2015/02/04

ළමා කතාවක චිත්‍ර
























ළමා කතාවක්‌ රසවත් වන්නේ
ප්‍රශ්න පිට ප්‍රශ්න මතුවෙන තරමටය
පිම්මයි-හෙමිනයි ළමා කතන්දර පොත ගැන අදහසක්‌

ඉන්ද්‍රා පුෂ්පාණි ජයවර්ධන
පිම්මයි - හෙමිනයි
කර්තෘ - නෙවිල් පෙරේරා
ප්‍රකාශනය - විසිදුනු

එකම රටාවකට ගලා යන අපේ ළමා සාහිත්‍යයට නව මංපෙතක්‌ පෙන්වා දෙන්නට ''පිම්මයි හෙමිනයි - ගජ යහළුවන්ගේ කතාව'' කෘතියෙන් උත්සාහ දරා ඇති බව පෙනේ. හැමදාම එකම ආකාරයේ ළමා කතා කියවා හෙම්බත්වී සිටින අපේ දරුවන්ට පිම්මයි - හෙමිනයි'' ඇත්තෙන්ම මාහැඟි නව නිර්මාණ කෘතියකි.

එහි ඇතුළත් කතාව සැකෙවින් මෙසේය. ''පිම්මයි හෙමිනයි'' දෙන්නා බොහොම ඉස්‌සර කාලයේ තරග දිවීමක්‌ පවත්වා, ඒ නිසාම මේ දක්‌වාම කතාබහට ලක්‌වී සිටින හාවාගේත් ඉබ්බාගේත් දරුවන් දෙදෙනාය. හාවාගේ පුතා ''පිම්මාය'' ඉබ්බාගේ පුතා ''හෙමිනාය'' මේ පුත්තු දෙන්නා ගජ යාළුවන් වන අතර තාත්තලා දෙන්නාගේ රේස්‌ එක නිසා අන්තිමේදී පාඩුව සිදු වූයේ දරුවන් දෙදෙනාටය. එම සිදුවීම නෙවිල් පෙරේරා කතුවරයා සිය කෘතියෙන් අපූරු සරල බස්‌ වහරකින් මෙසේ අප වෙත ඉදිරිපත් කරයි.

''පිම්මගෙ තාත්තා - හෙමිනගෙ තාත්තත් එක්‌ක ඔට්‌ටු දුවලා පැරදුනාට පස්‌සෙ සතියක්‌ම හැංගිලා හිටියා. එහෙම කළේ දන්න අඳුනන අයගෙ විහිළු තහළු මඟ අරින්න. අන්තිමේ, ලැඡ්ජාවෙන් ගැලවෙන්න හිතපු පිම්මගෙ තාත්තා තීරණය කළා පදිංචිය වෙනස්‌ කරන්න - හා පවුල කැලෑවේ දුර ඈත අලුත් පළාතක පදිංචියට ගියා. පාඩුව සිද්ද වුණේ යහළුවන් දෙන්නාට. පිම්මා ඉස්‌කෝලෙන් අස්‌වුණා. එදා යාළුවො දෙන්නගෙම ඇස්‌වල කඳුළු.''

හාවාගේත් ඉබ්බාගේත් රේස්‌ එකෙන් පසුව ඒ දෙන්නාට වුණේ මොනවා දැයි ඉතා කලාතුරෙකින් දරුවකුට දෙන්නකුට සිතුනා නම් විනා වැඩිහිටි අප අතින් නම් මෙතෙක්‌ කවදාවත් එවැනි පසු විපරමක්‌ සිදුවී නැත. නවක ළමා පොත් රචකයකු වන නෙවිල් පෙරේරා වෙසෙසින් සාකච්ඡාවට බඳුන් විය යුතු පුද්ගලයකු වන්නේ අපට නොසිතුන ඒ දේ සිතෙන්නට තරම් ඔහුගේ නිර්මාණාත්මක කල්පනා ශක්‌තිය පොහොසත් නිසාය.

මේ රසවත් කතාන්දරය q ගලා යන්නේ පිම්මාගේත් හෙමිනාගේත් වෙන්වීමෙන් අනතුරුව උදාවන කාල පරිඡේදය වෙතටය. කතාවට අනුව හදිසියේම කැලෑව පුරා දරුණු ලැව් ගින්නක්‌ පැතිරෙයි.

