කාර) ගුරුවරයා ගේ මේ  නියෝග දෙමාපියන්ට කරදරයන් වූවාට සැකයක් නැ. එ්ත් දරුවාට ඇති ආදරයත් ඔහු අනාගතයේ සමාජයේ ලොක්කෙකු කරන් ඇති උවමනාව නිසා ත් මේ  අලුත් නියෝගය පිළිගැනීමට එකග වෙනවා.  තම දරුවා  අදින චිත්‍රය බලන්න කෙටි වෙලාවක් ගතකරන්න දෙමාපියෝ බොහොම අමාරුවෙන් කාලය කළමණා කරණය කර ගන්නවා.
“සර්ට පිස්සුද මංදා..  තියෙන වැඩ මදිවට. මට තව වැඩ ගොඩක් තියෙනවා.. මොනවා බලන්නද මම ඕකේ? “
අම්මාට සිතෙන්න ඇති.

ඒත් දරුවාට ඇති ආදරය නිසා දරුවා අදින චිත්‍රය බලන්න අම්මා පංතියට යනවා... පංතිය පුරාම ළමයි ඇදපු චිත්‍ර වලින් සරසලා.. හරියට පාට පාට මල් පාත්තියක් වගේ කියලයි අම්මාට දැනේන්නේ. තමන් කිසි දිනක නොගිය තැනක හුදකලාවූ බවක් ඇයට දැනෙන්න ඇති. වට පිට බලන ඇයට තම දැනුමට, රසයට, ගැලපෙන  ලස්සන චිත්‍රයක් පේනවා. ඇය නොදනුවත් වම ඒ වෙත ඇදි යනවා. නමුත් දරුවා  ඇයගේ ඇගේ එල්ලී වෙනත් පසෙකට අදිනවා...
“ කරදර නොකර එන්නකො..ඩාලිං.. මට තව එපොයිමන්ට් එකකටත් යන්න තියෙනවා. ඔයා ඇත්දේ මේකද? සෝ බියුටි ෆුල් ඩාලිං....“
“ නෑ..නෑ  අම්මි. මම ඇදපු එක තියෙන් ඔතන නෙවෙයි අතන“
ඒ වනවිට තමන් කැමති චිත්‍රය ලග නතරවු අම්මා ගේ  මූනේ වූ සතුට දියවී ගිහින්.
“මේක ඔයා ඇදපු එක නෙවෙයිද?
අැය පුලටු වූ මුනින් දරුවා  ඇදගෙන යන දෙසට ඇදෙනවා.
“මේකයි අම්මි මම ඇදපු චිත්‍රය අම්මි.“
“ මේ මොකද්ද ? කෝ බලන්න.? බලන්නකෝ මේකේ කැත?.“
ඇයගේ දෑස අැය කැමති වූ චිත්‍රය සොයා යන අයුරු ගුරුවරයා ද බලා සිටිනවා. ඇය තම ඇගේ වෙලී තමා ඇදි චිත්‍රය දෙසට අම්මාගේ අවදානය යොමුකීරීමට යන දරුවාගේ කන මිරිකමින්..
“සර් ඔයාට අර ළමයට වගේ චිත්‍ර  අදින්න කියලා දුන්නේ නැද්ද?
“බලන්න එයා කොච්චර ලස්සනට ඒක ඇදල තියෙනවද?  රූප ලස්සනයි.. කෝ ඔයා අදල තියෙන මිනිස්සුන්ගේ අත්..?  බලන්නකෝ කැත. මටත් එක්ක ලැජ්ජයි නේ....“
“එහෙම කියන්න එපා.. බලන්න.. මෙයාගේ චිත්‍රය කොච්චර ලස්සනද? එකේ අනිත් ළමයි ඇදපු එ්වට වඩා වෙනත් විශේෂත්වයක් තියෙවා. හරිම ස්වාධීනයි.  එයාටම ආවේනික ප්‍රකාශණ රටාවක් එ් චිත්‍ර යේ තියෙනවා“
“ අම්මා ගේ ග්‍රහණයෙන් දරුවා ලද පීඩනය සමහන් කිරීමට ගුරුවරයා මැදිහත් වුණා.
“ එහෙම කියන්නේ කොහොමද සර්. බලන්න අර ළමයා හොදට, ලස්සනට මිනිස් රූප ඇදල තියෙනවා.  බලන්නකො .?. මෙයා ඇදල තියෙන ඒවයේ කැත. ඇහැ නෑ.. අත් කකුල් වෙන වෙන තැන්වල ..ඇයි සර් මෙයා ට කියල දුන්නේ නැද්ද හරියට අදින්න?“
අම්මා කතාකරන්නේ  කෝපයෙන්  හා කලකිරිමේනි. දරුවා මහත් ආසාවෙන් බලා සිටින්නේ තමන්ගේ චිත්‍රය අම්මාට පෙන්වා සතුටු වීමටය. එහෙත් අම්මා ගේ අවධානය වෙනත් චිත්‍ර යකට යොමුවී ඇත. එම චිත්‍රය හා  තම දරුවාගේ චිත්‍රය සසදන ඇය , අනිකා ගේ චිත්‍රය තම දරු වාගේ චිත්‍රයට වඩා හොදය යන විනිශ්චයේ සිට උරනවී සිටියි.

දරුවන් ගේ  දැක්ම නිරවුල්ය. ඔහු සමාජ දැනුමින් කුරුවල්ව ගොස් නැත. තරගකාරී සමායේ කුහකත්වය පිලිබද ව අවබෝධයද හීනය. එනිසාම  දරුවා ජාන හා එක්කර ගෙන ගෙන එන  සහජ බුද්ධිය නිරවුල්ව           ප්‍රයෝජනයට ගනී. ඒ තුළයි නිර්මාණාත්මක ප්‍රවේශයය සිදුවන්නේ. අපේ දෙමා පියන් මේ නොසලකා හරින්නේ දරුවෙකු  තුල ආරක්ෂා කරගත යුකුම වූ විශිෂ්ඨ ගුණ ධර්ම හා සුවිශේෂී හැකියාවන් මොට කරදැමීමට නේද?

ගුරුවරයා ළමයාත් උගක් අම්මාත් අතර  හිරවී සිටියි.... ඔහු පිටස්තරයෙකු ගේ තත්ත්වයට පත්වීම තවක් ඛේදවාචයක ආරම්භයයි.









2016/05/18

ළමයා සහ වර්ණ........





චිත්‍ර කලාවේදී ළමයෙක් සහ වර්ණ හැසිරෙන ආකාරය කෙසේ වෙයි ද? මෙය රසවත් වගේම අභියෝගාත්මක  කාරණයක්. මම එහෙම කිව්වේ වැඩිහිටියා ට දරාගත නොහැකි නිදහසක් සහ ස්වාධීනත්වයක් ළමා සිත්තරා බුක්තිවිදින බව පෙනෙන නිසයි. මෙය දැනුමින් පෝෂණය වූ වැඩිහිටි අයට දරාගන්නට පවා බැරිවෙන තරමට ප්‍රබලයි.

මම මේ ගැන කියවපු අපුරු කතාවක් කියන්නම්.

මේ කතාව අපේ ප්‍රවීන ලේඛකයෙකු මෙන්ම කලාකරුවෙකු ද වන සයිමන් නවගත්තේගම මහතා ඔහුගේ පොතකටද ලියා එක්කර  තිබෙනවා.

කතාව කෙටියෙන් මෙහෙමයි.

