2015/09/22

විරිතක් එක් වුණ පත්තිරුවක්





ශාන්ත කේ හේරත් දිවයින පුවත් පතේ කවි පුටුවේ කවියක් වෙනුවෙන් අඳින ලද චිත්‍රයකි. කවියෙන් මතුව එන රස සමග මුසුවන තෙළිතුඩක පහස විඳගනිමු.





කවියේත් තෙලිතුඩෙත් පහස ලැබූ පුවත් පත් කවි පිටුවක්. සිත්තමක්.

දිවයින පුවත් පතින් ස්කෑන් කර ලබා ගත්තකි.

2015/05/13

මම කලා කෘතියක්‌ ලෙස පිටුවක්‌ නිර්මාණය කළා




ශාන්ත කේ. හේරත් අප හඳුනාගන්නේ චිත්‍ර හා මූර්ති ශිල්පියකු වශයෙනි. දිවයින පුවත් පතට චිත්‍රශිල්පියකු ලෙස එක්‌වෙමින්පුවත්පත් කලාවේදියකු ද වූ ශාන්ත සිය වෘත්තිය ජීවිතයේ ද්විස්‌වරූපයකින් සිය සහෘරදයින් ආමන්ත්‍රණය කළේ නිර්මාණ ශිල්පියකුට කලාතුරකින් හිමිවන අවසථාවක්‌ උදාකරගනිමිනි. කෙසේ වුව ද සිය වෘත්තිය තුළ පුවත් පත් කලාව කලාවක්‌ ලෙස ම දකිමින් එහි පරමාදර්ශී ඉම් සොයා යන්නට ඔහු කළ මෙහෙවර අතිමහත් ය. ඒ මෙහෙවරෙහි නොයිඳුල් ඵලයකි "ලලිත". දෘෂ්‍ය කලාවත් පාඨකයාත් අතර පාලමක්‌ තැනීමට ශාන්ත දැරූ වෑයම "ලලිත" ලෙස කලක්‌ "දිවයින" පුවත් පතේ වේදිකාවක්‌ බවට පත් විය. කාලයාගේ ඇවෑමෙන් "ලලිත" අතිරේකයේ සොඳුරු මතකයන් අවදිකරන අරමුණින් යළි "දිවයින" පුවත් පතේ නිමවන ලලිත වේදිකාවට "ලලිත" නිssමැවුම්කරු කැදවා එන්නට අප දැරූ වෑයමයි මේ...

දක්‌ෂ කලා
(Fine Arts) සඳහාම වෙන් වූ පුවත්පත් අතිරේකයක්‌ ඉදිරිපත් කිරීමට කල්පනා කළේ ඇයි?

ලලිත වැනි පිටුවක අවශ්‍යතාව මට බරපතළ ලෙස දැනුණා. ඊට ප්‍රධාන හේතුව මම චිත්‍ර ශිල්පියෙක්‌ වීම. මම චිත්‍රශිල්පයට ආදරය කරන ගමන් එහි නියෑළෙන ගමන් මම කරන නිර්මාණ මගේ තෘප්තිය සඳහාම තබා ගන්නවාට වඩා ඒවා ජනතාව අතරට රැගෙන යැමේ වුවමනාවක්‌ ඇති වූනා. නිර්මාණ කිරීම එකක්‌. ඒවා මිනිසුන් අතරට ගෙන යැම තව එකක්‌. නිර්මාණ ශිල්පියකුට මේ දෙකම කිරීම අපහසු කාර්යයක්‌. මට මේ ස්‌ථාන දෙකේම භූමිකා තිබූ නිසා මම එය හඳුනා ගත්තා. ඒ හඳුනා ගැනීම හේතුවෙන් ලලිත වැනි පිටුවක්‌ කළ යුතුය කියන කාරණය මම කර්තෘවරු සමග සාකච්ඡා කළා. නමුත් එය කෙසේද කළ යුත්තේ ඊට අවස්‌ථාව ලබා ගන්නේ කොහොමද කියන කාරණා ගැන ගැටලු තිබුණා. අවසානයේ "දිවයින" හිටපු ප්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් මහතා ඒ පිටුව ආරම්භ කරන්නැයි මට ආරාධනා කළා. මෙතැනදි උපාලි තෙන්නකෝන් මහතාට අවශ්‍යතාවක්‌ තිබුණා පරණ සාම්ප්‍රදායික පුවත්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රමය වෙනස්‌ කරන්න. හුරුවීම්, පුරුදුවීම්, ඇබ්බැහිවීම්වල කඳවුරු බැඳගෙන ඉන්න පිරිස වෙනස්‌ කරන්න. එය විශාල අභියෝගයක්‌. මේ අභියෝගය භාර ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මා ඉදිරියට ආවා. මා එය භාර ගත්තා. මේ අභියෝගය ජයගන්න මූලිකව එවකට උපාලි පුවත්පත් සමාගමේ සභාපතිනිය වූ ලක්‌මණි වෙල්ගම මහත්මියත් දෙවනුව නිමල් වෙල්ගම මහතාත් උදව් කළා. ඒ සඳහා අවශ්‍ය තාක්‌ෂණය, පර්යේෂණ පහසුකම් ආදී සියලු දේ ලබා දුන්නා.