''පිම්මට යාළුවා මතක්‌ වුණා. පිම්මා හෙමිනා සොයාගෙන පිම්මේ දිව්වා. ඒ තමා පිම්මා වැඩිම වේගයන් දුවපු දවස.''

කතාවට අනුව පිම්මා මෙසේ කවදාවත් නොදුවපු වේගයකින් දුවන්නේ පුළුවන් තරම් ඉක්‌මනින් ලැව් ගින්න ගැන ආරංචිය හෙමිනාට දීමටය. හොඳ යාළුකමක හැටි එහෙමය.

''පණිවිඩේ කලින්ම දැනගත් නිසා ගින්නට හසු නොවී ගං ඉවුරට එන්න ඉබි පවුලට පුළුවන් වුණා.''

පිම්මාගේ සත් ක්‍රියාව නිසා හෙමින් ගමන් ඇති ඉබි පවුලට ජීවිත ගලවාගෙන කල් වේලා ඇතිවම ගං ඉවුරට ළං වීමට හැකිවූ අන්දම නෙවිල් පෙරේරා සිය කතාවේදී අපූරුවට විස්‌තර කර ඇත.

ළමා කතාවක්‌ රසවත් වන්නේ ප්‍රශ්න පිට ප්‍රශ්න මතුවෙන තරමටය. හැම මොහොතකම ගැටලු මතුවීමත් ඒ ගැටලුවලට වැඩිපුර කල් වේලා නොගොස්‌ විසඳුම් ලැබීමත් ළමා කතාවකට අත්‍යවශ්‍යය. මෙම ගජයාළුවන්ගේ කතාවේ ඊළඟ අදියර ද උභතෝකෝටික ප්‍රශ්නයකි. එහා කැලෑවට යාමට ගං ඉවුරට ළඟාවුවද හා පවුලේ කාටවත් පිහිනීමට නොහැක.

''ගිනි දලු ළඟ ළඟ එනවා. බේරෙන්න නම් එහා ඉවුරට යාගන්න ඕනෑ. දැන් මොකද කරන්නෙ?''

''අපේ පිට උඩ නගින්න. ගඟ හරහා පීනන්න අපට පුළුවනි.'' හෙමිනගෙ තාත්තා, හා පවුලෙ බය නැති කළා. හා පවුල පිට උඩ තියාගෙන ඉබි පවුල සෙමෙන් පරෙස්‌සමෙන් ගඟ හරහා පීනුවා. අනතුරක්‌ නැතිව එහා ඉවුරට ගොඩ බැස්‌සා.''

මෙහිදී දුකකදී කරදරයකදී එකිනෙකා තම තමන්ට පුළු පුළුවන් ආකාරයෙන් අනෙක්‌ අයට උදව් උපකාර කර ගැනීමේ මහඟු ගුණධර්මයේ අගය පිළිබඳ පණිවුඩය ව්‍යංගයෙන් තම ළමා පාඨකයන්ට තිළිණ කිරීමට ලේඛකයා සමත්වී ඇත.

''තරගයක දිනුම පැරදුම වගේ පොඩි දේකට නොහොඳ නෝක්‌කාඩු නොවන්න හිතට ගත්තු මේ අය හොඳ යාළුවන්ගෙ වටිනාකම ගැන අලුත් කතාවක්‌ කාටත් කියා දුන්නා.''

නෙවිල් පෙරේරා සැබැවින්ම නව නිර්මාණයක්‌ වන සිය අපූරු කතා පොඩිත්ත අවසන් කරන්නේ ඒ ආකාරයෙනි.