අධ්‍යාපන ක්ෂේස්ත්‍ර යේ  කටයුතු කරන උසස් නිලතල හිමි මහාචාර්යවරු පිරිසක් පර්යේෂණයක් සදහා දුෂ්කර  ප්‍රදේශයක පාසැලකට ගිහින් තිබෙනවා. එම පාසැලේ  ළමුන් එක් ස්ථානයකට කැදවූ මේ පිරිස සැන්දෑයාමයේ දර්ශණයක් සිතුවමට නැගීමට දරුවන්ට නියෝග කළා. දැන් ළමයි  ලහි ලහියේ චිත්‍ර අදිනවා..විදුහල්පති තුමා සහ ගුරුමඩුල්ල නිලධාරීන්ට මහත් ගවුරවයෙන් සංග්‍රහ ආදී කටයුතුවල නිරතවුණා. දැන් චිත්‍ර අදින්න නියමිත කාලයත් ගෙවිලා.. නිලධාරියෝ චිත්‍ර ළමයින්ගෙන් එකතු කරගෙන ඒ චිත්‍ර ගැන ප්‍රබුද්ධ කතාබහක.

ඔන්න සියලු දෙනාගේම අවධානය දිනාගත් චිත්‍රයක් හමුවුණා. අනිත් ළමයි ඇදපු චිත්‍ර වලට වඩා මේ චිත්‍රය සම්පූර්ණයෙන්ම වෙනස්. මෙම චිත්‍රය ඇදපු ළමයා ඒ චිත්‍රය ඇදල තිබුනේ එක් වර්ණයකින් පමණයි. වර්ණයද රතු. මහාචාර්යවරු  මේ චිත්‍රය පිලිබදව කෙස් පැලෙන තර්ක විතර්ක ඉදිරිපත් කරන්න වුණා. මේ මතවාද විදුහල් පතිටවත් ගුරුමණ්ඩලයේ අයටවත් තේරුනේ නෑ..මොකද ඒ තරම් මේ වචන බැරෑරුම්..

මේ චිත්‍ර යෙන්  ළමයාගේ ජීවන තත්ත්වය, පවුලේ සමාජ පීඩනය, දෙමාපියන්ගේ අසමගිය සහ ආර්ථිකයේ ස්වභාවය..දරිද්‍රතාවය, විප්ලවීය දේශපාලන ක්‍රියාකරම් පිලිබද ඇති කැමැත්ත පෙන්නුම් කරණවා. මෙකී නොකි බරපතල කාරණා ගැන මහාචාර්ය වරුන්ගේ වාද විවාදය නතරවෙන බවක් පෙනුනේ නෑ.. දැන් පාසැල් අවසන්වෙන වෙලාවත් පහුවෙලා.

විවාදය දැන් මහා ගාල ගොට්ටියක්.. චිත්‍ර යේ පිංතූර ගැනීමටත්, එ වැනි ළමා නිර්මාණ වෙනත් රටවල බිහිවී ඇත්දැයි සොයා බැලීමත්  ඔවුහු දගලයි. මේ කලබගෑනිය නොඉවසූ ඒක් තරුණ ගුරුවරයෙක්...

සර් ..සමාවෙන්න. අපි ඹ්ක ඇදපු ළමයව ගෙන්නලා එයා කලේ මොකද්ද කියලා අහමුද?
කියල යෝජනා කළා.

කවුරුත් ඒකට කැමතිවුණා.

දැන් මේ රතුපාටින් චිත්‍රය ඇදපු දරුවා විදුහල්පති තුමා විසින් මහාචාර්ය වරුන් හමුවට ගෙන ආවා. මහත් බයෙන් බිරන්තේටු වී සිටි ඒ දරුවා දැකපු නිලධාරියෝ නැවතත් වාද විවාද කරගත්තා. .

බලන්න මම කියපු දේ ? මෙයා හරියට  පිරිසිදු ඇදුමක් වත් ඇදලා නැ.. ඒ කියන්නේ මේ දරුවාගේ දෙමා පියෝ  බරපතල ආර්ථික දරීද්‍රතාවයකින් පෙලෙනවා...ඒ නිසාම ඔවුන් විප්ලවකාරී දේශපාලන සංවිධානයක සාමාජිකයෝ වෙන්න ඇති.. බලන්න ඒ සමාජ විරෝධී ආකල්ප පුංචි ළමයෙක් තුළටත් කාවැදිලා... අනාගතයේ මේ ළමයා දරුනු සමාජ විරෝධියක් වෙන්න පුලුවන්..

තවත් එකෙකු පැවසුවා.

මේ කතා බහ නොඉවසූ අර තරුණ ගුරුවරයා ළමයා ලගට ගොස් මෙසේ ඇහුවා..

කියපං බලන්න මේ චිත්‍රය උඹ රතුපාටින් විතරක් ඇන්දේ ඇයි කියලා.?

දරුවා බියවී..අසුරණ වී බිම පහුරුගෑවා..

මේවර ඉදිරිපත්වුනේ විසුහල්පති තුමා.

අඩා. උඹට තේරුනේ නැද්ද? ඇයි උඹ මේ කොලේ රතුපාටින් විතරක් කුරුටු ගෑවේ..?

දරුවා.. මරණයට ගෙනා ආ හරක් පැටියෙක් මෙන් ඇඹරුණා.. අවසානයේ..

ලොකුමහත්තයා මගේ පාට පෙට්ටියේ පාට ඉවරවෙලා.. ළග හිටපු එකා මට දුන්නේ ඒ පාට කූර විතරයි..

කියල කිව්වා...දැන් ප්‍රබුද්ධ සාකච්ඡා මණඩපය ගල් ගැසුණා. කරකියා ගත නොහැකිව ඔවුන් නැවත කුටු කුටු ගාන්න වුණා....

සයිමන් නවගත්තේගම මහතා ලියා තැබූ මේ කතාව  නැවත මතක්කලේ එය අපේ සාකච්ඡාවට  අදාල නිසයි.
මෙහි ඇති ගැඹුරු කියැවීම කුමක්ද? උගත් බුද්ධිමතා සිය පොතේ දැනුම තුලින් සමාජය ගැන ගන්නා තීන්දු තීරණ.. ප්‍රායෝගික තලයේදි   විහිලුවක් බවට පත්වෙන බව නේද?  ශාස්ත්‍රාලීය දැනුම අපි ඉවත දැමිය යුතු නොවේ. එහෙත් පොත පතේ දැනුම කටපාඩම් කරගෙන එය ඒ ලෙසම පිලිපැදීමට යාම තුල කිසිවිටකත් නව දැනුම එයට එක්නොවේ. පොතේ දැනුම පාදක කරගෙන  නව දැනුම සොයා යාම සිදුවිය යුතුය. නමුත් එවැන්නක් සිදුවෙන බවක් නොපෙනේ.

විශේෂයෙන් කලාව සම්බන්ද කටයුතුවලදි පොතේ දැනුම පාදකකරගෙන කලාකෘතිය හෝ කලා කටයුතු මෙහෙයවිමට එන නිලධාරියා බොහෝ ප්‍රවේසම් විය යුතුය. නිර්මාණාතුමක දැනුම හැමවිටකම වර්ධණය වේ. එය පොතක වනපොත්කර එක තැනක සිරකොට තබා ගතනොහැක.