මම කලා කෘතියක්‌ නිර්මාණය කරන ආකාරයට පිටුවක්‌ නිර්මාණය කිරීමට උත්සාහ කළා. ඒ වෙනකොට පරිගණක තාක්‌ෂණය සම්පූර්ණයෙන්ම අපට ලැබී තිබුණේ නැහැ. නමුත් ඒ පිළිබඳ පිටස්‌තරින් මා ලබා තිබූ දැනුම පාවිච්චි කරමින් පර්යේෂණ කරමින් පිටු හදන්න ගත්තා. එහි ප්‍රතිඵලයක්‌ ලෙස බදාදා අතිරේකය පිටු සැකසුම් අතින් සම්පූර්ණයෙන් වෙනස්‌ තැනකට ගෙන ඒමට අපි සමත් වූනා. ඒ ජයග්‍රහණය පිළිබඳ හොඳම උදාහරණය තමයි එහි පළවූ ඉතිහාසය පිsssළිබඳ ලිපියක්‌ කියෑවූ කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්‌ අපේ කන්තෝරුවට ආවා. ඒ වෙනකොට මේ ලිපියේ කොටස්‌ පනස්‌ ගණනත් පළ වී අවසන්. ඔහු එහි මුල් කොටස්‌ ටික සොයාගෙනයි ආවේ. අපි ඔහුගෙන් විමසා සිටියා, දැන් ලිපියේ කොටස්‌ පනහකට වඩා පළ වෙලා. ඔබ මුලදී මේ ලිපිය දුටුවේ නැද්ද කියා. ඔහු කිව්වේ පත්තරේ මම බලනවා නමුත් මේ ලිපිය මීට කලින් කියවන්න ලැබුණේ නැහැ කියලා. මුලදී සාමාන්‍ය ක්‍රමයට අර ලිපිය පත්තර පිටුව පුරා එලලා තිබුණා. මිසක්‌ බැලූ බැල්මට ලිපිය ආකර්ෂණයට ලක්‌වන ලෙස ඉදිරිපත් කර තිබුණේ නැහැ. මම බදාදා අතිරේකයට විශේෂත්වයක්‌ හදා ගත්තා. ඇතුළෙ තියෙන හැම ලිපියක්‌ම වෙනස්‌ වෙලා ඇවිත් මුල් පිටුව සැකසෙන ආකාරයට. ඒ ඉදිරිපත් කිරීමේ ආකර්ෂණය අනුවයි. ඔහුට ඒ ලිපිය හමු වී තිබෙන්නේ ඉදිරිපත් කිරීමේ රටාවේ තිබෙන නිර්මාණශීලී ස්‌වභාවය මිනිසුන්ට කොයි විදිහට ද බලපාන්නේ කියන එකට ඉතා හොඳ උදාහරණයක්‌ ලෙස එය හඳුන්වන්න පුළුවන්. සාම්ප්‍රදායික ඉදිරිපත් කිරීම නරකයි කියනවා නොවේ. නමුත් සම්ප්‍රදාය නිර්මාණශීලීව භාවිත කරන්නේ කොහොමද කියන එක කලාවක්‌.

ඔය කාලයේදීම බදාදා අතිරේකයේ සාර්ථකත්වයත් එක්‌ක දෘෂ්‍ය කලා සඳහා සිංහල පුවත්පත්වල ඉඩ නැති වීම වළක්‌වන්න පිටුවක්‌ කරමු කියන සාකච්ඡාවට ඉඩකඩ ලැබුණා. නමුත් එය කරන්නේ කොහොමද කියන එක ගැන අපට අවබෝධයක්‌ තිබුණේ නැහැ. චිත්‍ර කලාව ගැන, ඉහළ කලාවන් ගැන යම් කෙනකුට ලියන්න කියලා කිව්වොත් ඔවුන් කියන්නේ අපිට මේක තේරෙන්නේ නෑ. දන්නේ නෑ, අපි මේක ඉගෙන ගෙන නෑ කියලා නමුත් මගේ මතයක්‌ තිබුණා ඉහළ කලාව හෝ පහළ කලාව හෝ කලාව කියන එක උපතින් මන්ද බුද්ධික හෝ අංග විකල වෙලා, ශාරීරික දුර්වලතාවක්‌ නැති හැම මනුෂ්‍යයකු තුළම අඩු වැඩි වශයෙන් තියෙනවා කියලා. ඒය මතුකර ගැනීම, උලුප්පා ගැනීමයි අපි කළ යුත්තේ මේ පිළිබඳ වෙනම පර්යේෂණ කරන්න, ඉගෙන ගන්න ආයතන නෑ. සාම්ප්‍රදායික පාසල් අධ්‍යාපනය ඇරුණහම සෞන්දර්ය විශ්වවිද්‍යාලය තියෙනවා. නමුත් ජාතික වශයෙන් විශාල වෙනස්‌කමක්‌ කළ හැකි බලපෑම් කළ හැකි ව්‍යqහයක්‌ ඒ තුළ නැහැ කියන එක අපි පිළිගන්නවා. ඒ තුළින් කිසියම් කාර්යභාරයක්‌ සිදු වෙනවා. එය අවතක්‌සේරු කරන්නේ නැහැ. නමුත් ප්‍රමාණවත් නැහැ.