''පිම්මයි හෙමිනයි'' මෙම කතුවරයාගේ පළමු ළමා කෘතිය වන බැවින් එහි අපට පෙනී ගිය සුළු අඩුපාඩුවක්‌ද මේ අවස්‌ථාවේ පෙන්වා දීම යුතුකමකි. වත්මන් සමාජයේ සෑම සියලු කටයුත්තක්‌ම අතීතයේදීට වඩා ශීඝ්‍රයෙන්, අති ධාවනකාරී අන්දමින් සිදුවන බව නොරහසකි. එම තත්වය ක්‍රමයෙන් අපේ සිතිවිලිවලටද කාන්දු වීම වැලැක්‌විය හැකි නොවේ. විශේෂයෙන්ම දිගු කලෙක සිට ජර්මනිය වැනි කාර්මික රටක ජීවත්වන කතුවරයාට මෙම කාරණය වඩාත් තදින් බලපානු ඇති බවට කිසිදු සැකයක්‌ නැත. සමාජයීය වටපිටාවේ ඇති එම අහිතකර අති ධාවනකාරී බව මෙම කෘතියේ ලේඛන රටාවටද වරින් වර බලපා ඇති බව සමහර තැන්වලදී ඉස්‌මතුවී පෙනේ. ළමා කතාවක්‌ මෙගා ටෙලි නාට්‍යයක්‌ මෙන් ඉවරයක්‌ නැතිව දිගින් දිගට ඇදි ඇදී යැමක්‌ අවශ්‍ය නොවන බව සත්‍යයකි. එහෙත් දරුවන් සඳහා කතා කීරීමේදී අවශ්‍ය තැන් තෝරා බේරාගෙන ඒ තැන්වලදී තරමක්‌ විස්‌තරාත්මකව කරුණු දැක්‌වීමෙන් නිකම්ම කතාවක්‌ කියවා පොත පසෙකින් තබනවාට වඩා ළමයින් සිතන්නන් බවට පත් කිරීමට පසුබිමක්‌ සැකසෙන බව අපගේ හැඟීමයි. හෙට සාර්ථක නිර්මාණකරුවකු ලෙස ලෝකයට පාතබන්නේ අද එසේ ''සිතන්නකු'' බවට පත්වන දරුවෙකි. මේ අදහස ගැනද නෙවිල් පෙරේරාගේ අවධානය යොමුවන්නේ නම් ඔහු අතින් ඉදිරියේදී ලියවෙන ළමා කෘති මීටත් වඩා කතා රසයෙන් අනූන විය හැකි බව අපගේ විශ්වාසයයි.

ළමා කතන්දර පොතකට එහි ඇතුළත් වන චිත්‍ර ආභරණයකි. කතාවේ අදහස්‌ වඩාත් රසවත්ව ළමා සිත් තුළට කා වැද්දීමට එහි එන විවිධ සිත්ගන්නා අවස්‌ථාවන් චිත්‍රයට නගා ඉදිරිපත් කිරීම බොහෝ දුරට ඉවහල් වනවා පමණක්‌ නොව එම චිත්‍ර ඇඳීමද බෙහෙවින්ම අසීරු කටයුත්තකි. මෙම පිම්මයි හෙමිනයි ළමා කතන්දර පොතටද එහි ඇතුළත් චිත්‍ර ආභරණයක්‌ වී තිබීම සතුටට කරුණකි. මෙම කෘතියට චිත්‍ර නිර්මාණයෙන් දායකවී ඇත්තේ රාජ්‍ය සම්මාන ලාභී චිත්‍ර ශිල්පියෙකු වන ශාන්ත කේ. හේරත් විසිනි. කතාවට අනුරූප වන පරිදි පිම්මාත් හෙමිනාත් සතුටින් සෙල්ලම් කරන ආකාරය - යාලූවන් දෙන්නා පොත් බෑග් එල්ලාගෙන පාසල් යන්නට පිටත් වන අන්දම ඉබි ජෝඩුවත් - හා ජෝඩුවත් එකම මිදුලකටවී සතුටින් බලා සිටිනා ආකාරය - පීනන්නට බැරිව අමාරුවේ වැටුණ අවස්‌ථාවේ ඉබි පවුලේ උදවිය හා පවුලේ කට්‌ටිය තම පිටවල් උඩ තබාගෙන ගඟෙන් එතෙර කරවීම වැනි දරුවන්ගේ සිත් ගන්නා අවස්‌ථා බෙහෙවින් නිර්මාණාත්මක රූප මඟින් ඉදිරිපත් කිරීමට ශාන්ත කේ. හේරත් උත්සාහ දරා ඇත. එහෙත් පොතෙහි ඇතුළත් චිත්‍ර සම්බන්ධයෙන් පහත දැක්‌වෙන අදහස්‌ද නොසඟවා ඉදිරිපත් කිරීම යුතුකමක්‌ බව අපගේ හැඟීමය.