විශේෂයෙන්ම ළමයා වැඩිහිටියා මෙන්නොවේ. වැඩිහිටියා දැනුමින් පොෂණය වීමේදී ඔහුතුළ ඇති නිර්මාණ ශීලීත්වය විනාස කරගනි. මෙය සිදුවන්නේ ඔහුටත් නොදැනීමය. මේ විනාසය සිදු නොවන තැනට කටයුතු කරන බවත් අපිට මේ සමාජය තුළ දක්න්ට නොලැබිම  ගැන කනගාටු සිතේ.

2016/05/13

දන්න කියන අය කීප දෙනෙක්





මේවා කලබල කාරී පත්තර කන්තෝරුවකදී රාජකාරියට ඇදපු ඒවා. ඒනිසාම මෙවාට වෙනම අගයක් එකතුවෙනවා. කාලය, අදාල පුද්ගලයාගේ ඡායාරූප සොයා ගැනීම, ලිපියේ ඇති අන්තර්ගතයට අනුකූලවෙන සේ නිර්මාණය ගොඩනගා ගැනීම.

මේවා පහසුනෑ..සමහර විට පිටුව අරෙහෙ දානවා. මෙහෙ චිත්‍රය අදින වෙනවා... මේ නිසාම පත්තරය තුල කටයුතු කරණ චිත්‍රශිල්පියා ටිකක් අමාරු කාරයෙක් වෙන්න ඕන. මම ඒ අමාරු වැඩේට මූනදුන්න කෙනෙක්.

සමහරු ඡායාරූපය බලාගෙන ඒකම අදිනවා. ඒක දස්ස කමක් තමයි. නමුත් ඇයි කැමරාව තියෙද්දී මිනිහෙකුත් ඒ වැඩේට මහන්සි වෙන්නේ. ඒක තමයි මට ඇතිවුන ප්‍රශ්නය. මට ඕන වුනා කැමරාවට කරන්න බැරිදේ කරන්න... එතකොටත් අභියෝගයක් එනවා... මෙවා බලන අයට  ඇදපුදේ දැක්කම රූපේ අදුනා ගන්නත් තියෙන්න ඕන. නැතිනම් බලන අය කියනවා

“මූට අදින්න බෑ කියලා“

මේ අභියෝගය මම ජය ගත්තාද? ඒක ඔබම මේවා බලල තේරුම් ගන්න. ලංකාවේ පුවත් පත් චිත්‍ර කලාව යම් තැනකට ඔසවා තබන්න මම වෙහෙස වුණා. නමුත් මේ තත්ත්වය කර්තෘ මණ්ඩල සාමාජිකයන් , පාලන අධිකාරිය තේරුම් ගත්තාද කියන ප්‍රශ්නය මට තියෙනවා.

අපේ රටේ  ඕනෑම ක්ශේස්ත්‍රයක් දියුනු නොවී එක තැන පල්වෙනවා නම්. ඒයට වරදකාරයෝ ඒ වැඩේ නිරත පුද්ගලයෝ නෙවෙයි. ඒ පුද්ගලයන්ට උඩින් සිට මේ අයව මෙහෙයවන පිරිසයි වරද කරුවෝ.
මම එහෙම කියන්නේ ඇයි? මේ අය කැමතිනෑ  වැඩක් හරියට, නිවැරදිව කරන අයට. ඒ නිවැරදි වැඩය සමාජ ගතවෙනවාටත් මොවුන් කැමතිනෑ.. මෙකක්ද හේතුව.? එහෙම නිවැරදි හොද වැඩක් කෙරුනොත්, එයින් තමාට අවාසියක් වෙන නිසා.

මොකද්ද ඔවුන්ට වෙන අවාසිය...? ඇයි ඒ අයගේ බැරිකම එලිදරවු වෙනවානේ. ඒකයි...







2016/05/12

වටමඩලින් ගත් කවි සිත්තමක්



රමණිය ජීවිත සන්ධ්‍යාවේ
ඕක් ගසත් නුග ගසත් අතර
සක්මන් කරන හෝරාවේ
හරියටම ගමන මැද දී
කීන බලු රැළක් මෙන්
උන් මා වට කර ගත්තා

පහර දුන්නා කටු සැමිටියෙන්
ගලින් මුගුරින් සිපතින්
මුහුණට කෙළ ගසා
ඇද ගන්නට හැදුවා
තුරුලෙහි උන් මා පුතුන්

ඉඩ නොදී උදුරන්නට
පොළොවෙහි වැටී යටි බැල්ලෙන්
පපු මසට තද කරගෙන
බදා සිටියා මම පුතුන්

නියෙන් නිය උදුරමින්
සමින් සම උදුරමින්
කොළයෙන් කොළය ඉරමින්
උපුටන්නට උනා උන්
මපුතුගේ සුවිමල සිරුර

ගඟට විසිකල නොහැකි වු තැන
උන් ගියා වැඩ අවසන් කොට
එහෙත්........

ලාසරස් පැමිණියා
අර්ජුනෙක් පැමිණියා
සුමේධත් පැමිණියා

අත වාරු දී
උන් මා නැගිට වූවා

‘තා පුතු රතු
උන් පිනැතිය...‘
කියා ගියෝ
බදාගෙන සිටි මා පුතු
පපු මසට ඇලී සිටියා
ඇට මස මිදුළුවලට ඇලී

ගලා ගිය ලෙහෙ බිංදු බිංදු
ආපසු අවුත් එක් වි....
ඉරි ගිය කොළ - පිටු
එකින් එක එක්වී
ආපසු පොතට හාවී....
වැගිර ගිය අකුරු වැල්
එකින් එක ඇමණී
එකමුතු මුතු වී....
මා පුතු තුරුළු විය මා සමග
පුත
යළිත් මම ඔබ සමග

පරාක්‍රම කොඩිතුවක්කු

උපුටා ගැනීම (දිනපතා දිවයින - වටමඩල - කවිපිටුව)






2016/05/11

පාන්’ ඔතන පත්තරවලින් කලා කෘති කරමු ද








ශාන්ත කේ. හේරත්


ශාන්ත කේ. හේරත් ප‍්‍රවීණ චිත‍්‍ර හා මූර්ති ශිල්පියෙකි; කාටුන් ශිල්පියෙකි; පොත් කංචුක නිර්මාණ ශිල්පියෙකි; පුවත්පත් පිරිසැලසුම් (LAYOUT) චිත‍්‍ර ශිල්පියෙකි. මේ සියලු ශුද්ධ හා ව්‍යවහාර කලාවන් හි ඔහු සුවිශද ප‍්‍රතිභාවක් විදහා පායි. මේ මෑත දී ශාන්ත දකුණු ආසියාවේ හොඳ ම කාටුන් ශිල්පීන් අතරට ප‍්‍රවිෂ්ට වූයේ ය. ඒ පසුගිය දා පැවැති අන්තර්ජාතික කාටුන් චිත‍්‍ර තරගයකිනි. මේ ඒ නිමිති කොට ගනිමින් කරන ලද සංලාපයකි.


ඔබ චිත‍්‍ර හා මූර්ති ශිල්පියෙක්. කංචුක චිත‍්‍ර නිර්මාණ ශිල්පියෙක්. එසේ ම පුවත් පත් ක්ෂේත‍්‍රයේ දී ඔබ කාටුන් ශිල්පියෙක්; පිරිසැලසුම් ශිල්පියෙක්. මේ සියල්ල අතරින් ඔබ ඔබ ව හඳුන්වා ගන්න වඩාත් කැමැති කවර ශිල්පියකු වශයෙන් ද?
මට ඕනෑ කරන්නේ මනා සම්ප‍්‍රදායයේ කලාකාරයෙක් වෙන්න. දැනුත් මම කරන්නේ ඒ සඳහා නිරන්තර අධ්‍යයනය කිරීම හා අභ්‍යාස කිරීම යි. ඒක මේ ආත්මයේ ම කරගන්න පුළුවන් දෙයක් නොවන්න පුළුවන්. එසේ වුවත් මේ ආත්මයේ දී ත් ඒ සඳහා මා පෙරුම් පුරනවා.