උපාධිධාරියකු ලෙස, ඩිප්ලෝමාධාරියකු ලෙස කලායතනයෙන් පිටවුණු අය ගුරුවරු වෙලා. ශිල්පීන් වෙලා ඉන්නවා. නමුත් අද වනතුරා අපි මේ සාකච්ඡා කරන විෂය පිළිබඳ මුළු සමාජයක්‌ දැනුවත් වන කලාව පිළිබඳ රසය ජනතාව අතරට ගෙන යන කලාවේ නව ප්‍රවණතාවන් පිළිබඳ සාකච්ඡා වෙන කලාව පිළිබඳ විචාරය කරන සම්ප්‍රදායයක්‌ පිළිබඳ සාධක අපට සොයා ගන්න බෑ. ඒ අඩුව සම්පූර්ණ කරගන්න මේ පිටුව පාවිච්චි කරන්නේ කොහොමද කියන එක පිළිබඳවයි මම කල්පනා කරන්නේ. ලලිත කියන පිටුව වේදිකාවක්‌ ලෙස මෙහෙයවන්න මම උත්සාහ කළා. ඒ වේදිකාවේ තිරය ඇරියෙත් වැහුවෙත් මම.ඕනෑ වෙලාවක වේදිකාවට ගොඩ වෙන ලලිත කලාව පිළිබඳ ක්‍රියාත්මක වෙන කෙනකුට අපි අවස්‌ථාව දෙනවා. ඔහු ඉලක්‌ක කරලා ලයිට්‌ එක ගැහුවා. ඔහුට හඬක්‌ නඟන්න ඉඩක්‌ දුන්නා. ඒ පිළිබඳ සංවාද කරන්න පිටුවෙන් අවස්‌ථාව සලසා දුන්නා. ඒ අතරම පුවත්පතක පිටුවක්‌ තුළින් කොහොමද නිර්මාණශීලීව ජනතාව අතරට යන්නේ කියන එක ගැන අපට අනන්‍ය දෙයක්‌ සකස්‌ කර ගන්නේ කොහොමද කියන එක ගැන පරීක්‌ෂණ කළා. ඒ ආරම්භ කළ දේ වටිනාකම දැනගෙන එය නැති වී යන්න නොදී නැවත ආරම්භ කරනවා කියන එක මහා සතුටක්‌.

ඔබ පුවත්පත්වල ඉදිරිපත් කිරීම පිළිබඳ පර්යේෂණ කළ කාලයට සාපේක්‌ෂව අද පුවත්පත් කලාව තුළ භාවිත තාක්‌ෂණය ශීඝ්‍රයෙන් ඉදිරියට පැමිණ තිබෙනවා. නමුත් තාක්‌ෂණය භාවිතයේ දී යම් විනයක්‌ තිබිය යුතුයි නේද?

ලංකාවේ පුවත්පත් ගල් අච්චුවේ ගහන කාලේ ඉඳලාම විනය තිබුණා. ගල් අච්චුවේ ගහපු බාසුන්නැහේලා ළඟත් මේ විනය තිබුණා. නමුත් අවාසනාවකට තාක්‌ෂණය දියුණු වේගෙන එන්න එන්න මේ තත්ත්වය හෑල්ලු වුණා. ඒ විෂය භාවිත කළාට මදි, ඒ පිsළිබඳ අධ්‍යයනය කරලා ඉන් මතුවන දේ හඳුනා ගැනීමේ ඥනය ද අවශ්‍යයි. හඳුනා ගත්තත් මදි. ඒ හඳුනා ගත් දේ භාවිතයට සුදුසු පසුබිමකුත් ගොඩනැඟෙන්න ඕනෑ උදාහරණයකට ගල් තලාවක වී වපුරන්න බැහැ. ඒකට මඩ බිමක්‌ ඕනෑ. මඩ බිමක පොල් හිටුවන්න බැහැ. ගහ කුණු වෙනවා. ගොඩ ගොවිතැන මඩ ගොවිතැන ගැන අපේ ගොවියෝ හොඳට දැනගෙන හිටියා පුවත්පත ගොවි බිමක්‌. එහි වවන්නෝ පුවත්පත් කලාවේදියෝ.

දෘෂ්‍ය කලාව එහෙම නැත්නම් ෆයින් ආර්ට්‌ස්‌
(Fine Arts) කියූ විට එය යම් පිරිසකට ලඝූ වූ විෂයයක්‌ ලෙස හඳුනාගගැනීමක්‌ සිදු වෙනවා. නමුත් මේ විෂය පොදු කොට සමාජයට ගෙන යන්නේ කොහොමද?