නවීන තාක්‍ෂණය අසීමිතව භාවිතයෙන් අපගේ ගීත සාහිත්‍යයට සිදුවී ඇති විනාශය ගැන අමුතුවෙන් කතා කළ යුතු නැත. චිත්‍ර ශිල්පයටද තැන නොතැන නොබලා ඒ ආකාරයට තාක්‍ෂණය මුසු වුවහොත් ඉහත කී අභාග්‍යමත් ඉරණමම අත්වනු ඇත. ශාන්ත කේ. හේරත් වැනි කලාතුරෙකින් රටකට උපදින දක්‍ෂ ශිල්පියකුගේ නිර්මාණාත්මක හැකියාවන් පරිගණකයක බොත්තමකින් යටපත් වන්නට යන්නේ නම් ඔහු එම උවදුරින් ගලවා ගැනීමට ඉදිරිපත්වීම පාඨකයින් හා රසිකයින් වශයෙන් අපගේ යුතුකමය. මන්ද යත් වෛද්‍ය විද්‍යාව - ඉංජිනේරු ශිල්පය හෝ නීතිඥ වෘත්තිය වැනි වෙනත් බොහෝ දේ මෙන් නිර්මාණාත්මක චිත්‍ර ශිල්පියකු වීමේ හැකියාව පොතපත පරිහරණයෙන් දැනුම ලබා විභාග සමත් වීමෙන් පමණක්‌ උරුම කරගත හැකි වෘත්තීය සුදුසු කමක්‌ නොවන නිසාය. කලාත්මක නිර්මාණ කිරීමට ඇති හැකියාව කෙනෙකුගේ උත්පත්තියේ සිට - ජාන වලින්ම - ඇඟේ ලේ වලට මුසුවී පූර්ව වාසනා ගුණය නිසාම පුද්ගලයකුට ලැබෙන අගනා ජීවන දායාදයක්‌ නිසා එය තාක්‍ෂණික මෙවලමකට යටපත් වීමට ඉඩ හැරීම කණා මැණිකට පයින් ගසා ගොස්‌ වෙන වෙන කුණු කන්දල් අතගෑමකට සමානය.

චිත්‍ර ශිල්පයත් ඒ සඳහා පරිගණක තාක්‍ෂණය භාවිතා කිරීමේ ක්‍රමවේදයත් එහි සීමාවන් ගැනත් මෙය ලියන මාවැනි බොහෝ දෙනෙකුට අවබෝධයක්‌ නැත. එහෙත් දඟ කලා ශිල්පියෙකුගේ අතින් අඳින ලද චිත්‍රයක ඇති සජීවී ප්‍රාණවත් බවත්, නිර්මාණ කුසලතාව හරි හැටි ඉස්‌මතු වීමට මඟ අවුරන පරිදි පරිගණක තාක්‍ෂණය මුසුවීම නිසා ජීවී ගුණය බාල වූ කෘත්‍රීම චිත්‍රයක ඇති ''ලේ හිඳුන'' ගතියත් වෙන් වෙන්ව හඳුනා ගත හැකි ''ඉවක්‌'' අපට ඇත.

වෘත්තීය චිත්‍ර ශිල්පියකු වන ශාන්ත කේ. හේරත්ට ඔහුගේ නිර්මාණවලදී නවීන තාක්‍ෂණය භාවිතය පිළිබඳව උපදෙස්‌ දීමට හෝ ඒ සඳහා සීමා මායිම් පැනවීමට අපට අයිතියක්‌ නැත. එහෙත් ළමා පොත් සඳහා චිත්‍ර ඇඳීමට සමත් සංවේදී චිත්‍ර ශිල්පීන්ගේ විශාල හිඟයක්‌ පවතින අපේ රටට සිටින දක්‍ෂ නිර්මාණ ශිල්පියකු වන ඔහු ගෙන්, පොත පත රස විඳීමට ආසා කරන සමස්‌ත දරු පරපුර වෙනුවෙන්ම අප විසින් මෙම ඉල්ලීම කළ යුතුය. මේ වන විට ජීවත් වීම උදෙසා හැම කෙනෙකුටම කාලය ඇතුළු තවත් බොහෝ දෑ සමඟ සටන් වැදීමට සිදුවී ඇතත් ළමා පොත් සඳහා චිත්‍ර නිර්මාණයේ දී පමණක්‌ වත් පරිගණක භාවිතයෙන් තොරව ශාන්ත තම සජීවී නිර්මාණාත්මක හැකියාව පමණක්‌ ප්‍රයෝජනයට ගන්නේ නම් එය දැයේ දූ දරුවන් උදෙසා ඔහුට දිය හැකි හොඳම දායාදයක්‌ වනු ඇත. .