පුවත්පත් නිර්මාණ කලා (NEWS PAPER ART) යනුවෙන් වෙනම ම කලාංගයක් දැන් වර්ධනය වෙලා තිබෙනවා. අප කාගෙත් පිළිගැනීමට අනුව ඔබ ඒ ක්ෂේත‍්‍රයේ විශාල නිර්මාණාත්මක වෙනසක් සිදු කළ ශිල්පියෙක්.
‘නිවුස් පේපර් ආට්’ කියන කොට කාටුන් චිත‍්‍ර ඇඳීම, පිරිසැලසුම් කිරීම, සන්නිදර්ශන (ILLUSTRATION) මේ සියල්ල අයිතියි. ඇත්තට ම ඒවායේ කිසියම් වෙනසක් කරන්න මට පුළුවන් වුණා. එහි කිසියම් උපරීමයකට යන්න පුළුවන් වුණා.

මම කියන්නෙ නැහැ ඒක අවසානය කියලා. නමුත් මහා සම්ප‍්‍රදායයේ කලාව තිබෙන තැනට මේක ගෙනියන්න මම උත්සාහ දරනවා. මෙතැන දි ගැටුම් ඇතිවුණු අවස්ථා, ප‍්‍රතික්ෂේප වුණු අවස්ථා තිබුණා. මා නම්‍යශීලි නැහැ කියල, හංවඩු ගැහුණු අවස්ථාත් තිබුණා. ඒත් රසික ජනතාව මා පිළිගත්තා.
අපි උදාහරණයකට සන්නිදර්ශන ගනිමු.

මම කවියකට හෝ කෙටිකතාවකට චිත‍්‍රයක් අඳිද්දි ඊට අනන්‍ය වූ ශෙලියක් පවත්වගෙන ගියා. ඒක කාටුන්වල දි මා අනුගමනය කරන ශෙලියට වඩා වෙනස්.

විශේෂාංග ලිපියකට චිත‍්‍රයක් අඳිද්දි ඒක අර දෙකට ම වඩා වෙනස් විදියටයි ඇන්දේ. කවියකට හෝ කෙටි කතාවකට චිත‍්‍ර අඳිද්දි මම ඇහැට පේන දේ නොව මනසට පේන දේ ඇන්දා. එහිදී පාඨකයන්ට අලුතින් හිතන්න යමක් සැලැස්සුවා.

පුවත්පත් පිරි සැලැසුම්කරණයේදී අපට හොඳ සම්ප‍්‍රදායයක් තිබෙනවා. ජී.ඩබ්ලිව්. සුරේන්ද්‍ර, රැලෙක්ස් රණසිංහ, වටරැක පේ‍්‍රමදාස මෙහි පුරෝගාමීන්. අද තාක්ෂණය දියුණු වෙලත් පත්තරවල පිරි සැලසුම් නිර්මාණාත්මක බවින් හීනයි.

ඉහත පුරෝගාමීන් ගෙන් රැලෙක්ස් රණසිංහ සුවිශේෂයි. ඔහු තමා නිරත වූ සියලු කලාවන් හී විශාල වෙනසක් ඇති කළා. අපි අද නිර්මාණ කරන්නේ ඉන්ද්‍රජාලික බලවේගයකින් නෙමෙයි.

රැලෙක්ස් වැනි පූර්වගාමීන් ගේ ආභාසය අපිට තිබෙනවා. එදාට වඩා තාක්ෂණය අද දියුණුයි. නමුත් එදා තිබුණු නිර්මාණශීලි බව අද නැහැ. ඒක පැහැදිලිව ම දකින්න තිබෙන දෙයක්.

ඔබ පොදුජන රසිකයන් අතර වඩාත් ප‍්‍රකට කාටුන් ශිල්පියකු වශයෙන්.

පුවත්පතක කාටුන් චිත‍්‍ර ශිල්පියා වඩාත් කැපී පෙනෙනවා. මගේ කාටුන් පොදුජන රසික අවධානයට යොමුවුණා. එසේ ම මම දැනට කාටුන් චිත‍්‍ර ප‍්‍රදර්ශන දෙකක් ම පවත්වා තිබෙනවා. ඒ වෙනුවෙන් පොත් දෙකකුත් පළකර තිබෙනවා. එබඳු පසුබිමක මා කාටුන් ශිල්පියකු ලෙස ප‍්‍රසිද්ධව සිටීම පුදුමයක් නෙමෙයි.

ඔබ හිතන විදියට එදා මෙදා තුර අපේ රටේ බිහිවුණු විශිෂ්ටත ම කාටුන් ශිල්පියා කවුද?
මම හිතනවා ඩබ්ලිව්. ආර්. විජේසෝම කියලා. ඔහු බොහෝ ම ස්වාධීන කාටුන් ශිල්පියෙක් වුණා. ඔහු කිසිම දවසක දේශපාලනඥයන් එක්ක සම්බන්ධකම් පවත්වන්න ගියේ නැහැ.

තමා නිවැරදියි කියලා හිතපු මතය නිර්මාණශීලී ව ඉදිරිපත් කිරීම තම වගකීම කියලා ඔහු හිතුවා. ඔහු ඒ මතය වෙනුවෙන් පෙනී හිටියා. ඔහුට ඊට පරිබාහිර වෙනත් අරමුණු තිබුණේ නැහැ.

චිත‍්‍ර කලාවේ දී ඔබ නිරන්තර භාවිතයේ යෙදෙන්නේ ව්‍යවහාරික කලාවක් (NEWS PAPER ART) තුළයි. එබඳු සන්දර්භයක දී කලා කෘති කරන්න බැහැයි කියලා සදොස් මතයක් තිබෙනවා නේද?
ඒ අභියෝගය තමයි අපි ජයගන්න උත්සාහ කරන්නේ. මහා සම්ප‍්‍රදායයේ දේවල් මම පුවත්පත් සඳහා යොදා ගත්තා. කවිවලට, කෙටි කතාවලට ඇඳපු චිත‍්‍ර විතරක් නෙමෙයි. මම ම ‘දිවයින’ පත‍්‍රයට සංස්කරණය කරපු ‘ලලිත’ වගෙ පිටු පවා කලා කෘති මට්ටමකට ගේන්න මම උත්සාහ කළා.

පාඨකයකු පත්තරයක් කියවලා ඊට පස්සේ කරන්නේ පාන් ඔතන එක. නැතිනම් බෝතල් පත්තරකාරයන්ට විකුණන එක. එබඳු සන්දර්භයක දී තමයි අපි මේ අභියෝගයට මුහුණ දෙන්නේ.

පුවත්පතක් කියන්නේ නොයෙක් සීමාසහිතකම් තිබෙන ජන මාධ්‍යයක්. නිර්මාණශීලී කලාකරුවෙක්, විශේෂයෙන් කාටුන් ශිල්පියෙක් ඒ සීමා ඵලදායි තුළ ගනුදෙනුවක් කරන්නේ කොහොමද?