මම චිත්‍ර ශිල්පියකුගේ මට්‌ටමේ හිඳිමින් හෝ ඉහළ රසිකත්වයක්‌ තිබෙන කෙනකුගේ මට්‌ටමින් නොවේ මේ පිටුව මෙහෙයවූයේ. සාමාන්‍ය ජනතාවගේ මට්‌ටමේ ඉඳගෙන. ඔවුන් තර්කානුකූලව කියනවා ශාන්ත කේ. හේරත් ඇඳපුවා අපට තේරෙන්නේ නැහැ කියලා. ඔවුන්ගේ ඒ ප්‍රශ්නය වැඩි පිරිසකගේ ප්‍රශ්නයක්‌. එබඳු දෙයක්‌ මං දිගින් දිගටම කරගෙන යැම තුළ මම මහා ගුප්ත තත්ත්වයකට පත් වෙනවා. මම මේක කරන්නේ මිනිසුන් සඳහා නම් ඔවුන්ගේ රසඥතාව ඉහළට ගෙන ඒම සඳහා නම් මම කරන්න ඕනෑ ඔවුන්ට එය තේරුම් ගැනීමට අවස්‌ථාවක්‌ සලසා දීම. තුළින් මගේ නිර්මාණය සමග සබඳතාවක්‌ ගොඩනඟා දීම. එය නිර්මාණ ශිල්පියාට කරන්න බැරිවෙන්න පුළුවන්. ඔහු ඒ සඳහා වෙහෙස වීම නිර්මාණකරණයට බාධාවක්‌. විචාරකයෝ පුවත්පත් කලාවේදියෝ ඇති වෙන්නේ ඒ අවශ්‍යතාවට යි. මේ හරහා ගැලරියට මිනිස්‌සු ගෙන්න ගන්න, චිත්‍ර මිනිස්‌සු අතරට ගෙන යන්න හැකි වෙන්න ඕනෑ. ඒ සබඳතා තුළින් ගොඩනැඟෙන ප්‍රතිඵල පිළිබඳ කතා බහක්‌ ඇති විය යුතුයි.

මෙතැනටම තවත් දෙයක්‌ අවධාරණය කළ යුතුයි. අපිට බැහැ කලා කෘතියක්‌ පත්තර පිටුවකින් පෙන්වන්න. අපි කරන්නේ කිසියම් විචාරාත්මක මඟ පෙන්වීමක්‌ පමණයි. යම් කලා කෘතියක්‌ පිළිබඳ මේ පිටුවෙන් බලලා අවසන් වෙනවා නම් එය අසාර්ථකයි. අපි මේකෙන් කරන්නේ සංඥවක්‌ දීම. මෙන්න මේ වගේ දෙයක්‌ අහවල් තැන තියෙනවා. ඒක මේ විදිහට රසවිඳින්න පුළුවන්. ගිහින් රසවිඳින්න කියන මඟ පෙන්වීමයි. අපි කළ යුත්තේ. පන්සලකින් වෙන්නෙ නිවන් මාර්ගයට මඟ පෙන්වීමක්‌ පමණයි. මේකත් පන්සලක්‌.