2015/01/04

බුදු මඟ (Along with Loard Bhuddha)


ශාන්ත කේ හේරත් ගේ නිර්මාණයක්

සුමන සමන් දෙවියෝ ඒ නිල්මිණිවන් කෙස් කළඹ රන් සුමුගෙකින් පිළිගෙන බුදුරදුන් වැඩ සිටි දහම් අමාවැසි වැස් වූ බිම් රැවන් රැසක් අතුරා ඒ මත තබා ඉඳුනිල්වන ගලින් සත්රියන් උසැති සෑයක් බන්දා කේසධාතු නිදන් කොට පුද පෙරහැර දැක්වූහ.

2014/10/22

ගෙඡ්ජි මාලය දොරට වැඩුම







ශාන්ත කේ. හේරත් ගේ චිත්‍රවලින් සහ නෙවිල් පෙරේරාගේ රචනයෙන් 'ගෙඡ්ජි මාලය' ළමා සාහිත්‍ය කෘතිය දොරට වැඩුමේ උත්සවය මෙම 15 වැනි (බ්‍රහස්‌පතින්දා) සවස 3.30 ට කොළඹ 7 ජාතික පුස්‌තකාල සේවා මණ්‌ඩල ශ්‍රවණාගාරයේදී පැවැත් විණි. මේ එම අවස්ථාවේ ඡායාරූප කිපයක්.






2014/08/19

රජ ගොනා


"රජ ගොනා" ගැන රජ කතා

"අහුබුදු මහත්තයාගේ ළමා පොතකට චිත්‍ර අඳින්න තියෙනවා කිව්වහම මම කැමති වුණා. මේ පොතේ තියෙන්නේ පිටු විසි එකයි. පිටු විසි එකේම චිත්‍ර තිබෙනවා. මගේ ප්‍රශ්නය මේකයි. ළමා කෘතියකට සම්මාන දීමේදී එම කෘතියේ අඩංගු චිත්‍ර සම්මාන නිර්දේශයට බලපෑවේ නැද්ද? එහෙම බලපෑවා නම් චිත්‍ර ශිල්පියාට කරන අගය කිරීම කුමක්‌ද? මේක මම අහන්නේ, ළමා කෘතියට සම්මාන දුන්නු විනිශ්චයකරුවන්ගෙනුයි."

ඉහත උදුරා දක්‌වා ඇත්තේ, පසුගිය ඔක්‌තෝබර් අට වැනිදා (08 දා) "දිවයින" පුවත්පතේ සාහිත්‍ය අතිරේකයේ පළවූ සංවාද සටහනක ආරාධිතයාගේ එක්‌ පිළිතුරකි. ප්‍රවීණ චිත්‍ර ශිල්පී ශාන්ත කේ. හේරත් එසේ පිළිතුරු බඳින්නේ සංවාදකරු අසන පහත පැනයටයි.

"රජ ගොනා" කෘතියට ඔබගේ දායකත්වය කුමක්‌ද?

මෙම විමසුමට චිත්‍ර ශිල්පියාගෙන් ලැබුණු උක්‌ත පිළිතුර ද සමගම මෙතෙක්‌ මේ රටේ සංවාදයට බඳුන් නොවූ එහෙත් මීට බොහෝ කලකට ඉහත ක්‍රමානුකූල තත්ත්ව විග්‍රහයකට ලක්‌ව තිබිය යුතු වූ ශාස්‌ත්‍රීය මට්‌ටමේ න්‍යායික කරුණක්‌ පිළිබඳ මැහි දෙබරය අවිධිමත් ලෙස ඉහිරී යැමට කරුණු යෙදී ඇත.