කාටුන් ශිල්පියෙක් විදියට ගත්තොත් මං වැඩ කරපු පත්තර දෙකේදී ම (දිවයින හා මවුබිම) මට විශාල වශයෙන් බාධා ඇතිවුණේ නැහැ. ආයතනික සීමා, ප‍්‍රතිරෝධතා මතු වූ අවස්ථාවල දි මා වෙනත් මාර්ග සොයා ගෙන ගියා.
ඇත්තට ම තීරු ලිපි (කොලම්) කලාව බිහිවුණෙත් ඒ වෙනත් මාර්ග සොයා යෑමේ ප‍්‍රතිඵලයක් විදියටයි. මම කිසිම දේශපාලන පක්ෂයක කි‍්‍රයාකාරිකයෙක් නෙමෙයි. මම ස්වාධීන ශිල්පියෙක්. සමාජයේ වෙන දේ දැකලා ඒක මතයක් විදියට ඉදිරිපත් කිරීමයි මම කරන්නේ.
කංචුක චිත‍්‍ර නිර්මාණයේ අද සිටින විශිෂ්ටතම ශිල්පියා ඔබ කියලයි මම හිතන්නේ.

ඒක ඔබේ මතය. කිසියම් පුද්ගලයෙක් එබඳු මතයක් දැරීම මගේ සතුටට හේතුවක්. මහාචාර්ය සිරි ගුනසිංහ, මහගමසේකර, ඒ.ඩී. රන්ජිත් කුමාර මෙරට පොත් පිටකවර කලාවේ විශිෂ්ට සම්ප‍්‍රදායයක් ඇති කරලා තිබෙනවා.

මම කරලා තියෙන්නේ ඒකට මගේ සලකුණ තැබීමයි. මගේ මුද්‍රාව තැබීමයි.

ජී.එස්. ප‍්‍රනාන්දු ගෙන් ඉදින් වර්තමානයේ බන්දුල හරිශ්චන්ද්‍ර, ජනක රත්නායක දක්වා බොහෝ දෙනෙක් (විශේෂයෙන් මේ කියන තිදෙනා පවා) කංචුක චිත‍්‍ර නිර්මාණකරණයේ ගැඹුර වටහාගෙන නැති බවයි රසිකයකු විදියට මගේ වැටහීම. ඔබ එකඟ ද මගේ මේ අදහසට?

මම එකඟයි. හැබැයි ඒකට මේ අයට දොස් කියන්න බැහැ. ඔවුන් කරන්නේ ඉල්ලුමට අනුව සැපයුමයි. බන්දුල හරිශ්චන්ද්‍ර කියන්නේ මම බොහෝ ම ගෞරව කරන චිත‍්‍ර ශිල්පියෙක්. ඔහු අති දක්ෂයෙක්.
නිර්මාණයක ගැඹුර සොයා යන්න ඔහුට අවස්ථාව තිබුණ නම් ලෝකයේ ඕනෑ ම චිත‍්‍ර ශිල්පියකු හා සම මට්ටමේ හිඳීමේ හැකියාව ඔහුට තිබෙනවා. නමුත් ඔහු එක ම තැනක නතරවෙලා ඉන්නවා.

ඔබ ව්‍යවහාරික කලාවට ම පමණක් කොටුවෙලා සිටින බව පේනවා. ඒක හරි ම ඛේදජනකයි. ඔබේ විශිෂ්ට ප‍්‍රතිභාව සැලකිල්ලට ගැනීමේදී ඔබ සිටිය යුත්තේ ශුද්ධ කලාවේ (PURE ART) උපරි ව්‍යුහයේ.
 ප‍්‍රදර්ශනයක් පවත්වන්න තරම් නිර්මාණ දැනට මගේ ළඟ තිබුණත් ප‍්‍රදර්ශනය හා සම්බන්ධයෙන් යම් යම් ප‍්‍රශ්න තිබෙන නිසා කල් යල් බලමින් ඉන්නවා.

ඔබේ පසුබිම මා දන්නේ නැහැ. ඇත්තට ම ඔබ ශාස්ත‍්‍රාලීය (ACADAMIC) චිත‍්‍ර ශිල්පියෙක් ද?
නැහැ. රජයේ සෞන්දර්යය අධ්‍යයන ආයතනයට බැඳෙන්න මට ප‍්‍රමාණවත් ලකුණු තිබුණේ නැහැ. අවස්ථාවක් ලැබුණොත් අද වුණත් මම කැමැතියි, ශාස්ත‍්‍රාලීය අධ්‍යාපනයක් ලබන්න.

ඒක නොලැබීම අඩුවක් කියලා මට නිතර ම දැනෙනවා. හේවුඩ් ගිය අය කියනවා මට ඇහිලා තියෙනවා, ගියාට වැඩක් නැහැයි කියලා. ඒත් මම ගියා නම් මට එහෙම වෙන්නේ නැහැ. ශාස්ත‍්‍රාලීය අධ්‍යාපනය කියන්නේ ගඟක් තරණය කරන්න බෝට්ටුවකින් ගියා වගේ පහසු ගමනක්.

අපිත් ඒ ගඟෙන් එගොඩවෙලා තිබෙනවා. ඒත් ඒ ගමන මඩ නාගෙන, අවදානම දැනගෙන ගිය ගමනක්.

කාර්මික විද්‍යාලයයේ ඉඳන් සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයය දක්වා වූ දීර්ඝ අඛණ්ඩ විකාශනයක් තුළ මෙයින් දක්‍ෂ ශිල්පීන් බිහිවුණේ නැද්ද?
බිහිවුණා. මම නැහැයි කියනව නම් ඒක ද්වේශයෙන් කරන ප‍්‍රකාශයක් වෙන්න පුළුවන්. නැතිනම් මම නොදැන කතා කරනවා වෙන්න පුළුවන්. නමුත් මේක විශ්ව විද්‍යාලයයක් බවට පත්වුණාට පස්සේ බිහිවෙන්නේ උපාධිධාරීන් විතරයි.

එයින් ශිල්පීන් බිහිවෙනවද කියන එක ප‍්‍රශ්නයක්. ශිල්පීන් බිහිවීම කෙසේ වෙතත් අඩු ම ගාණේ චිත‍්‍රකලා ගුරුවරුන් බිහි වුණයි කියලා හිතමු. නමුත් ඔවුන්ට පුළුවන් වෙලා තියෙනවද චිත‍්‍රයක් රස විඳින්න පුළුවන් ගෝලයෝ පස් දෙනෙක්වත් බිහි කරන්න?

එහෙත් ඇකඩමික් ලක්ෂණ ඔබේ නිර්මාණවල සපුරා දක්නට ලැබෙනවා.
ඒක වෙන්න ඇත්තේ මෙහෙමයි. මම හේවුඩ් නොගියට මට ඒ දොර නොහැරුණට මම වෙනත් දොරක් ඇර ගත්තා. ඒ කියන්නේ මම ස්ටැන්ලි අභයසිංහ, එච්.ඒ. කරුණාරත්න, තිස්ස ගුණවර්ධන වැනි ශාස්ත‍්‍රාලීය ප‍්‍රවීණයන් යටතේ සල්ලි දීලා, පන්තිවලට ගිහින් චිත‍්‍ර කලාව ප‍්‍රගුණ කළා.

මෙතැනදි ඔබේ පූර්වාදර්ශ වුණේ කවුද?

චිත‍්‍ර කලාවේ විතරක් නෙවෙයි වෙනත් මාධ්‍යවලත් හිටපු ශාස්ත‍්‍රාලීය වශයෙන් ඉහළ ම අධ්‍යාපනයක් නොලත් අය තමයි මගේ වීරයෝ වුණේ. ඒ අය මට දැවැන්තයි.