නිරෝෂන් හැඳලගේ
විචිත්‍ර වනිගනෙත්ති

උපුටා ගැනීම
දිවයින

2015/04/29

නිර්මාණකරුවාට කොතැනකවත් නිදහසක් නෑ



වසර
1981 අවසාන භාගය. ස්ථානය දිවයින පුවත්පත් කාර්යාලය. මෙම පුවත්පත සහා සිතුවම් කලාවෙන් දායකත්වය සැපයූ පුද්ගලයා නිරන්තරයෙන් උත්සාහ කළේ තමන්ගේ සිතුවම් බද්ධ කර ගන්නා සෑම ක්‍ෂෙත‍්‍රයක ම කිසියම් වෙනසක් ඇතිකිරීම යි. මෙම සිද්ධිය වූ දිනයේ ද ඔහු, ඉරිදා දිවයින පුවත්පතේ කතුවරයා තමන් අතට පත්කළ කෙටිකතාවක් වෙනුවෙන් සිතුවමක් නිර්මාණය කළේ ය. එය කතුවරයා අතට පත්කළ ඔහු වෙනත් කාර්යයක නිරත විය. කතුවරයා මෙම සිතුවමත් රැගෙන ප‍්‍රධාන කර්තෘ වෙත නික්ම ගියේ ය.
එකී සිතුවම නරඹමින් කතුවරයා සහ ප‍්‍රධාන කර්තෘ බරපතල සාකච්ඡුාවක නිරත වන බව චිත‍්‍ර ශිල්පියාට දක්නට ලැබිණි. එතේ ඔහු එය තුට්ටුවකටවත් මායිම් නොකරමින් ම තම කාර්යයෙහි නිරත විය. මඳ වේලාවකින් තමා මුණගැසෙන ලෙස දන්වමින් ප‍්‍රධාන කර්තෘගෙන් ඔහුට ඇමතුමක් ලැබිණි. තරමක චංචල බවකින් යුතුව වුව ද ඔහු ප‍්‍රධාන කර්තෘ වෙත පියනැගුවේ ය. කතුවරයා ද මෙම අවස්ථාවේ ඔහු සමඟ ම රැඳී සිටියේ ය.
 ‘‘අයිෂෙ, මොකක් මේ චිත්‍රෙ? බලනවකො... මේකෙ මේ චරිතෙ හරිම කාමුකයිනෙ. බැරිද මේක ටිකක් ප‍්‍රසන්න විදියට අඳින්න’’ ප‍්‍රධාන කර්තා සිය හඬ අවදි කළේ ඉතාමත් අප‍්‍රසන්න ආකාරයකට ය.
‘‘සර්... මේ කෙටිකතාව කියෙව්වම මට මේ චරිතය දැනුනෙ මේ විදියට. ඒ නිසා තමයි මේ විදියට ඇන්ඳෙ ඔහු ප‍්‍රධාන කර්තෘට පිළිතුරු දුන්නේ පරාජය පිළිගැනිමට නොහැකි බවට ඉඟියක් සපයමිනි.
‘‘හරි... තමුසෙ කියන්නෙ මේ මිනිහ මේ විදියයි කියල මේකෙ සටහන් වෙලා තියනවද?’’ ප‍්‍රධාන කතුවරයා ද තම නිල බලය යොදමින් චිත‍්‍ර ශිල්පියා මැඩලන්නට උත්සාහ කළේ ය.
‘‘නෑ සර්... එහෙම ම නෑ. නමුත් නිසි අවධානයකින් යුතුව කතාව කියෙව්වම මේ වගේ චරිතයක් තමයි මැවෙන්නෙ.’’ චිත‍්‍ර ශිල්පියා ද තම උත්සාහය අත්හරින්නට අකමැති විය.
‘‘හරි... එහෙනම් ඔය කතාව ටිකක් කියවනවකො.’‘ ප‍්‍රධාන කර්තෘ මෙතෙක් අසුන්ගෙන සිටි ඉරියව් වෙනස් කරමින් කතාවට සවන් දිමට සූදානම් විය.
‘‘සර්... කතාව ටිකක් අහලනම් මේක තේරුම් ගන්න අමාරුයි. මම සම්පුර්ණ කතාව කියවන්නම්. සර් අහගෙන ඉන්න.’’ චිත‍්‍ර ශිල්පියා ප‍්‍රධාන කර්තෘව තම මතයට නම්මවාගන්නට උත්සාහ දැරී ය. එය සඵල විය.
‘‘හරි හරි... එහෙනම් කියවනවකො බලන්න.’’ ප‍්‍රධාන කර්තෘ නම්‍යශිලි විය.
චිත‍්‍ර ශිල්පියා කතාව කියවාගෙන ගියේ ය. ඔහු කතාවේ අඩක් නිම කිරිමටත් ප‍්‍රථම: ‘‘හරිනෙ අයිෂෙ... මේ ඉන්නෙ ඔය මිනිහ නේන්නම්. මටයි වැරදුණේ. හරි හරි ... දිගටම ඔය විදියට කරගෙන යනව.’’ ප‍්‍රධාන කර්තෘ චිත‍්‍ර ශිල්පියාගේ අදහස පිළිගනිමින් පැවසුවේ ය.
තමාගේ අදහස ජයග‍්‍රහණය කිරීම සම්බන්ධයෙන් ඔහු මෙන් ම පුවත්පතේ කතුවරයා ද සොම්නසට පත්විය.

එදා පුවත්පත් සඳහා බද්ධ කරනු ලබන චිත‍්‍රයේ වෙනසක් කළ ඔහු චිත‍්‍ර ශිල්පියෙක් මතු නොව: කාටුන් ශිල්පියෙකි, මූර්ති ශිල්පියෙකි, ජනමාධ්‍ය වේදියෙකි. එපමණක් නොව වර්තමානයේ ඔහු දක්‍ෂ පිටු සැලසුම් ශිල්පියෙකි.ඔහු ශාන්ත කේ. හේරත්..


 ‘‘මට චිත‍්‍රකලාව කියන විෂය නොතේරෙන කාලෙත් මම චිත‍්‍ර ඇන්දා. ඒව අඳින්න නිශ්චිත තැනක් තිබුණෙවත් නෑ. දොරවල්වල, බිත්තිවල, කඩදාසිවල සහ මිදුලෙ හැම තැනක ම චිත‍්‍ර ඇන්දා. චිත‍්‍ර ඇඳීම නිසා ම පන්ති කාමරය ඇතුළෙ නායකත්වයක් ලැබුණා. වයසින් මෝරා වැඩෙද්දි පාසලටත් මේක බලපෑවා. මගේ හැකියාවන් දැකපු ගුරුවරු කිව්වෙ හේවුඞ් ගියොත් හොඳයි කියල. මමත් ඒ ඉලක්කය වෙත යන්න උත්සාහ කළා. නමුත් එවකට තිබුණ තාක්‍ෂණික ක‍්‍රම හේතුවෙන් එය ගිලිහී ගියා.
මෙය තේරුම් ගන්න තරමක් අපහසුයි නේද? ඒ නිසා මා ඒ පිළිබඳව පැහැදිලි කරන ලෙස ශාන්තගෙන් ඉල්ලා සිටියා.