එහෙත් මෙහිදී චිත්‍ර ශිල්පියා නගන පැනය, වියුක්‌ත සාධාරණත්වයක්‌ අපේක්‍ෂා කරන්නක්‌ මිස තමන්ම යෙදී සිටිනා චිත්‍ර ශිල්පය නම් වෘත්තියේ අයිතිවාසිකම් පිළිබඳ හෝ එම ශිල්පයේ න්‍යායික මෙන්ම සොබාව උරුමයෙන්ම හිමිකම් ලැබිය යුතු වූ පුළුල් කාරණය ගැන හඬගා විමසන්නක්‌ නොවන බව පැහැදිලිය. එබැවින් මෙහිදී මා යෝජනා කරන්නේ, මෙම නව එළැඹුම, "රජගොනා" ළමා කෘතියට තම දායකත්වය සැපයූ චිත්‍ර ශිල්පියාගේ බුද්ධිමය දේපළ අරබබයාම නැඟෙන සාධාරණය අසාධාරණය මත පදනම් වූ කරුණක්‌ යන තැනින් ඔබ්බට පියමං තබමින් වඩා පුළුල් වූ ශාස්‌ත්‍රීය න්‍යායික කතාබහක්‌ වෙත සේන්දු කර විය යුතු බවයි. එවිට, මේ මොහොතේ වියුක්‌ත ප්‍රශ්න කිරීමක්‌ ස්‌වරූපයෙන් පෞද්ගලීකරණය වී ඇති "චිත්‍ර ශිල්පියාගේ ප්‍රශ්නය" සාහිත්‍ය කලා සම්මාන ඇගැයුම් මූලික කරගත් මහා කතිකාවේ ඓන්ද්‍රීය කොටසක්‌ බවට පත් කරගත හැකි බවයි.

එවන් ප්‍රවේශයකින් අනතුරුව දැන් අපට අදාළ කාරණය වඩා විධිමත් අයුරින්, ගෞරවනීය ලෙස සාකච්ඡාවට යොදාගත හැකිය. පිවිසුමේදීම අවබෝධ කරගත යුතු මූලික කරුණු කීපයක්‌ මෙසේ සංක්‍ෂිප්ත ලෙස දැක්‌විය හැකිය.

ෂ ළමා සාහිත්‍යයට අදාළ සාහිත්‍ය කෘතීන් පිළිබඳ න්‍යායික වර්ග කර දැක්‌වීමක වගුව කෙසේ විය හැකිද? කෙසේ විය යුතුද? එවැන්නකින් යොවුන් සාහිත්‍යය ඡේදනය වන සීමාව කවරක්‌ද? එසේම යොවුන් සාහිත්‍ය ඇසුර හා යොවුන් වැඩිහිටි සාහිත්‍යය භාෂණය නිර්ණය වන සීමා කවරේද? (ලංකාවේ සාහිත්‍ය සම්මාන ප්‍රදානයේදී ඉහත තත්ත්ව කිසිවක්‌ න්‍යායික අයුරින් සලකා බැලෙන්නේ නැත.)

ෂෂ ඉහතින් දක්‌වා ඇති අවම බෙදා දැක්‌වීම්වලට අදාළව සලකා බලද්දී යොවුන් සහ යොවුන් වැඩිහිටි සාහිත්‍ය කෘතීන්හි අඩංගු විය යුතු යෑයි ජාත්‍යන්තරව සම්මත වී ඇති අදාළ කෘතිය ලියෑවෙන භාෂාවේ වදන් භාවිතය අඩංගු සිද්ධිය පිළිබඳ පූර්ව සහ පශ්චාත් සමාජ දේශපාලනික තත්ත්වය සහ වෙසෙසින්ම ළමා සාහිත්‍ය කෘතියක්‌ නම්, එහි ඇතුළත් මඟපෙන්වීමේ චිත්‍ර සහ එවායේ මනෝවිද්‍යාත්මක වටපිටාව අතිශයින්ම වැදගත්ය.

යොවුන් සහ යොවුන් වැඩිහිටි සාහිත්‍ය කෘතීන්හි භාෂාව, වදන්, සිද්ධි සහ සිද්ධිවාචික පෙර-පසු තත්ත්ව ගැන බරපතළ උනන්දුවක්‌ අප රටේ සාහිත්‍ය සම්මාන ප්‍රදානයේදී සිදු නොවේ. ඊට ප්‍රධාන හේතුව, මේවා විනිශ්චය සඳහා යෙදෙන්නන්ගේ අත ඇති ඊට අවශ්‍ය දැනුමේ පසුබිම අතිශයින් දුප්පත්වීමයි. එසේම පසුව කියෑවෙන ළමා සාහිත්‍ය කෘතිවල ඇඳෙන "මඟපෙන්වන චිත්‍ර" ගැන දක්‌වන සැලකිල්ල මෙහි අවමය හෝ ඇත්තේම නැත. එහෙත්, ළමා කෘතිවල මඟපෙන්වන චිත්‍ර හෙවත්, ඉතා සරල බසින් ලියෑවී ඇති වදන් කීපයෙන් කියෑවෙන බාහිර පරිසරය දරුවාට සුපුරුදු එදිනෙදා භෞතික වටපිටාව සමග උදක්‌ම ඈඳන "මඟපෙන්වන චිත්‍ර" එම කෘතීන්හි අඩංගු අකුරින් ලියෑවුණු වචනවලට වඩා තීව්‍ර කාර්යභාරයක්‌ ඉටු කරන බවද මේ විනිශ්චය මණ්‌ඩල නොදනී. එය අභාග්‍යයකි.