ඒ නිසා තමයි මම මහාචාර්ය සෙනරත් පරණවිතාන, මාර්ටින් වික‍්‍රමසිංහ, සුගතපාල ද සිල්වා, මර්සලිනු ජයකොඩි ගරු පියතුමා, උපාලි විජයවර්ධන වගෙ අයගේ මම අඹපු මූර්ති ස්වභාවික රූපකායට වඩා විශාලනය කොට නිර්මාණය කරලා තියෙන්නේ. මොකද; ඔවුන් මට දැවැන්තයි. මට ඔවුන් කළ හැකි උපරිම ගෞරවය තමයි ඒ.

ඔබේ චිත‍්‍ර නිර්මාණවල නුවර යුගයේ විහාර බිතු සිතුවම්වල කිසියම් ආභාසයක් පෙනෙන්ට තිබෙනවා? ඒ ආභාසය කොහෙන් ආපු එකක්ද?
මගේ නිවෙස පිහිටා තිබුණේ මැදවල ටැම්පිට රජමහා විහාරයට නුදුරින්. මැද මහනුවර ඉතා ම වටිනා බිතුසිතුවම් තිබෙන තැනක් තමයි මැදවල විහාරය කියන්නේ. මම පුංචි කාලේ මේ බිතුසිතුවම් දැකලා තියෙනවා. පසුකාලෙක ඒවා අධ්‍යයනය කරලා තියෙනවා.

මේ චිත‍්‍ර මට බරපතළ විදියට බලපෑවා. මම වෘත්තිය ක්ෂේත‍්‍රයට ආවට පස්සේ මහනුවර යුගයට අයත් පහත රට විහාර බිතු සිතුවම් අතර විශිෂ්ට ස්ථානයක් හිමි කරගන්නා, කතළුව පූර්වාරාමයේ චිත‍්‍ර පිටපත් කළා.
මෑතදි පැවැත්වූ මගේ බෞද්ධ චිත‍්‍ර ප‍්‍රදර්ශනයට පවා බලපාලා තියෙන්නේ නුවර යුගයේ බිතුසිතුවම්. ඒ විතරක් නෙමෙයි කුඩා කාලයේ අපි දැකපු බලි චිත‍්‍ර පවා මට බලපාලා තිබෙනවා.

ඔබේ නිශ්චිත නිගමනයට අනුව අපේ සමකාලීන ශ්‍රේෂ්ඨත ම සිත්තරා කවුද?
මං හිතන්නේ එච්.ඒ. කරුණාරත්න වඩාත් ශ්‍රේෂ්ඨයි. ඔහු ඉතා ඉහළින් ම අගය කරන්න පුළුවන්. ඔහුගේ පදනම බටහිරින් ආනයනය කරපු දෙයක් නෙමෙයි. ඔහු බටහිර මතවාද අපේ කරගත්තු කෙනෙක්. එච්.ඒ. කරුණාරත්න කියන්නේ අමුර්ත කලාව (ABSTRACT ART)  පිළිබඳ ගවේෂණාත්මකව යමක් කරපු කෙනෙක්.

නූතන චිත‍්‍ර කලාවේ කිසියම් අභිවෘද්ධියක් ඔබ දකිනවද?
ශාස්ත‍්‍රාලයවත්, ඉන් පිටස්තරවත් විශිෂ්ට චිත‍්‍ර ශිල්පීන් බිහිවෙලා තිබෙනවා. ඒ අනුව ප‍්‍රගමනයක් නැතැයි කියන්න බැහැ. ඒත් සතුටු වෙන්න පුළුවන්කමක් නැහැ.

චිත‍්‍ර කලා වර්තමාන විචාරය ගැන ඔබ මොනවද හිතන්නේ? පොත් ප‍්‍රකාශකයකු (එස්. ගොඩගේ මහතා) තුළ තිබෙන චිත‍්‍ර කලාව පිළිබඳ වූ සවිඥානකත්වය තරම් සවිඥානකත්වයක් අද චිත‍්‍ර කලා විචාරකයන් කියලා කියන අයට තිබෙනවා කියලා හිතන්න පුළුවන්ද?
ගොඩගේ මහත්තයා මගේ කාටුන් ගැන අලුත් මතයක් ප‍්‍රකාශ කරලා තිබුණා. අද චිත‍්‍ර කලා විචාරකයන් නැහැ. සෞන්දර්යය විශ්වවිද්‍යාලයෙන් ශිල්පීන් බිහිවෙන්න නැතිනම් අඩු ම ගාණේ හොඳ රසඥතාවයකින් යුතු විචාරකයන් පිරිසක්වත් බිහිවෙන්න ඕනෑ. නමුත් එහෙම දෙයක් වෙලා නැහැ

මහාචාර්ය සේනක බණ්ඩාරනායක වගෙ චිත‍්‍ර කලා විචාරකයන් විචාරයේ යෙදෙන්නේ කිසියම් පන්ති දෘෂ්ටියකින් බවත් පැහැදිලියි.

ඔව්. ඒ අය මහගමසේකර ගේ චිත‍්‍ර ගැන කවදාකවත් කතා කරලා නැහැ. අද අපේ චිත‍්‍ර ගැන කතා කරන්නෙත් නැහැ. අපිට වෙන නොපිළිගැනීම්, මදි පුංචිකම් තියෙනවා. ඒත් මේවා අපිට විශාල ප‍්‍රශ්න නෙමෙයි.

එතකොට රසිකත්වය? චිත‍්‍ර නිර්මාණ නැරඹීමේ, ඒවා රස විඳීමේ පරාසය පෙරට වඩා පුළුල් වෙලා තිබෙනවද?
චිත‍්‍ර ශිල්පියෙක් අවුරුදු ගාණක් තිස්සේ අදින චිත‍්‍රයක් විනාඩි පහකින් දහයකින් රස විඳින්න බැහැ. ඉතා ම කෙටි කාල සීමාවකින් චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් බලලා ඉවර වෙලා චිත‍්‍ර ශිල්පියා ගේ පිටට තට්ටු කරලා එක්කො හොඳයි කියනවා.

නැත්නම් නරකයි කියනවා. රසිකත්වය කියන්නේ ඒකට නෙමෙයි. මේ කාලකණ්ණි ක‍්‍රමය වෙනස් වෙන්න ඕනෑ. පිටරටවල වගෙ කලාගාරයකට ගිහින් පැය ගණන් එහි ගත කරලා චිත‍්‍ර රසවිඳීමේ සංස්කෘතික පසුබිමක් අපි ඇති කරගන්න ඕනෑ.

චාරු ලේඛන කලාව (CALLIGRAPHY) නමින් කලාවක් පවතින බව අපි දන්නවා. ඔබ ඒ අක්ෂර නිර්මාණයෙහිත් නිරත වෙනවා.
අරාබි රටවල චිත‍්‍ර කලාවක් නැහැ. තියෙන්නේ අක්ෂර කලාවක් විතරයි. අපිටත් චාරු ලේඛන කලා සම්ප‍්‍රදායයක් තියෙනවා. සෙල්ලිපිවල පුස්කොල පොත්වල තියෙන්නේ නිර්මාණාත්මක අක්ෂර මාලාවක්.
මම ව්‍යවහාරික කලාව තුළ අක්ෂර නිර්මාණයෙහි යෙදෙනවා. පුවත්පත් විශේෂාංග ලිපියකට යොදන අකුරු නෙමෙයි මම තීරු ලිපි කොළමකට යොදන්නේ. ඒ වගේ ම පොත් කංචුක නිර්මාණයකට යොදන අකුරු නෙමෙයි චිත‍්‍රපට නාමාවලියකට යොදන්නේ.