‘‘මෙහෙමයි... එවකට රජයේ කලායතනයට (හේවුඞ්) සිසුන් බඳවා ගත්තෙ අ. පො. ස. (සා. පෙ.) විභාගයෙන් චිත‍්‍ර විෂයට සම්මාන සමාර්ථයක් සහ වීජ ගණිත විෂය සමත් වූ අය යි. මා ඒ සුදුසුකම් සමුපූර්ණ කරන අවධිය වෙද්දි රජයේ කලායතනය (හේවුඞ්) සෞන්දර්යයවිශ්වවිද්‍යාලය බවට පරිවර්තනය වුණා. ආයතනයට ඇතුළත් වීමට මූලික සුදුසුකම වුණේ  අ. පො. ස. (උ. පෙ.) විෂයන් තුනක් සමත්වීම සහ චිත‍්‍ර විෂය සමත් වීම. අවාසනාවට එම වර්ෂයේ උසස් පෙළ සඳහා චිත‍්‍ර විෂය හැදෑරූ ළමුන් ලංකාවෙ හිටියෙ නෑ. ඒ නිසා ආයතනයේ පැවැත්ම සඳහා අතුළත් කිරීමේ සුදුසුකම් සහ ක‍්‍රමවේද ආයතන පරිපාලන ක‍්‍රමයට ගැලපෙන අයුරින් වෙනස් කළා. එම ක‍්‍රමවේදය ආයතන නීතියට ගැලපුනාට ඒ අදාළ වර්ෂයේ දක්‍ෂතා දැක්වූ සිසුන්ගේ අභිවෘධියට හේතු වුණා කියල මම විශ්වාස කරන්නේ නැහැ. නමුත් ඊට පසු වර්ෂයේ උසස් පෙළ චිත‍්‍ර සමඟ විෂයයන් තුනක් සමඟ සමත් වී, ඇතුළත් වීමේ පරීක්‍ෂණයට ඉදිරිපත් වන විට ඇතුළත් වීමේ ක‍්‍රමවේදය තව දුරටත් වෙනස් වෙලා කඩුල්ල තවත් ඉහළ ගිහින් තිබුණා. වාසනාවට හෝ අවාසනාවට ඒ වන විට මා දිවයින පුවත්පතේ ස්ථිර චිත‍්‍ර ශිල්පියකු ලෙස රැකියාවේ නිරත වෙමින් හිටියා. නැවත විභාගය වෙනුවෙන් යොමු වෙනවාට වඩා මගේ සිත යොමු වුණේ වෘත්තීය චිත‍්‍ර ශිල්පියකු වීමේ ප‍්‍රායෝගික මාර්ග සොයා යාම සඳහා යි.
එදා නීතිය, තර්කය සහ අධ්‍යාපන ක‍්‍රමවේදය හරි ද වැරදි ද යන්න විග‍්‍රහ කරන්න මම පෙළඹෙන්නෙ නැහැ. නමුත් එහි විශාල වරදක් තිබුණ බව මම අදත් පිළිගන්නවා. ඒක මගේ පුද්ගලික ප‍්‍රශ්නයක් ලෙස සලකනවට මම අකමැතියි. එය ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමවේදයේ තිබුණ සහ තිබෙන විශාල ගැටලූවක්.’’

නමුත් ඔබ මේ වන විට ප‍්‍රවීන චිත‍්‍ර ශිල්පියෙක්?
‘‘මගේ ඇකඩමිය සහ මගේ විශ්වවිද්‍යාලය උපාලි පුවත්පත් සමාගම: දිවයිනපුවත්පත් සමාගම. දිවයින පුවත්පතට සම්බන්ධ වෙන්න කලින් පාසල් අවධියේ දී ම සිත්තර’, ‘සතුට’, ‘සුහද’, ‘මිහිර’, සහ ටිකිරිපුවත්පත්වලට චිත‍්‍ර ඇන්දා. විජය පුවත්පත් සමාගමේ ලංකාදීපපුවත්පතටත් චිත‍්‍ර ඇන්දා. දිවයිනට සම්බන්ධ වෙන්නෙ එහි ආරම්භයේ දී ම යි.

මේ චිත‍්‍ර ශිල්පියා අද චිත‍්‍ර කලාවේ විවිධ මානයන් තුළින් නොයෙක් දක්‍ෂතා දක්වන්නෙක් බවට පත්වෙලා. තමන්ගේ දුෂ්කර ගමන් මඟ හෙළි පෙහෙළිකරගත් ආකාරය පිළිබඳ ඔහු තම අදස් දක්වමින්...