(ෂෂෂ) ළමා සාහිත්‍ය
Children's Literature - මෙයට අදාළ වන වයස්‌ සීමාව වන්නේ, වයස අවුරුදු තුනේ (03) සිට වයස අවුරුදු දොළහ (12) දක්‌වා දරුවන්ය. (උක්‌ත "රජගොනා" කෘතිය අයත් වන්නේ මේ කාණ්‌ඩයටයි) මෙම කාණ්‌ඩය සඳහා කෘතීන් සැකසීමේදී එවායේ මුල් අවදිය සඳහා විශේෂයෙන්ම යොදාගත යුතු වන්නේ, "මඟ පෙන්වන චිත්‍ර" සහිත වදන් අවම කෘතීන්ය. එවා හැඳින්වෙන්නේ, Illustrations නමිනි. ("රජ ගොනා" යනු ඉලස්‌ටේ්‍රෂන් කෘතියකි.) එවිට එහිදී එම කෘතියෙහි අඩංගු චිත්‍ර යනු බරපතළ වගකීමක්‌ සහ බරක්‌ දරන කොටසකි. එසේ වූ කල යම් අගැයීමකදී අනිවාර්යයෙන්ම මෙම "මඟපෙන්වන චිත්‍ර" නිර්මාණය කරන ශිල්පීන් එකී අගැයුමේදී අගය කිරීමට භාජන විය යුතුමය.

එහෙත් මේ ගැන සංවාද පුවරුවක්‌ නිර්මාණය වූ අවස්‌ථාවේ (නොවැ. 01 ඉරිදා ලක්‌බිම) අරිසෙන් අහුබුදු මහතා කියා තිබුණේ මෙකී කතාබහට නිමිත්ත සැපයූ "රජගොනා" කෘතිය සාහිත්‍ය කෘතියක්‌ බැවින් එහිදී එම කෘතියෙහි භාවිත බස හෝ කතා සාරය ගැන මිස චිත්‍ර ගැන විශේෂ අවධානයක්‌ සම්මාන දීමේදී නොයෙදීම කමෙක්‌ නැති බවයි. නමුත් අහුබුදු මහතාගේ කෘතියේ "ඉලස්‌ටේ්‍රෂන්" ගණයට ජාත්‍යන්තර නිර්ණයේදී අයත් වන බැවින් එහි අඩංගු චිත්‍ර, බස සහ කතාන්දරය සේම සමපෙළ අසුන් ගන්නා බැව් අවධාරණය කළ යුතුව ඇත.

මේ පිළිබඳ අදහස්‌ දක්‌වා තිබූ සිබිල් වෙත්තසිංහ මහත්මිය දක්‌වා තිබූ අදහස්‌ ඉතාමත් සාධනීය සහ දියුණු මට්‌ටමේ තිබිණි. ඒ ගැන සැකක්‌ නැත. ඇය තමන්ගේ නිර්මාණ කටයුතු පාදක කැරගෙනම ඇත්තේද මෙම නිර්මාණ කාණ්‌ඩයට අදාළව බැවින් ඈ තුළ මේ ගැන හොඳ වැටහීමක්‌ ඇති බව පැහැදිලිය. ඇය කියා තිබුණේ දියුණු රටවල නම් රචකයා මෙන්ම චිත්‍ර ශිල්පියාද අගය කිරීමකට ලක්‌වන බවයි. අදහස නිවැරදිය. අපද කළ යුතුව ඇත්තේ, පෞද්ගලික පාරම්බෑම් නවතා දියුණු රටක්‌ බවට පත්වන්නට අවශ්‍ය අයුරු කටයුතු සම්පාදනය කර ගැනීමයි.