‘අබා’ චිත‍්‍රපටයේත් අක්ෂර නිර්මාණය ඔබේ. එය බොහෝ දෙනෙකුගේ කුහුල දනවන අවධානයකට යොමු වුණා?

මේ සඳහා මා පර්යේෂණ කළා. අවසානයේදී සෙල්ලිපිවල ‘පඬු අබා’ යන නම ලියැවී ඇති අක්ෂරය මේ සඳහා භාවිතා කළා.




උපුටා ගැනීම
පුන්කලස - සිළුමිණ

2016/05/10

ශාන්ත ගැන මහාචාර්ය ජගත් වීරසිංහ කියන කතාව

ශාන්ත සහ ඔහුගේ කාටුන්

ශාන්ත

ශාන්ත කේ. හේරත් දශක දෙකකට අධික ස්වකීය කලා ශිල්පි ජීවිතය කැටිකොට අප වෙත ප‍්‍රදානය කරන ‘සතැස්’ ග‍්‍රන්ථය ඵළිදැක්වීම නිමිතිකොට මා ගොඩනගන මේ ලිපිය ඇරඹීමට හොඳම ක‍්‍රමය  වන්නේ ඔහු පිළිබඳ මගේ පෞද්ගලික මතකයන් අවදි කිරීම යැයි මට සිතේ. එහෙයින් ඔහු ‘චරිතයක්’ ලෙස මා දකින ආකාරය මුලින්ම සඳහන් කිරීමට මට අවසර දෙන්න. මා ගොඩනගන මේ කෙටි සටහන ශාන්ත ගේ ‘වැඩ’ ගැන කෙරෙන ඇගයීමකි.

ඒ වගේම එය අපගේ මිත‍්‍රත්වය ද අගය කිරීමකි.

ශාන්ත මගේ පැරණි මිත‍්‍රයෙකි. මට ඔහු මුලින්ම මුණගැසුණේ මා සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ තෙවන වසරේ  ශිෂ්‍යකුව සිටි අවදියේදීය. ඒ දවස්වල අපි කලාව පිළිබඳ විවිධාකාර උත්කෘෂ්ඨ අපේක්ෂාවන් සහ
මතිමතාන්තරවලින් උදම් වී ‘හඬනගන’ සහ ‘ගැටුම්කාරී’ තත්ත්ව ගොඩනගන චරිත වීමු. ශාන්තට කලාකරුවකු ලෙස ස්වකීය චරිතයේ ප‍්‍රතිපත්තිමය සීමාවන් පිළිබඳව ඉතා පැහැදිලි අදහස් ඒ වනවිටත් පැවතියේයැයි මට සිතේ. ඔහු  තමන් පිළිබඳව ඉතා ගෞරවනීය හැඟීමකින් යුතු පුද්ගලයෙකි. මේ නිසාම ශාන්ත ව ඇසුරුකිරීම සමහරුන්ට ඉතා පහසු වූ අතර, තවත් සමහරුන්ට ඔහු නොරුස්නා චරිතයක් විය. ස්වකීය කලා ශිල්පී චරිතයේ අනන්‍යතාව සහ පැවැත්ම අරුත් වන සේ තමා විසින්ම සංකල්ප ගත කරගත් අදහස් සහ සීමාවන් සමග කේවල් කිරීමට ශාන්ත ඒ දවස්වල සිටම දැඩි අකමැත්තක් පෙන්වූ බව මට මතකය. ශාන්ත ගේ ඒ චරිත ලක්ෂණය මගේ සිත් ගත් අතර ඒ නිසාම මට ඔහු ඇසුරු කිරිම පි‍්‍රයජනක විය. 
අනෙකෙකුට ශාන්ත ඇසුරු කිරීමට දුෂ්කර චරිතයක් ලෙස පෙනුණේද, මා අගය කළ  ඉහතින් සඳහන් කළ ගුණාංගය නිසාමය.

ශාන්ත ගේ මේ චරිත ලක්ෂණය ගැන මා මෙහිදී අවධාරණය කරන්නේ මට හිතෙන හැටියට ඔහුගේ කලා ශිල්පි මෙන්ම දේශපාලන කාටුන් ශිල්පි ජීවිතයේත් මූලිකම ලක්ෂණයක්  ලෙස (අවශ්‍ය කෙනෙකුට ආත්මීය
ලක්ෂණයක් ලෙසද කිව හැක*  මෙම ගුණය ශාන්ත ගේ චරිතාංගය තුළ ඇතැයි මට හිතෙන හෙයිනි. එය ඔහුගේ පැවැත්ම තුළ ගැඹුරින්ම පවතින සාධකයකැයි මට සිතේ.

ශාන්ත ගේ කලා ශිල්පි පෞරුෂය වැඞීමේ ඉතිහාසය පිළිබඳව මා දන්නා කරුණු කෙටියෙන් හෝ සඳහන් කිරීම මේ අවස්ථාවේදි උචිතයැයි සිතමි. කලාකරුවකු ලෙස ස්වකීය පෞරුෂය, ශාන්ත සංකල්ප කරගත් ආකාරය තුළ වූ එක් මූලික ම ලක්ෂණයක් වූයේ ‘නොගැලපීමට ගැලපීමේ’ ලක්ෂණයයිග වෙනත් අයුරකින් කියන්නේ නම් ජීවිතය පහසු කරවන ස්ථාපිත වටිනාකම්, ක‍්‍රම වේද සහ ප‍්‍රයෝග සමග ගැලපීමම ශාන්ත ගේ  ක‍්‍රමය නොවීය.

මේ නිසා ශාන්ත හිතුවක්කාර ‘පර්යේෂණගාමී’ සොයන්නකු ගේ චරිත ලක්ෂණ බොහෝවිට ප‍්‍රදර්ශනය කළේය. ශාන්ත ගේ මෙම චරිත ලක්ෂණය පෝෂණය කිරීමේ සහ එය කලාකරුවකු ගේ ජීවිතයේ මූලික ලක්ෂණයකැයි යන විශ්වාසය  ගොඩනැඟිමේ ලා ප‍්‍රධාන වූ සාධක තුනක් මට දැකිය හැකිය.