‘‘පාසල් සමයේ චිත‍්‍ර ඇඳීමට පමණක් සීමා නොවී බිත්ති පුවත්පතක් සංස්කරණය කළා. පාසලේ වසරක් පාසා ප‍්‍රකාශයට පත් කළ සඟරාවේ සංස්කාරක ධූරය දැරුවා. මේ කිසිවක් මම ඉල්ලා සිටියේ නෑ. නමුත් විෂයට අදාළ ගුරුවරයා තමයි මාව එතනට තල්ලූ කළේ. එදා මට ඒ පිළිබඳ ව න්‍යායික දැනුමක් තිබුනෙ නෑ. මම කළේ ගුරුවරයාගේ උපදෙස් මත ඒ හැම දෙයක් ම වෙනස් ක‍්‍රමයකට අත්හදා බැලීම පමණයි. එය හැම විට ම සාර්ථක වුණා. පුවත්පතේ සේවය කරන කාලය අතරතුර විසිවන සියවසේ ලංකාවේ පහළ වූ විශිෂ්ටත ම සෞන්දර්ය ගුරු දෙපළක් වූ ස්ටැන්ලි අබේසිංහ මහතා සහ එච්. ඒ. කරුණාරත්න මහතාගෙන් විෂයය පිළිබඳ පුළුල් දැනුමක් ලබාගත්තා. ඔවුන් දෙදෙනා හුදු සිත්තරුන් පමණක් නොවෙයි, ඔවුන් තමයි සෞන්දර්ය ආයතන සම්ප‍්‍රදායේ ප‍්‍රධාන ම ප‍්‍රකාශන දෙක. එහි ප‍්‍රධාන ම කුලූනු දෙකත් ඒ පෙළ යි.
ඊට අමතර ව කොළඹ කේන්‍ද්‍ර කොට ගත් දක්‍ෂ චිත‍්‍ර ශිල්පීන් වූ ජගත් වීරසිංහ, කිංස්ලි ගුණතිලක සහ චන්‍ද්‍රගුප්ත තේනුවරයන මහත්වරුන් මගේ මිත‍්‍රයින් බවට පත්වුණා. දයාසේන ගුණසිංහ සහ එඞ්මන් රණසිංහ යන දැවැන්ත පත‍්‍ර කලාවේදීන්ගේ මඟ පෙන්වීම යටතේ පුවත් පත් කලාව ඉගෙන ගත්තා.’’
අද මේ මොහොතේ ශාන්ත නියැලි සිටින්නේ චිත‍්‍ර ශිල්පියෙක් එහෙමත් නැත්නම් කාටුන් ශිල්පියෙක් හෝ මාධ්‍යවේදියෙක් යන මාධ්‍යයන් තුනට ම වඩා වෙනස් මාධයයක. මේක හැමෝට ම කරන්න පුළුවන් කාර්යයක් නොවෙයි. මේ අභියෝගය ජයගත හැකි වූයේ කෙසේ ද යන්න පිළිබඳව අදහස් දක්වමිනන් ...


‘‘ඇත්තට ම පත්තරේක චිත‍්‍ර කලාව සිමා සහිතයි. මෙය හඳුන්වන්නේ ව්‍යවහාරික චිත‍්‍ර කලාව වශයෙන්. ලංකාවේ මහා සම්ප‍්‍රදායේ චිත‍්‍ර ශිල්පින් අදහස් කරන්නේ මෙය බාල වර්ගයේ කොටසක් විදියට. නමුත් ලෝකයේ තත්ත්වය මීට වඩා හුඟක් වෙනස් ඒ නිසා මා උත්සාහ කළා මේ ක්‍ෂෙත‍්‍රයේ ඉහළට යන්න. මේ ගමනෙදි අපිට විවිධ තල නියෝජනය කරන අය සමඟ ගැටෙන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් කාටුනය පවා කොටස් කළ හැකියි. තීරු කාටුන්යනුවෙන් අදහස් කරන්නේ එක කොටසක්. පුද්ගයකුගේ රූපයට රූපයකට වෙනත් අරුතක් දීමවෙනත් කොටසක්. දේශපාලන කාටුනයතවත් කොටසක්. පොකට් කාටුන්තවත් කොටසක්. මේ සියල්ලගේ ගුණය ඒ ආකාරයෙන් ම තබාගෙන කොහොමද ඒ ඒ තලයන් සමඟ බද්ධ කරන්නේ කියන ගැටලූව ජයග‍්‍රහණය කිරිම පහසු නැහැ. කෙටිකතාව, නවකතාව, කවිය, විශේෂාංග ලිපි, චිත‍්‍රකතා සහ දේශපාලන කාටුන් ආදිය සඳහා බද්ධ වෙද්දි විවිධ හැඩ තලයන් භාවිතා කරන්න වෙනවා. පිටු සැලසුම් ශිල්පයත් මේ හැදෑරීමේ ම දිගුවක් විදියටයි මා සලකන්නේ. මා කලින් සඳහන් කළ පරිදි පාසලේ බිත්ති පුවත්පතේ පිටු සැලසුම් කළේ දැනගෙන නොවෙයි. නමුත් එදා එය විශේෂත්වයකට පත්වුණා. ඒ ක‍්‍රමෝපායන් දිගින් දිගට ම වෙනසකට භාජනය කිරීම තුළින් ලැබූ අත් දැකීම් සමූහයේ ප‍්‍රතිඵලය තමයි අද එළි දක්වා තිබෙන්නේ.’’
පරිගණක තාක්‍ෂණය පැමිණීමට පෙර පුවත් පත්වල පිටු සැලසුම් ශිල්පය පැවතියා. එය අවලක්‍ෂණ වුණෙත් නෑ. නමුත් අද පරිගණකය භාවිතා කරමින් නිර්මාණය කරනු ලබන පිටු සැලසුම් පවා දුර්වල මට්ටමකපවතිනවා. මේ සඳහා බලපාන විවිධ හේතූන් පිළිබඳ ශාන්ත දරන්නේ මෙබඳු අදහසක්.


‘‘බොහෝ විට මේ කාරණයට වගකිව යුත්තේ පිටු සැලසුම් ශිල්පියා නොවෙයි. විශේෂයෙන් ම පුවත් පත් ආයතනය තුළ ප‍්‍රධාන කර්තෘ හිතන්නේ ඔහුට අවශ්‍ය ආකාරයට සියල්ල සිදු විය යුතු බව යි. ඉහළ ම පරිපාලකයා හිතන්නේ ඔහුට අවශ්‍ය ආකාරයටයි සියල්ල සිදු විය යුත්තේ කියල. නමුත් මෙය සම්පූර්ණයෙන් ම බැහැර කළ යුතු ක‍්‍රමවේදයක්. බොහොම කලාතුරකින් කෙනෙක් ඉන්න පුළුවන් මේ පිළිබඳ ව දැනුම තිබෙන. නමුත් බහුතරයකට මේ දැනුම නෑ. ඔවුන් අත්හළ යුතු පැරණි දේවත් අත් හරින්න කැමති නෑ.
පොල් ගහක අත්තක් වැටෙන එක ගහට යහපතක් මිසඅයහපතක් වෙන්නෙ නෑ. වියළි පොල් ගෙඩිය ගහෙන් ගිලිහුණාට ඒක ගහට ලාබයක් මිස පාඩුවක් වෙන්නෙ නෑ. නමුත් ගහේ පොල් මල පීදීමට කලින් කැපීම හෝ ගොක් අත්ත කැපීම ගහට පාඩුවක්. මේ සිද්ධාන්තය තේරුම් ගන්නවානම් මෙවැනි අපහසුතාවන් ඇතිවෙන්නෙ නෑ.’’
මේක මගේ අතුරු ප‍්‍රශ්නයක්. මෙය නිර්මාණකරුවාගේ නිදහස පිළිබඳ ප‍්‍රශ්නයක් ද?

‘‘නිර්මාණකරුවාට කොතනකවත් නිදහසක් නෑ.  ඕනැම ආයතනයක් පවතින්නෙ කිසියම් නීති පද්ධතියක් තුළ. නමුත් පාලන තන්ත‍්‍රය, කර්තෘ මණ්ඩලය, පරිගණක ශිල්පින් මෙහි දි තම තමන්ගේ අභිමතය පමණක් ඉස්මතු නො කර පොදු එකඟතාවකට පැමිණිය යුතුයි. මොකද මේක ටීම් වර්ක්එකක්. අශ්ව රේස් එකක් නොවෙයි. එකෙක් පරයා අනෙකා යන්න උත්සාහ කරොත් අවසාන ප‍්‍රතිඵලය ඉතා ම නරක එකක් බවට පත්වෙන්න පුළුවන්.
මුද්‍රිත මාධ්‍යයේ එදා සහ අද තත්ත්වය පිළිබඳ විග‍්‍රහයකට පැමිණියොත්?


‘‘අද තාක්‍ෂණය ඉතාමත් ඉහළ මට්ටමක පවතිනවා. ඒ කොපමණ තාක්‍ෂණික දැණුම තිබුනත් ඵලක් වෙන්නෙ නෑ පුද්ගලයා නිර්මාණශිලි නැත්නම්. අලූතෙන් හිතන්න බැරිනම්. ඒ වගේ ම අලූතෙන් හිතන්න පසුගිය දේ හදාරා තිබිය යුතුයි. වැළඳ ගත යුත්තේ අවශ්‍ය දේ. අත් හළ යුත්තේ අනවශ්‍ය දේ. මේ අඩුව අද බහුලව දක්නට ලැබෙනවා. අනෙක් කාරණය තමයි... උපාධිය හෝ ඩිප්ලෝමාව ගත් පමණින් ආයතන ගතවෙන්න බෑ. පුද්ගලයෙක් කිසියම් ශිල්පයක් හදාරන්න පුළුවන්. නමුත් මේ ශිල්පය එක් එක් ආයතන තුළ ක‍්‍රියාත්මක වෙන්නේ එක් එක් ආකාරයට. නිර්මාණ ශිල්පියා මෙය තේරුම් ගත යුතුයි. නිර්මාණ ශිල්පියාව තේරුම් ගැනීම සඳහා ආයතනයට කාලයක් අවශ්‍ය වන්නා සේ ම ආයතනය තේරුම් ගැනිම සඳහා නිර්මාණ ශිල්පියා ද කාලයක් ගත කළ යුතුයි. ඉන් අනතුරුව තමයි දෙපාර්ශවයට ම එකඟතාවකට එන්න පුළුවන් වෙන්නේ. තමන්ගේ කෝවට ආයතනය දාගන්න හෝ ආයතනයේ කෝවට තමන් වැටීම අනතුරුදායක යි. මෙන්න මේ බාධකය ජය ගැනීම තමයි අභියෝගය.’’
සටහන ජයසිරි අලවත්ත