එහෙත්, මේ ගැන තම අදහස්‌ දක්‌වා තිබූ සාහිත්‍ය අනුමණ්‌ඩලයේ සභාපති මහතා කියා තිබුණේ ළමා කතාන්දරවල චිත්‍ර ශිල්පියාට සම්මාන නිර්දේශ කිරීමේ සම්ප්‍රදායක්‌ අපට නැති බවයි. එසේම ඔහු දක්‌වා ඇති තවත් ඉතා බරපතළ අදහසක්‌ වනුයේ, ළමා පොත්වලට චිත්‍ර අවශ්‍යම නැතිය යන්නයි. මෙය කලකින් අසන්නට ලැබෙන තරමේ අමන ප්‍රකාශයකි. යම් කරුණක්‌ පිළිබඳ ජනමාධ්‍ය වෙත අදහස්‌ ප්‍රකාශ කරද්දී එහි ඇති ශාස්‌ත්‍රීය පදනම ගැන අංශු මාත්‍රයක්‌ හෝ දැන සිටීම එවැනි තනතුරක්‌ දරන්නකුගේ වගකීමක්‌ වෙයි.

"ළමා කතා පොතකට චිත්‍ර අවශ්‍යමයි කියලා කියන්න බැහැ. ළමා කතාවක චිත්‍ර නැති වුණත් ළමයකුට රස විඳින්න පුළුවන්. කතාව හොඳ නම් ළමයා අවශ්‍ය සිතුවිලි තම සිත තුළ නිර්මාණය කර ගන්නවා." (සාහිත්‍ය අනු මණ්‌ඩල සභාපති - ඉරිදා ලක්‌බිම - නොවැ. 01)

ඉහතින් උදුරා දක්‌වා ඇති මනස්‌ගාත අදහස්‌වලට අවශ්‍ය ප්‍රතිචාරාත්මක දැනුම මෙම රචනාවේ මීට ඉහතින් සඳහන්ව ඇත. ළමා පොතකට චිත්‍ර අවශ්‍යමයි කියලා කියන්න බැහැ කියා කීමම ප්‍රකාශකයාගේ මේ පිළිබඳ ඇති දැනුම හෙළිදරව් කරවන බැවින් එ ගැන දුර ලිවීමක්‌ අනවශ්‍ය ය. මෙම රචනාව කිරීමට පෙර මා ඇසුරු කළ මෙම විෂය පිළිබඳ, එනම්, ළමා සාහිත්‍යය පිළිබඳ පර්යේෂණාත්මක අයුරින් ලියෑවී ඇති පීටර් හන්ට්‌ නමැති ශාස්‌ත්‍රවන්තයාගේ (
Peter Hunt - 1945 - බ්‍රිතාන්‍ය ජාතික මහාචාර්යවරයා) An Introduction to Children's Literature - 1994 කෘතිය සමග තවත් න්‍යායික තලයේ ජාත්‍යන්තර නිදසුන් සමග මෙම කතාබහ ඉදිරියට ගෙන යැමට සූදානමක්‌ ඇති බව ඉන් කෙරෙන ඇඟැවුමයි.

"රජ ගොනා" ළමා කෘතිය සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමිවීමත් එම කෘතියේ චිත්‍ර නිර්මාණ කළ චිත්‍ර ශිල්පියා සම්මාන අගැයුමේදී නොසලකා හැරීමත්, එකී නොසැලකීම පසුබිමෙහි ඇති ශාස්‌ත්‍රීය හා න්‍යායික නොදැනුවත්කම සහ ඊට නොදෙවෙනි, එ පිළිබඳ අදහස්‌ දැක්‌වීමේදී පළ කරන නොදියුණු හිතුවක්‌කාර සොබාව අපට කියා පාන්නේ, තවත් දීර්ඝ කාලයකට ශ්‍රී ලංකාව මේ ළඟ සිටිනා තැනින් දශමයක්‌ හෝ ඉදිරියට ගමන් නොකරනා බවයි. එබැවින්, එම තත්ත්වය පහදා මතු කරලන්නට ඉවහල් වූ "චිත්‍ර ශිල්පියාගේ ප්‍රශ්නය" තවදුරටත් බුද්ධිමය සංවාදයේ රැළි පෙරැළි නඟමින් මතුවිය යුතු යෑයි හඟිමි.

සේපාල් අමරසිංහ