ශාන්ත සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ (වර්තමාන සෞන්දර්ය විශ්වවිද්‍යාලයය* ඉගෙනුම ලැබූවෙක් නොවේ. එහෙත් ඔහු කිසියම් ආකාරයකට කලාව පිළිබඳව විධිමත් අධ්‍යාපනයක් ලැබූවෙකි.  ඔහු කලාව පිළිබඳව උසස් අධ්‍යාපනය ලැබුවේ විසි වැනි සියවසේදී  ශී‍්‍ර ලංකාව තුළ එය ලැබිය හැකි ඉහළම ‘ආයතන’ දෙකෙනි. ඒ ස්ටැන්ලි අභයසිංහ සහ එච්. ඒ. කරුණාරත්න යන මහා කලා ගුරුවරුන් දෙදෙනාගෙනි. ස්ටැන්ලි අභයසිංහ සහ එච්. ඒ. කරුණාරත්න යනු හුදු සිත්තරුන් දෙදෙනෙක් නොවේ. ඒ දෙදෙනා යනු සෞන්දර්ය අධ්‍යාපන ආයතන සම්ප‍්‍රදායේ ප‍්‍රධානම ප‍්‍රකාශන දෙක මෙන්ම එය ගොඩනැගූ බල මධ්‍යස්ථාන දෙකද වන්නේය. වැඩිමනත් වශයෙන් පසුගාමී චරිතවලින් ගහන සෞන්දර්ය අධ්‍යයන ආයතනය ‘ආයතනයක්’
බවට පත් කළ චරිත දෙක වූයේ ඒ දෙදෙනායි. ශාන්ත කලාව පිළිබඳව ඉහළ දැනුම ලබා ගත්තේ ඒ මහා චරිත දෙක ඇසුරෙනි. එම චරිත දෙක තුළද පැවැති සුවිශේෂම ගුණාංගය වූයේ ඔවුන් දෙදෙනාද, කිසිවිටෙක ‘සෙවීම’ අත්නොහළ සහ  ස්ථාපිතයට අනුගත චරිත නොවීමයිග මීට අමතරව ශාන්ත ගේ මෙම ‘සෙවීම’ සහ             
‘පඨිසෝථගාමී’ චරිත ලක්ෂණ පිටුපස ඔහු 80 ව දශකයේ දී ඇසුරු කළ චිත‍්‍ර ශිල්පී  කණ්ඩායම් ද ඇතැයි මට සිතේ.  ඔහු ඒ දවස්වල ළ`ගින්ම ඇසුරු කළ සිත්තරුන් වූයේ කිංග්ස්ලි ගුණතිලකල චන්ද්‍රගුප්ත තේනුවර සහ මා ඇතුළු කණඩායමයි.

කෙසේ වෙතත් මා මෙහිදී අවධාරණය කළයුතු කරුණ වන්නේ ශාන්ත ගේ නිර්මාණශීලී සෙවීමේ චරිතයේ මූලයන් මා ඉහත සඳහන් කළ සාධක තුනට ආන්තික ලෙස සීමා නොකළයුතු බවයි. ශාන්ත කිසිවිටෙකත් හුදෙක් ‘තොරතුරු’ ලැබීමේ කෙළවරක සිටින චරිතයක් වූයේ නැත.  ඔහු විශාල තොරතුරු ගොන්නක් සම්පාදනය වුණු සහ හුවමාරු වුණු විශාල ගතිකත්වයකින් සැදුම් ලත් කුඩා එහෙත් බලවත් පද්ධතියක සකී‍්‍රය කොටස්කරුවෙක් විය.

ශාන්තගේ කාටුන්

දේශපාලන කාටුන් ශිල්පියෙක් ඔවුන් ජීවත්වන අවදියේ දේශපාලන ජිවිතය පිළිබඳ තියුණු සහ තීක්ෂණ නිරීක්ෂණයන් වඩා පුළුල් ජනකායකට ළංවිය හැකි සංෂිප්ත දෘශ්‍ය භාෂාවෙන් සටහන් කර තබන්නෙක් වේ. මොවුහු එක් අතකින් බලන කල වෘත්තීයමය ‘රණ්ඩු කාරයින්යග’ අනෙක් අතින් ඔවුහු ඉතා සංවේදී මාධ්‍යකරුවෝ වෙතිග වරලත් බලවත් සහ ස්ථාපිතයට නතුවුණු චරිත හා යුධ වදින දේශපාලන කාටුන් ශිල්පීන් කිසියම් සමාජයකල සමාජ මානසිකත්වයේ පවතින දේශපාලනික තෘප්තියල අතෘප්තිය හෝ කළකිරීම පිළිබඳ දර්ශකයන් වෙතැයි මට සිතේ. මා මේ කියන්නේ දේශපාලන කාටුන් ශිල්පි චරිත පිළිබඳ ප‍්‍රශස්ත තත්ත්වයක් විය හැකිය. එහෙත් ශාන්ත මාධ්‍යවේදී කාටුන් ශිල්පියෙකු ලෙස ප‍්‍රශස්ත තත්ත්වයට සමීප තැනක ස්ථානගත කිරීමට මම මැලි නොවෙමි.

ශාන්ත ගේ කාටුන් ශෛලිය ශී‍්‍ර ලාංකේය කාටුන් කලාවේ වැදගත් ස්ථාවරයක් දරතැයි මට සිතේ. ඔහුගේ කාටුන් ඇඳීමේ ශෛලිය ඉතා තීව්ර ද්‍රෘශ්‍ය ලක්ෂණවලින් ගොඩනැඟුණකි. නිශ්චිත රේඛාවලින් සමන්විත ශාන්ත ගේ කාටුන් ඒවායේ හොඳම අවස්ථාවේදි හාස්‍යෝත්පාදක මෙන්ම නිසැක ගැඹුරක්ද සහිත ගොඩනැඟීම් වේග ශාන්ත ගේ කාටුන් ගැන ලියා ඇති බොහෝමයක් ලේඛකයින් පෙන්වා දී ඇති පරිදිම එම ගොඩනැඟීම්වල ද්වේෂයල වෛරය හෝ ආන්තික අපහාසය පිළිබඳ සලකුණු අපට දැකිය නොහැකිය. මේ නිසාම ශාන්ත ගේ කාටුන් ඉහළ ගණයේ කාටුන්වලින් අපේක්ෂිත මූලික කාර්යයල එනම් ඒවා කිසියම් චරිතයක හෝ චරිත කිහිපයක කිසියම්ල සිදුවීමක හෝ සමාජමය වශයෙන් වැදගත් කරුණක ඇති යටි අර්ථයන් හෝ ඒ චරිත සහ සිදුවීම් වටා ඇති අර්බූදයන්ල ගැටුම් හෝ ගැටලූ  හෝ ඒ චරිත සහ සිදුවීම් දෙස බැලිය යුතු හෝ බැලිය හැකි තවත් මානයන් වෙත පාඨකයන් යොමු කිරීම ඉටුකරයි. ඉහළ ගණයේ දේශපාලන කාටුන් ශිල්පීන් දේශපාලන ප‍්‍රශ්නවලට විසඳුම් දෙන්නේ නැතැයි මට සිතේ.  ඔවුහු එවන් ප‍්‍රශ්න සංයුක්තව ඇති බල ගැටුම් අරභයා අප දේශපාලනික වශයෙන් සංවේදී කරතිග ඔවුහු හුදෙක් මුකරි ‘විරුද්ධ පාක්ෂික’ මානසිකත්වයකින් රෝගාතූරවූ චරිත නොවෙති.

එවන් දේශපාලනික කාටුන් ශිල්පීන් සමකාලීන දේශපාලනය සහ ඉතිහාසය පිළිබඳව සංවේදී ශිෂ්‍යයෝ වෙති.  ඔවුහු කලාකරුවන් මෙන්ම සමාජ දේශපාලන මත ප‍්‍රකාශ කරන්නෝ වෙති. ඔවුනට සංකීර්ණ සහ වියුක්ත නිරීක්ෂණයන්ල සූක්ෂම බුද්ධියකින් පෝෂණය වුණුු පැහැදිලි දෘශ්‍ය රූපවලට පෙරළිය හැකිය.

මගේ මිතුරු ශාන්ත සතුව මේ ගුණාංග බොහෝමයක් ඇති බැව් ඔහුගේ ‘සතැස්’ ග‍්‍රන්ථය බැලීමෙන් ඔබට පසක් වනු ඇත.

මහාචාර්ය  ජගත් වීරසිංහ
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය